මගේ අරමුණ ලෝක කුසලානයට සූදානම් වෙන එක – Shakib Al Hassan

1286

බංග්ලාදේශ ක්‍රීඩක Shakib Al Hassan තමන් ටෙස්ට් තරග සඳහා සහභාගී නොවී ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා සහභාගී වීමට තීරණය කිරීම පිළිබඳව අදහස් දක්වා සිටියා.

වත්මන් බංගලාදේශ කණ්ඩායමේ ප්‍රබලතම තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස සැලකෙන Shakib Al Hassan බංග්ලාදේශ ජාතික කණ්ඩායමේ ශ්‍රී ලංකා ටෙස්ට් සංචාරය සඳහා සහභාගී නොවන බව පසුගිය දා නිවේදනය කළා. ඒ එම කාලය තුල පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා සහභාගී වීමේ අරමුණින්. මෙම සිදුවීම පසුගිය සති කීපය තුල බොහෝ දෙනාගේ අවධානයට යොමුව තිබුණා.

ඒ පිළිබඳව අදහස් දක්වමින් Shakib Al Hassan පවසා සිටියේ ඔහු ටෙස්ට් තරග සඳහා සහභාගී නොවීමට ගත් තීරණය බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය විසින් වැරදි ලෙස වටහා ගෙන ඇති බවයි. 

Shakibගේ මෙම තීරණය පිළිබඳව නිවේදනය කරමින් බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය ඔහු නැවත ටෙස්ට් තරග සඳහා ක්‍රීඩා නොකරනු ඇති බව පවසා තිබීම බොහෝ මාධ්‍ය වාර්තා කළා. කෙසේ වෙතත් cricbuzz වෙබ් අඩවිය සමඟින් අදහස් දක්වමින් Shakib පවසා සිටියේ තමන් එවැනි කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි.

තමන් ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලියෙන් ඉවත් වීමට ගත් තීරණය බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ ක්‍රිකට් අධ්‍යක්ෂ Akram Khan විසින් වැරදි ලෙස වටහා ගෙන ඇති බවත් එමඟින් ඔහු මාධ්‍යවලට වැරදි ප්‍රකාශයක් සිදු කර ඇති බවත් Shakib පවසා සිටියා.

“මම ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලියට ක්‍රීඩා නොකිරීම ගැන ගොඩක් අය කතා කලා. විශේෂයෙන් ගොඩක් අය හිතනවා මම ටෙස්ට් තරගවලින් සමුගත්තා කියලා. මම ආයෙත් ටෙස්ට් තරග ක්‍රීඩා කරන්නේ නැහැ කියන අය මගේ ලිපිය හරියට කියවලා නැහැ”, cricfrenzy නම් වෙබ් අඩවිය සමඟින් එක්වූ සාකච්ඡාවක දී Shakib Al Hassan පවසා සිටියා.

“මම මගේ ලිපියේ කිසිම තැනක මට ටෙස්ට් තරග ක්‍රීඩා කරන්න ඕනේ නැහැ කියලා කිව්වේ නැහැ. මම මගේ ලිපියෙන් කිව්වේ මට ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කරන්න ඕනේ නිසා ටෙස්ට් තරගවලින් මාව නිදහස් කරන්න කියලා. මම ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කරන්න තීරණය කළේ ලෝක කුසලාන තරගාවලියට සූදානම් වෙන්න ඕනේ නිසා. ඒත් මගේ ලිපිය වැරදි ලෙස තේරුම් ගත්ත Akram Khan කියලා තිබුණා මට ටෙස්ට් තරග ක්‍රීඩා කරන්න ඕනේ නැහැ කියලා.” 

“ඔහු මේක ඊයේ තිබුණ මාධ්‍ය සාකච්ඡාවක දීත් කියලා තිබුණා. මම හිතන්නේ ඔහු මගේ ලිපිය කියවලා නැහැ. ඔවුන් මොන වගේ තීරණයක් ගත්තත් මම හිතනවා ඒක හැමෝම සාකච්ඡා කරලා ගනීවි කියලා.” 

තවත් ක්‍රිකට් පුවත්:

බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය වෙත Shakib Al Hassan යොමු කළ ලිපිය සම්බන්ධයෙන් එම ක්‍රිකට් ආයතනයේ සභාපති Nazmul Hasan සුබවාදී ප්‍රතිචාරයක් දක්වා තිබුණා. ඒ අනුව Shakib Al Hassan හට ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා සහභාගී වීමට පූර්ණ අනුමැතිය ලැබී තිබුණා. ඒ පිළිබඳව අදහස් දක්වමින් Shakib බංග්ලාදේශ ක්‍රිකට් ප්‍රධානියාට සිය කෘතඥතාව පලකර සිටියා.

“මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා Nazmul Hasanට. මම විශ්වාස කරනවා ඔහු හරි තීරණය ගත්තා කියලා. ඒ වගේම මම හිතනවා ක්‍රීඩකයෙක්ට නිදහස තියෙන්නෙ ඕනේ කියලා. ක්‍රිකට් ආයතනය ක්‍රීඩකයන්ගේ තීරණවලට උදව් කරනවා නම් ක්‍රීඩකයන්ගේ ධෛර්යයට ඒක ලොකු ශක්තියක්. ක්‍රීඩකයෙක් ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරද්දී ඔවුන්ට ලොකු වගකීමක් තියනවා කණ්ඩායමට යමක් කරන්න. මම උත්සාහ කරන්නේ ඒක කරන්න.”

තවදුරටත් අදහස් දක්වමින් Shakib Al Hassan පවසා සිටියේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය පැවැත්වෙන කාලය තුල ජාතික කණ්ඩායම එක්දින හෝ විස්සයි විස්ස තරග සඳහා ද සහභාගී වන්නේ නම් තමන් එම තරග සඳහා ද ක්‍රීඩා නොකිරීමට තීරණය කර ඇති බවයි. එළඹෙන ඔක්තෝබර් මාසයේදී පැවැත්වීමට නියමිත ලෝක කුසලාන තරගාවලිය සඳහා සූදානම් වීම තම ප්‍රධාන අරමුණ බව Shakib Al Hassan පවසා සිටියා.

“මේ කාලයේ එක්දින තරගාවලියක් තිබුනත් මම ඒකට සහභාගී වෙන්නේ නැහැ. ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය තුල මට ඕනේ ලෝක කුසලානයට සූදානම් වෙන්න. මම ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩා කරන ක්‍රීඩාංගණවල තමයි මාස 4කින් ලෝක කුසලාන තරගාවලිය පැවැත්වෙන්නේ. ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා සහභාගී වෙන ක්‍රීඩකයන් එක්ක තමයි අපි ලෝක කුසලානයට ක්‍රීඩා කරන්නේ. ඒ වගේම බංග්ලාදේශ කණ්ඩායමේ අනෙක් ක්‍රීඩකයන්ට වඩා මට ලොකු අවස්ථාවක් තියනවා. මට පුළුවන් වේවි ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය තුල මම ලබාගන්න අත්දැකීම් කණ්ඩායමේ අනෙක් ක්‍රීඩකයන්ට ලබාදෙන්න. මම හිතනවා ඒක මේ වෙලාවේ වැදගත් කාර්‍යභාරයක් කියලා.” 

ශ්‍රී ලංකා බංග්ලාදේශ ටෙස්ට් තරගාවලිය සඳහා තරග 2ක් ඇතුළත් වන අතර එම තරගාවලිය එළඹෙන අප්‍රේල් 21 වැනිදා ආරම්භ වීමට නියමිතයි. 

Cricbuzz වෙබ් අඩවිය ඇසුරිනි 

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<