ආරක්‍ෂක සේවා පාපන්දු ශූරතාවය යුද හමුදාවට

326

මෙවර ආරක්‍ෂක සේවා පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගයේ දී, ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩා සමාජය ගෝල 2-1ක් ලෙස පරාජයට පත් කළ ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩා සමාජය තරගාවලියේ ශූරතාවය දිනා ගන්නට සමත් වුනා.

තරගාවලියේ පැවැත්වූ සියලු ලීග් තරග අවසානයේ දී ප්‍රසාද ලකුණු 4ක් ලබා ගත් යුද හමුදාව සහ ප්‍රසාද ලකුණු 3ක් ලබා ගත් නාවික හමුදාව, ඊයේ (22) කොළඹ තුරඟ තරග ක්‍රීඩාංගණයේ දී පැවැත්වූ, අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තා.

තරගය ආරම්භ වී මිනිත්තු 10ක් ගතවෙද්දී නාවික හමුදා ක්‍රීඩක ශතුර පොන්නම්පෙරුම එක් දිශාවකින් පන්දුව ප්‍රතිවාදීන්ගේ ගෝලය දෙසට යොමු කළ විට, ඒ පන්දුව වැළැක්වීමට උත්සාහ කිරීමේ දී යුද හමුදා ක්‍රීඩක රොෂාන් අප්පුහාමිගේ පාදයේ වැදීමෙන් පන්දුව ගෝලය තුළට යාමෙන්, නාවික හමුදාව Own goal අවස්ථාවකින් පළමු ගෝලය වාර්තා කරා.

ඉන්පසුව කණ්ඩායම් දෙකම ගෝල වාර්තා කිරීමට උත්සාහයන් රැසක් ගත් නමුත්, ඒ කිසිවක් සාර්ථක නොවීම නිසා පළමු අර්ධය නිමා වුනේ ගෝල 1-0ක් ලෙස නාවිකයින් පෙරමුණ ගනිමිනුයි.

දෙවැනි අර්ධයේ 79 වැනි මිනිත්තුවේ දී යුද හමුදා ක්‍රීඩක නදීක පුෂ්පකුමාරගේ පන්දු හුවමාරුවක් සජිත් කුමාර විසින් ලබාගෙන එය ගෝලය දෙසට එල්ල කරන විට, නාවික හමුදා ගෝල රකින්නා වන උදයංග පෙරේරා එම පන්දුව වැළැක්වීමට ගත් උත්සාහය අසාර්ථක වුනා. එම නිසා පන්දුව ඔහු මතින් ගොස් ගෝලය තුළට යාමෙන් වාර්තා වූ ගෝලයත් සමඟින් තරගය ගෝල 1-1ක් ලෙස සම තත්ත්වයට පත් වුනා.

මිනිත්තු 90 ළං වෙන විට රිප්ඛාන් මොහොමඩ්ගේ පන්දුවක් සජිත් කුමාර විසින් ලබා ගත් අතර ඔහු විසින් ගෝලය ආසන්නයේ සිටි නායක අසිකුර් රහුමාන්ට එම පන්දුව යොමු කළ විට රහුමාන් පන්දුව හිසෙන් ගෝලය තුළට එල්ල කරමින් තම කණ්ඩායමේ දෙවැනි ගෝලය වාර්තා කරන්නට සමත් වුනා.

නියමිත කාලය අවසන් වන විට ගෝල 2-1ක් ලෙස පෙරමුණේ සිටි යුද හමුදාව මෙවර ආරක්‍ෂක සේවා පාපන්දු තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට සමත් වුනා.

අවසන් ලකුණු තත්වය: ශ්‍රී ලංකා නාවික හමුදාව 1 – 2 ශ්‍රී ලංකා යුද හමුදාව

ගෝල රැස් කළ ක්‍රීඩකයින්

  • නාවික හමුදාව: රොෂාන් අප්පුහාමි
  • යුද හමුදාව: සජිත් කුමාර, අසිකුර් රහුමාන්

තරගාවලියේ පැවති කාන්තා අවසන් මහා තරගයේ දී නාවික හමුදාව විසින් යුද හමුදාව පරාජය කරන්නට සමත් වුනා. පළමු අර්ධයේ දී ගෝල 2-0ක් ලෙස ඉදිරියෙන් සිටි නාවික හමුදා ක්‍රීඩිකාවන් නියමිත කාලය අවසානයේ දී ගෝල 5-0ක පහසු ජයක් වාර්තා කරමින් ශූරියන් බවට පත් වුනා.

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න <<