ඩෙල්ටා නිසා ටෝකියෝ නුවර හදිසි තත්වයක්!

32 වැනි ගිම්හාන ඔලිම්පික් උළෙල - 2020

218
inside the games

කොරෝනා වසංගතයේ ශීඝ්‍ර ව්‍යාප්තියක් සහිත ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත රෝගීන් පසුගිය දිනවල දී හමුවීම නිසාවෙන් ජූලි 12 සිට අගෝස්තු 22 දක්වා ජපානයේ ටෝකියෝ නුවර තුළ හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කිරීමට එරට රජය කටයුතු කර තිබෙනවා.

එම නිසාවෙන් මෙම මස 23 වැනිදා ජපානයේ ටෝකියෝ නුවර දී ආරම්භ වීමට නියමිතව ඇති 32 වැනි ගිම්හාන ඔලිම්පික් උළෙල පැවැත්වීම ද අවිනිශ්චිතතාවයට පත්ව ඇති අතර ජපාන වෛද්‍යවරුන් විසින් ඔලිම්පික් උළෙල අවලංගු කරන ලෙස ද ඉල්ලා තිබෙනවා.

මීට අමතරව ජපන් ජනතාව ද මෙවර ඔලිම්පික් උළෙල නැවත කල් දැමීමට හෝ අවලංගු කිරීමට කටයුතු කරන ලෙස පවසමින් රජයට බලපෑම් කරන අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.

කෙසේ නමුත් මේ පිළිබඳව ජපන් රජය සමඟ පැවති සාකච්ඡාවලින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජපාන ඔලිම්පික් අමාත්‍ය Tamayo Marukawa සඳහන් කර තිබුණේ තරගාවලිය ප්‍රේක්ෂකයන් සහභාගී කර ගැනීමකින් තොරව පැවැත්වීමට තීරණය කළ බවයි.

එමෙන්ම 2020 ටෝකියෝ ඔලිම්පික් සංවිධායක කමිටුවේ සභාපති Seiko Hashimoto ප්‍රකාශ කර සිටියේ මෙම වසංගත තත්වය යටතේ ක්‍රීඩා උළෙල සීමා පනවමින් පැවැත්වීමට සිදුවීම පිළිබඳව කනගාටුවට පත්වන බවත් සහ ප්‍රවේශ පත් මිල දී ගත් ජපාන ජනතාවගෙන් තමන් සමාව අයැද සිටින බවයි.

ටෝකියෝ නුවර තුළ මෙම හදිසි තත්වය ප්‍රකාශ කිරීමට ප්‍රථමයෙන් ජපාන ඔලිම්පික් සංවිධායකයින් සහ ජපන් අග්‍රාමාත්‍ය Yoshihide Suga අතර සාකච්ඡාවක් පැවති අතර එය සඳහා ඔලිම්පික් කමිටුවේ ප්‍රධානී Thomas Bach ද එක්ව තිබුණා.

කොරෝනා වසංගතය නිසාවෙන් පසුගිය වසරේ පැවැත්වීමට තිබූ ඔලිම්පික් උළෙල මෙම වසර දක්වා කල් දැමීම නිසා ජපානයට විශාල අමතර වියදමක් දැරීමට ද සිදු වුනා.

තරගාවලිය මෙම මස 23 වැනිදා ආරම්භ වීමට නියමිතව ඇති අතර පවතින තත්වය යටතේ දැඩි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමයන් අනුගමනය කරමින් මෙම ඔලිම්පික් උළෙල පැවැත්වීමට කටයුතු සූදානම් කරමින් ඇති බව වාර්තා වේ.

BBC ඇසුරෙනි.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<