ආසියානු මලල ක්‍රීඩා ශූරතාවයට ශ්‍රී ලංකාවෙන් 13ක්

25 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවය 2023

959

මෙම වසරේ ජූලි 12 වැනිදා සිට 16 වැනිදා දක්වා තායිලන්තයේ දී පැවැත්වීමට නියමිත 25 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවය සඳහා 13 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය විසින් නම් කර තිබෙනවා.

ආසියානු ක්‍රීඩා උළෙලට පසු ආසියානු තලයේ පැවැත්වෙන ප්‍රධානතම මලල ක්‍රීඩා තරගාවලිය වන මෙය 1973 වසරේ ආරම්භ වී වසර දෙකකට වතාවක් පැවැත්වුවත්, මෙවර තරගාවලිය පැවැත්වෙන්නේ වසර 4කට පසුවීම විශේෂත්වයක්.

තරගාවලිය සඳහා නම් කළ ශ්‍රී ලංකා සංචිතය මෑත කාලයේ පදක්කම් දිනා ගැනීමට හැකි මට්ටමේ සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් සමන්විත අතර ඒ සඳහා ක්‍රීඩිකාවන් 8 දෙනෙක් සහ ක්‍රීඩකයින් 5 දෙනෙක් ඇතුළත්.

මෙම ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත් අත්දැකීම් බහුලතම ක්‍රීඩිකාව ලෙස ගයන්තිකා අබේරත්න හැදින්විය හැකි අතර තරගාවලියේ මීටර් 800 සහ 1500 ඉසව් නියෝජනය කරන ඇය මීට පෙර ආසියානු මලල ක්‍රීඩා ශූරතා පදක්කම් දිනා තිබෙන ක්‍රීඩිකාවක් වීම ද විශේෂත්වයක්.

ඇයට අමතරව මෑත කාලයේ ඉහළ දස්කම් අතර සිටින දකුණු ආසියානු පදක්කම් ලාභී සාරංගි සිල්වා සහ නදීෂා ලේකම්ගේ ද මෙම සංචිතයට ඇතුළත්.

වර්තමානයේ මීටර් 800 ඉසව්වේ ඉහළ දස්කම් දක්වමින් නිමා වූ ආසියානු යොවුන් තරගාවලියේ ද පදක්කම් දිනා ගත් තරුෂි කරුණාරත්න මෙම සංචිතයේ වැඩිම අවධානය දිනා ගත් ක්‍රීඩිකාව ලෙස හැඳින්වීමට හැකි අතර ඇය මීටර් 800,  මීටර් 4X400 සහය සහ මිශ්‍ර මීටර් 4X400 ඉසව් නියෝජනය කරනවා.

තුන් පිම්ම ඉසව්ව නියෝජනය කරමින් රන්දි කුරේ සහ මීටර් 400 ,මීටර් 4X400 සහය සහ මිශ්‍ර මීටර් 4X400 ඉසව් සඳහා නදීෂා රාමනායක මෙම සංචිතයට ඇතුළත්ව තිබෙන අතර මීටර් 4X400 සහය සහ මිශ්‍ර මීටර් 4X400 යන ඉසව් සඳහා නිශ්‍රේන්ද්‍රා ප්‍රනාන්දු සහ සයුරි මෙන්ඩිස් සංචිතයට නම් කර තිබෙනවා.

පිරිමි කාණ්ඩයේ කේවල ඉසව් නියෝජනය කරමින් අරුණ දර්ශන සහ රජිත රාජකරුණා මීටර් 400 ඉසව්ව සඳහා සහභාගී වන අතර ඔවුන් දෙදෙනා සමඟ 4X400 සහය සහ මිශ්‍ර මීටර් 4X400 ඉසව් නියෝජනයට පසිඳු කොඩිකාර, පබසර නිකූ සහ කාලිංග කුමාරගේ මෙම සංචිතයට ඇතුළත්.

තරගාවලියට නම් කළ ශ්‍රී ලංකා සංචිතය,

පිරිමි

  • අරුණ දර්ශන (මීටර් 400, මීටර් 4X400, මීටර් 4X400 මිශ්‍ර)
  • රජිත රාජකරුණා (මීටර් 400, මීටර් 4X400, මීටර් 4X400 මිශ්‍ර)
  • කාලිංග කුමාරගේ (මීටර් 4X400, මීටර් 4X400 මිශ්‍ර)
  • පසිඳු කොඩිකාර (මීටර් 4X400, මීටර් 4X400 මිශ්‍ර)
  • පබසර නිකූ (මීටර් 4X400, මීටර් 4X400 මිශ්‍ර)

කාන්තා

  • ගයන්තිකා අබේරත්න (මීටර් 800, මීටර් 1500)
  • නදීෂා ලේකම්ගේ (හෙල්ල විසිකිරීම)
  • රන්දි කුරේ (තුන් පිම්ම)
  • සාරංගි සිල්වා (දුර පැනීම)
  • නදීෂා රාමනායක (මීටර් 400, මීටර් 4X400, මීටර් 4X400 මිශ්‍ර)
  • තරුෂි කරුණාරත්න (මීටර් 800, මීටර් 4X400, මීටර් 4X400 මිශ්‍ර)
  • නිශේන්ද්‍රා ප්‍රනාන්දු (මීටර් 4X400, මීටර් 4X400 මිශ්‍ර)
  • සයුරි මෙන්ඩිස් (මීටර් 4X400, මීටර් 4X400 මිශ්‍ර)

25 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවයට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමට දස්කම් දක්වමින් ලක් මාතාවට ගෞරවයක් දිනා දීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවායි ThePapare.com හි ප්‍රාර්ථනාවයි.

මෙම තරගාවලියේ ඇතුළු දෙස් විදෙස් මලල ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟ.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<