Ritzbury සහය දිවීමේ සැණකෙළිය ඇරඹෙයි

Ritzubury පාසල් සහය දිවීමේ සැණකෙළිය 2023

668
Ritzubury පාසල් සහය දිවීමේ සැණකෙළිය 2023

ශ්‍රී ලංකා පාසල් මලල ක්‍රීඩා සංගමය Ritzbury ආයතනයේ අනුග්‍රහය යටතේ පවත්වන “සමස්ත ලංකා පාසල් සහය දිවීමේ සැණකෙළිය” අද (24) කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී ආරම්භ වුනා.

දින තුනක් පුරාවට පැවැත්වෙන මෙම තරගාවලියේ සමාරම්භක උළෙල සඳහා Ritzbury ආයතනයේ ප්‍රධාන නිලධාරීන් කිහිප දෙනෙක් සහ පාසල් මලල ක්‍රීඩා සංගමයේ නිලධාරීන් කිහිප දෙනෙක් සහභාගී වූ අතර ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වුනේ යොවුන් ක්‍රීඩිකා තරුෂි කරුණාරත්නයි.

ක්‍රීඩක ක්‍රීඩිකාවන් 4000කට අධික සංඛ්‍යාවක් සහභාගී වන මෙම තරගාවලියේ පළමු දිනයේ වැඩි කොටසක් මූලික වටයේ තරග ඉසව් සඳහා වෙන් ව තිබූ අතර මීටර් 200 සහය දිවීමේ අවසන් තරග අද පැවැත්වුණා.

14න් පහළ බාලිකා 4x200m තරගයේ ජයග්‍රහණය මිනිත්තු 1:58.2ක කාලයකින් ඉසව්ව අවසන් කළ මීගමුව Ave Maria Convent ක්‍රීඩිකාවන් විසින් දිනා ගද්දී, 16න් පහළ බාලිකා තරගය ජයග්‍රහණය කළේ අඹගමුව මධ්‍ය මහා විද්‍යාලයයි.

තත්පර 1:45.2ක කාලයකින් තරගය අවසන් කළ වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල් ක්‍රීඩිකාවන් 18න් පහළ තරගයේ ජයග්‍රහණය ලබා ගනිද්දී, 20න් පහළ ආධිපත්‍ය රඳවා ගනිමින් ජයග්‍රහණය වාර්තා කිරීමට වළල ඒ රත්නායක විද්‍යාලයීය ක්‍රීඩිකාවන් සමත් වුනා.

16න් පහළ බාලක 4x200m අවසන් තරගය මිනිත්තු 01.33.5ක කාලයකින් අවසන් කරමින් මීගමුව මාරිස් ස්ටෙල්ලා ක්‍රීඩකයින් ජයග්‍රහණය ලබා ගත් අතර 18න් පහළ ඉසව්ව ද මාරිස් ස්ටෙල්ලා ක්‍රීඩකයින් විසින් ජයග්‍රහණය කරන්නට (මිනිත්තු 01:30.9) සමත් වුනා.

උණුසුම් මුහුණුවරක් ගත් 20න් පහළ පිරිමි 4x200m තරගය මිනිත්තු 1:29.5ක කාලයකින් අවසන් කරමින් ජයග්‍රහණය කළේ මාතර රාහුල විද්‍යාලයයි.

>> පළමු දිනයේ තරග ප්‍රතිඵල <<

තරගාවලියේ දෙවැනි දිනය වන හෙට (25) තවත් අවසන් ඉසව් කිහිපයක් පැවැත්වීමට නියමිත අතර තරගාවලියේ සියලු තොරතුරු සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟ.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<