අඩු පන්දුවාර වේගය නිසා ශ්‍රී ලංකාවට තවත් ප්‍රශ්නයක්!

Sri Lanka Tour of New Zealand 2023

1409

නවසීලන්තය සමඟ පැවැත්වුණු පළමු එක්දින ක්‍රිකට් තරගයේ අඩු පන්දුවාර වේගයක් (Slow Over Rate) පවත්වා ගැනීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට ICC ලෝක කුසලාන සුපර් ලීග් ලකුණු සටහනෙන් තවත් එක් ලකුණක් අහිමි වී තිබෙනවා.

සුපර් ලීග් තරග කොන්දේසිවලට අනුව (16.12.2 වගන්තිය) කණ්ඩායමක් තරගයක නියමිත කාලයට පසුව යවන එක් පන්දුවාරයකට එක් දඬුවම් ලකුණ බැගින් හිමි වන අතර ඒ අනුව ශ්‍රී ලංකාවට එක් ලකුණක් අහිමි ව තිබෙනවා.

පසුගිය සෙනසුරාදා (25) පැවැත්වුණු මෙම තරගයේ දී පළමුව පන්දු යැවූ ශ්‍රී ලංකා කණ්ඩායම විසින් නියමිත කාලයට පසුව එක් පන්දුවාරයක් යොමු කර ඇති බව එම තරගයේ තීරකවරයා ලෙස කටයුතු කළ Jeff Crowe විසින් තරගයෙන් පසුව තීරණය කර තිබෙනවා.

එමෙන්ම මේ හේතුවෙන් ක්‍රීඩකයින්ට සහ ක්‍රීඩක සහායක පිරිස් සඳහා ICC විසින් පනවා ඇති චර්යාධර්ම සංග්‍රහය කඩවීම නිසා (2.22 වගන්තිය) ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට සිය තරග ගාස්තුවෙන් 20%ක දඩයක් ද නියම කිරීමට තරග තීරක විසින් පියවර ගෙන තිබෙනවා.

එදා තරගයේ ප්‍රධාන විනිසුරුවන් ලෙස කටයුතු කළ Shaun Haig, Wayne Knights, Chris Brown සහ  Cory Black යන අය විසින් ගොනු කළ චෝදනා අනුවයි Crowe විසින් මේ පිළිබඳ විමර්ශනය සිදු කර තිබෙන්නේ. එහි දී දසුන් ශානක විසින් එම වරද සහ යෝජිත දඬුවම් පිළිගැනීම නිසා ඒ පිළිබඳ විධිමත් විභාගයක් සිදු කිරීමට අවශ්‍ය වී නැහැ.

එමෙන්ම ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර අද (28) පැවැත්වීමට නියමිතව තිබූ දෙවැනි එක්දින ක්‍රිකට් තරගය  වර්ෂාව නිසා එකදු පන්දුවක් හෝ නොයවා අත් හැර දැමීමට තීරණය කළ අතර කණ්ඩායම් දෙකටම ලකුණු 5 බැගින් හිමි වුනා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට සුපර් ලීග් ලකුණු සටහනේ 9 වැනි ස්ථානය හිමි කරගෙන සිටින්නේ ලකුණු 81ක් සමඟිනුයි. (අද තරගයෙන් හිමි වූ ලකුණු 5 සමඟ එය ලකුණු 82ක් විය යුතු වුවත්, අහිමි වූ දඬුවම් ලකුණ නිසා 81ක් බවට පත්වුනා.)

එමෙන්ම සමස්ත සුපර් ලීග් තරගාවලිය පුරාවටම ශ්‍රී ලංකාවට හිමි වී ඇති දඬුවම් ලකුණු ප්‍රමාණය 4ක් වන අතර, කණ්ඩායමක් තරගවාරය පුරා ලබා ඇති ඉහළම දඬුවම් ලකුණු ප්‍රමාණය ද එයයි.

මේ අතර සුපර් ලීග් තරගාවලියේ තවත් එක් තරගයක් පමණක් ශ්‍රී ලංකාවට ඉතිරිව ඇති අතර, මෙවර ඉන්දියාවේ පැවැත්වීමට නියමිත එක්දින ලෝක කුසලානයට සෘජු සුදුසුකම් ලබා ගැනීමට නම් ශ්‍රී ලංකාව විසින් එම තරගය ජයග්‍රහණය කිරීම අනිවාර්යය වනවා.

සුපර් ලීග් ලකුණු සටහනේ මුල් ස්ථාන අට ලෝක කුසලානයට සෘජු සුදුසුකම් ලබන අතර මේ වන විට එහි 8 වැනි ස්ථානයේ පසු වන්නේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමයි.

ලකුණු සටහනේ ශ්‍රී ලංකාවට පසු පසින් දකුණු අප්‍රිකාව සහ අයර්ලන්තය සිටින අතර නවසීලන්තය සමඟ පැවැත්වීමට නියමිත මීළඟ තරගය (31 වැනිදා පැවැත්වීමට නියමිත) ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළත්, ඉදිරියේ දකුණු අප්‍රිකාව සහ අයර්ලන්තය ක්‍රීඩා කිරීමට නියමිත තරගාවලි පිළිබඳ අවධානය යොමු කර සිටීමත් මේ වන විටත් අනිවාර්යය දෙයක් බවට පත් වී තිබෙනවා.

ICC සුපර් ලීග් තරගාවලියේ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

ICC නිල වෙබ් පිටුව ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<