ඉතිහාසය අලුත් කරමින් තවත් ශ්‍රී ලාංකිකයෙක් ඔලිම්පික් උළෙලට!

32 වැනි ගිම්හාන ඔලිම්පික් උළෙල - 2020

324

2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලේ බොක්සිං තරග තීරක සහ විනිසුරුවරියක ලෙස කටයුතු කිරීම සඳහා ශ්‍රී ලංකා පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරියක් මෙන්ම අන්තර්ජාතික මට්ටමේ විනිසුරුවරියක් වන ටී. නෙල්කා ශිරෝමාලා මහත්මිය තේරී පත්ව තිබෙනවා.

ලොව ප්‍රධානතම ක්‍රීඩා සැණකෙළිය වන ගිම්හාන ඔලිම්පික් උළෙලේ තරගයක් විනිශ්චය කිරීම සඳහා සුදුසුකම් ලැබූ පළමු ශ්‍රී ලාංකික කාන්තාව නෙල්කා ශිරෝමාලා වීම ද විශේෂත්වයක්.

ඔලිම්පික් උළෙලක බොක්සිං තරග විනිශ්චය සඳහා නෙල්කාගේ පවුලේ අයෙකු තේරී පත්වූ දෙවැනි අවස්ථාව මෙය වන අතර 1988 වසරේ පැවති ඔලිම්පික් උළෙලේ දී බොක්සිං ඉසව්වක් විනිශ්චය කිරීමට තේරී පත්වූ පළමු ශ්‍රී ලාංකිකයා වීමට ඇයගේ පියා වන තම්බු සම්පත් මහතා සමත්ව තිබුණා.

ගාල්ල රිපන් බාලිකා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක් වන නෙල්කා 1997 වසරේ දී ශ්‍රී ලංකා පොලිසිය සමඟ එක්ව ඇති අතර ඇය 2001 වසරේ දී පොලිස් ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් ජාතික බොක්සිං තරගාවලියකට සහභාගී වූ පළමු ක්‍රීඩිකාව ලෙස ද ඉතිහාස ගතව තිබුණා.

2001 වසරේ සිට 2006 වසර දක්වා පොලිස් ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් බොක්සිං ක්‍රීඩාවේ ඉහළ දස්කම් දැක්වීමට සමත් වූ ඇය 2009 වසරේ දී පළමු වරට ශ්‍රී ලංකා කාන්තා බොක්සිං තරග තීරකවරයෙකු ලෙස කටයුතු කර ඇත.

එයින් පසු 2011 වසරේ දී ජාත්‍යන්තර බොක්සිං තරග තීරකවරයෙකු වශයෙන් උසස්වීම් ලද නෙල්කා එම වර්ෂයේම පැවති ජාත්‍යන්තර තරගාවලියකට එක්වෙමින් ජාත්‍යන්තර තරගාවලියක් විනිශ්චය කළ පළමු ශ්‍රී ලාංකික කාන්තා විනිසුරුවරිය ලෙස ඉතිහාස ගත වුනා.

එයින් පසු විනිසුරුවරියක ලෙස ඉතා ඉක්මනින් ඉහළට පැමිණි නෙල්කා 2011 වසරේ දී අන්තර්ජාතික ජාතික දෙවන පෙළ විනිසුරුවරියක සහ 2013 වසරේ දී අන්තර්ජාතික තෙවැනි පෙළ විනිසුරුවරියක ලෙස උසස්වීම් ලැබුවා.

එමෙන්ම ශ්‍රී ලංකාවේ මෙන්ම අග්නිදිග ආසියාවේ පළමු අන්තර්ජාතික තෙවැනි පෙළ බොක්සිං විනිසුරුවරිය නෙල්කා වීම ද විශේෂත්වයක්.

එයින් පසු ලොව ප්‍රමුඛ පෙලේ තරගාවලි රැසකට විනිසුරුවරියක් ලෙස එක්ව මෙරටට විශාල ගෞරවයක් අත්කර දුන් නෙල්කා 2017 ආසියානු දක්ෂතම විනිසුරුවරයාට හිමි සම්මානය දිනා ගනිමින් එම සම්මානය දිනා ගත් පළමු කාන්තාව ලෙස ද ඉතිහාස ගත වුනා.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<