මහින්ද සහ දේවපතිරාජ විද්‍යාලත් අවසන් පූර්ව වරම් දිනා ගනියි

19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලිය 2021

223
U19 Schools Cricket 202

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් එක්දින ක්‍රිකට් තරගාවලියේ Tier B කොටසේ අවසන් අර්ධ අවසන් පූර්ව තරග දෙක අද (22) නිමා වුනා. 

එහි දී දේවපතිරාජ විද්‍යාලය සහ මහින්ද විද්‍යාලය අවසන් පූර්ව තරග වටය සඳහා සුදුසුකම් ලබා ගැනීමත් සමඟම පළමු පෙළ කාණ්ඩයේ අර්ධ අවසන් පූර්ව තරග සියල්ලම නිමා වුනා. එහි දී පරාජයට පත්වුනේ ඉසිපතන විද්‍යාලය සහ වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලයයි.

ඉසිපතන විද්‍යාලය සහ රත්ගම දේවපතිරාජ විද්‍යාලය

ඩී. එස්. සේනානායක විදුහල් පිටියේ දී පැවති මේ තරගයේ දී කාසියේ වාසිය දිනා ගත් ඉසිපතන විද්‍යාලය පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා.

මූලික වටය අවසානයේ දී Tier B කොටසේ Y කාණ්ඩයේ පළමු ස්ථානය දිනා ගනිමින් අපරාජිතව පැමිණි ඉසිපතන විද්‍යාලය මේ තරගයේ දී සාර්ථක ආරම්භයක් ලබා ගනිමින් පළමු කඩුල්ල සඳහා ලකුණු 53ක සබඳතාවයක් ගොඩනැංවූ අතර නෙත්සර සිල්වා 4 පහර 3ක් සමඟින් ලකුණු 31ක් ලබා ගන්නා විට, නවීන් කනිෂ්ක ද 4 පහර 3ක් එල්ල කරමින් ලකුණු 23ක් වාර්තා කරගත්තා. 

පන්දු යැවීමේ දී වමතින් දඟපන්දු යවන ඉරුෂික තිමිර ලකුණු 28කට කඩුලු 4ක් දවා ගනිමින් දක්ෂ පන්දුකරණයක නිරත වන විට සසංක නිර්මාල් සහ නායක සුධීර වීරරත්න කඩුලු දෙක බැගින් දවා ගනිමින් දස්කම් පෙන්නුවා.

ලකුණු 152ක ඉලක්කයක් හඹා යන්නට පිටියට පැමිණි දේවපතිරාජ විද්‍යාලය පන්දුවාර 43කුත් පන්දු දෙකක් අවසානයේ කඩුලු 4ක් දැවී ඉලක්කය සපුරා ගනිමින් ඉසිපතන විද්‍යාලයේ අපරාජිත ගමන අවසන් කිරීමට සමත් වුනේ ඔවුන්ව තරගාවලියෙන් ඉවතට ඇද දමමිනි. 

එහි දී ඔවුන්ගේ ආරම්භක පිතිකරුවන් යුගලය වුනු ඉරුෂික සහ දිනිත ප්‍රභංක ලකුණු 39ක සබඳතාවයක් ගොඩනංවමින් සිය විද්‍යාලයට සාර්ථක අඩිතාලමක් සකස් කර දුන් අතර ජීවක ශෂීන් ඒ සඳහා අවශ්‍ය මැදපෙළ සහය ලබා දුන්නේ අර්ධ ශතකයක් ලබාගෙනයි. 

ජීවක 4 පහර 3ක් සහ එක් 6 පහරක් එල්ල කරමින් පන්දු 85ක දී නොදැවී ලකුණු 56*ක් ලබා ගන්නා විට, නායක සුධීර නොදැවී ලකුණු 31*ක් ලබා ගනිමින් සිය තුන් ඉරියව් දක්ෂතා ප්‍රදර්ශනය කළේ සිය විද්‍යාලය අවසන් පූර්ව වටය සඳහා රැගෙන යමිනි. 

ඉසිපතන ආරම්භක පිතිකරු සහ නායක තෙවිඳු දික්වැල්ල ආබාධයට පසුව නැවතත් කණ්ඩායමට පැමිණෙමින් කඩුලු 4ක් දවා ගැනීමට සමත් වුවත්, සිය කණ්ඩායමේ ජය තහවුරු කර ගැනීම සඳහා එම දස්කම ප්‍රමාණවත් වූයේ නැහැ.

ඉසිපතන විද්‍යාලය – 151 (39.5): නෙත්සර සිල්වා 31, නවීන් කනිෂ්ක 23, තේමිය ගුණරත්න 18, ඉරුෂික තිමිර 3/28, සසංක නිර්මාල් 2/21, සුධීර වීරරත්න 2/24.

දේවපතිරාජ විද්‍යාලය – 152/4 (43.2): ජීවක ශෂීන් 56*, ඉරුෂික තිමිර 32, සුධීර වීරරත්න 31*, තෙවිඳු දික්වැල්ල 4/28.

දේවපතිරාජ විද්‍යාලයට කඩුලු 6ක ජයක්

තවත් ක්‍රිකට් පුවත්

ගාල්ල මහින්ද විද්‍යාලය සහ වෙන්නපුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලය

මොරටුව සාන්ත සෙබස්තියන් විදුහල් පිටියේ දී පැවති මේ තරගයේ ආරම්භය තරමක් පමා වුනේ තණතීරුව තරමක් තෙත ස්වභාවයක් ඉසිලීම නිසයි. ඒ නිසාවෙන් එක් ඉනිමක් පන්දුවාර 43කට සීමා කිරීමට තරග සංවිධායකයින් කටයුතු කළා.

කාසියේ වාසිය දිනා ගත් මහින්ද විද්‍යාලය පළමුව පන්දුවට පහර දෙමින් නියමිත පන්දුවාර 43 ඇතුළත කඩුලු 8ක් දැවී ලකුණු 252ක් ලබා ගත් අතර ධනුජ ඉඳුවර මහින්ද ලකුණු සටහනේ වැඩිම ලකුණු ලාභියා වෙමින් පන්දු 32ක දී ලකුණු 73ක් ලබා ගත්තා. 

එම වේගවත් සුපිරි ඉනිම සඳහා 4 පහර 6ක් සහ 6 පහර 6ක් ඇතුළත් වුනා. ඊට අමතරව නවෝද් පරණවිතාන සහ සුභානු රාජපක්ෂ දෙදෙනාම ලකුණු 62 බැගින් ලබා ගනිමින් ඉනිම සවිමත් කළා. පන්දු යැවීමේ දී හසින්ත කෞෂාන් කඩුලු දෙකක් දවා ගත්තා.

පිළිතුරු ඉනිමේ දී සාන්ත ජෝසප් වාස් විද්‍යාල පිතිකරුවන් අතරේ චමත් ප්‍රනාන්දු ලබා ගත් ලකුණු 18 සීමාව අභිබවා ලකුණු ලබා ගැනීමට නොහැකි වුනු අතර කවිඳු ලක්ෂාන්, සුභානු , කුෂාන් රන්දීප සහ නවෝද් කඩුලු දෙක බැගින් දවා ගනිමින් සාන්ත ජෝසප් වාස් ඉනිම ලකුණු 121කට සීමා කළේ මහින්ද විද්‍යාලයට අවසන් පූර්ව වටයේ ඉඩක් වෙන්කරමිනි.

මහින්ද විද්‍යාලය – 252/8 (43): ධනුජ ඉඳුවර 73, නවෝද් පරණවිතාන 62, සුභානු රාජපක්ෂ 62, හසින්ත කෞෂාන් 2/28.

සාන්ත ජෝසප් වාස් විද්‍යාලය – 121 (38.2): චමත් ප්‍රනාන්දු 18, කවිඳු ලක්ෂාන් 2/08, සුභානු රාජපක්ෂ 2/11, නවෝද් පරණවිතාන 2/23, කුෂාන් රන්දීප 2/25.

මහින්ද විද්‍යාලයට ලකුණු 131ක ජයක්

Tier B කොටසේ අවසන් පූර්ව තරග පහත පරිදි පැවැත්වීමට නියමිතයි.

  • අප්‍රේල් 25 බී. ආර්. සී. පිටියේ දී – ධර්මාශෝක විද්‍යාලය සහ දේවපතිරාජ විද්‍යාලය
  • අප්‍රේල් 25 – තර්ස්ටන් පිටියේ දී – ආනන්ද විද්‍යාලය සහ මහින්ද විද්‍යාලය

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<