ලෝක කුසලාන අවසන් සටනේ ශූරයින් මෙන්න

ක්‍රිකට් ලෝක කුසලාන ප්‍රත්‍යාවලෝකන - 07

250

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ වීමෙන් පසු මේ ගෙවී යන්නේ 45 වැනි වසරය. එතෙක් සිට මේ දක්වා කාල සීමාව තුළ ක්‍රියාත්මක ලෝක කුසලාන තරගාවලි අතුරින් මෙම මැයි මස 30 වැනිදා සිට එංගලන්තයේ පැවැත්වීමට නියමිතව තිබෙන්නේ එම ලෝක කුසලාන තරග මාලාවේ 12 වැන්නය.

ලෝක කුසලාන තෑගි මල්ලේ පරිනාමය

ලොව ක්‍රියාත්මක ලෝක කුසලාන තරගාවලි අතරින් දැවැන්තම ත්‍යාග මුදල පිරිනමනු ලබන්නේ පාපන්දු ලෝක කුසලානයේ දී බව නොරහසකි.

අන්තර්ජාතික එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමට අනුව ඉදිරියෙන්ම පසුවන රටවල් 10 අතර මෙවර ලෝක කුසලාන තරගාවලිය පැවැත්වූවත්, ඒ අතරින් මෙතෙක් පැවති තරගාවලි 11 දී ශූරතාව දිනා ගැනීමට සමත්ව ඇත්තේ රටවල් 5ක් පමණි.

ලෝක කුසලාන දිනා සිටින රටවල් අතර වැඩිම ගෞරව අත්කර ගැනීමට සමත්ව සිටින්නේ ඕස්ට්‍රේලියානු කණ්ඩායම වන අතර ඔවුන් අවස්ථා 5ක දී ක්‍රිකට් ලෝක කුසලාන දිනා තිබේ. 1987, 1999, 2003, 2007 සහ 2015 යන වසරවල පැවති ලෝක කුසලාන සියල්ලේ උරුමක්කරුවන් බවට ඕස්ට්‍රේලියානුවන් පත්වද්දී, ඊට පසු වැඩිම වාර ගණනක් ලෝක කුසලාන දිනා ගැනීමට සමත්ව ඇති රටවල් බවට පත්ව සිටින්නේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ අප අසල්වැසියන් වන ඉන්දීය කණ්ඩායමයි.

ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වී පැවති තරගාවලි දෙකේ ශූරතාව (1975 සහ 1979) බටහිර ඉන්දීය කොදෙව්වන් සතුකර ගනිද්දී, 1983 හා 2011 දී පැවති ලෝක කුසලාන ඉන්දියාව විසින් දිනා ගත්තේය.

ඔවුන්ට අමතවර පාකිස්තානය 1992 වසරේ දී ද, ශ්‍රී ලංකාව 1996 වසරේ දී ද ලෝක ශූරතා දිනා ගැනීමෙන් පසු වෙනම එකම රටක් හෝ ලෝක කුසලානයක් දිනා ගැනීමට අසමත්ව සිටිති. කොටින්ම ක්‍රිකට් උපන් රට ලෙසින් සැලකෙන එංගලන්තයට ද ලෝක කුසලාන ජයග්‍රහණයක පහස විඳ ගැනීමට තවමත් නොහැකිව තිබේ.

ලෝක කුසලාන දිනූ ජයග්‍රාහකයින් පිළිබඳ මතකය අවධි කරමින් මෙම ලිපියට සඳහා වූ ප්‍රවේශය පූර්විකාව ලබා ගනු ලැබුව ද, ලෝක කුසලාන ඉතිහාසය ප්‍රත්‍යාවලෝකනය කරනු ලබන තීරු ලිපි මාලාවේ 07 වැන්න ලෙසින් සටහන් තැබෙන මෙම සටහනට පාදක කර ගනු ලැබුවේ මෙතෙක් පැවති ලෝක කුසලාන අවසන් මහ තරගවල අවසන් මහ තරගයේ වීරයා සම්මානයට පාත්‍ර වූ ක්‍රීඩකයින් පිළිබඳව වේ.

ලෝක කුසලාන ආරම්භයේ සිට 1987 වසර දක්වා පැවති තරගාවලි සියල්ලේ දී ම ලබා දුන්නේ අවසන් තරගයේ වීරයා සම්මානය පමණක් වන අතර 1992 වසරේ පැවති තරගාවලියේ සිට එම සම්මානයට අමතරව තරගාවලියේ වීරයා සම්මානය ද ඇතුළත් කිරීමට අයි. සී. සී. පියවර ගෙන තිබේ.

  • 1975 – ක්ලයිව් ලොයිඩ්ගේ වාසනාව

ලෝක කුසලාන සමාරම්භය සිදු වූ තරගාවලියේ දී එම සුවිශේෂී වූ සම්මානයට හිමිකම් කීමට ශූරතාව දිනා ගන්නා ලද බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් නායක ක්ලියිව් ලොයිඩ් සමත් විය.

පළමු ලෝක කුසලානය තරගාවලියේ ශූරතාව දිනා ගැනීමේ වාසනාවන්තයා බවට පත්වූ ලොයිඩ් එම අවසන් මහ තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබීම ද අතිශය විරල වාසනාවක් ලෙසින් සැලකෙයි. මන්ද යත් එය කෙදිනකවත් යළි බිඳ නොවැටෙන වාර්තාවක් වීම නිසාවෙනි.

ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවති එම අවසන් මහ තරගයේ දී කොදෙව් කණ්ඩායම වෙනුවෙන් පන්දු 85ක දී ලකුණු 102ක් වාර්තා කරමින් ඒ සුවිශේෂී වූ සම්මානයෙන් ලොයිඩ් පිදුම් ලැබීය. හයේ පහර 2කින් සහ තවත් හතරේ පහර 12කින් වර්ණවත් වුණු ලොයිඩ්ගේ ඉනිම නොවන්නට එදා බොහෝ විට පළමු ලෝක කුසලානය ඕස්ට්‍රේලියානුවන් සතු වන්නට ඉඩ තිබුණි.

අවසන් මහ තරගයේ දී හැරුණු කොට ඊට පෙර පැවති තරග 4 දී ම ලොයිඩ් වාර්තා කිරීමට සමත්ව තිබුණේ ලකුණු 56ක් පමණක් වන නමුත් අවශ්‍යම අවස්ථාවේ දී ලකුණු අතරට පැමිණීමට ඔහු සමත් වීමට හැකි වීම ද කැපී පෙනුණු සිදුවීමක් විය.

  • 1979 – විවියන් රිචර්ඩ්ස්ගේ ඉවසපු ඉවසිල්ල

70 දශකය යනු ක්‍රිකට් ක්‍රීඩාවේ පූර්ණ ඒකාධිකාරීත්වය බටහිර ඉන්දීය කොදෙව්වන් සතු වූ කාලයකි. එවකට ඔවුන් සතු වූ පිතිකරුවන් මෙන්ම ඊට නොදෙවැනි පන්දු යවන්නන් සතු වූ අසාමාන්‍ය දක්ෂතාවයන් කොදෙව් කණ්ඩායම ජාත්‍යන්තරයේ ඔසවා තබනු ලැබීය.

ක්‍රිකට් උපන් රට වන එංගලන්තය අවසන් මහ තරගයට සුදුසුකම් ලැබූ එම අවසන් මහ තරගයේ දී පළමු කඩුලු 4 ම ලකුණු 99ක බිඳ වැටීම නිසා කොදෙව් කණ්ඩායම අසීරුතාවකට මුහුණ දුන්නේය. ගෝර්ඩන් ග්‍රිනිජ්, ඩෙස්මන් හෙයින්ස්, ඇල්වින් කලිචරන් මෙන්ම නායක ලොයිඩ්ද  දැවී ගිය පිතිකරුවන් විය.

අවශ්‍යම මොහොතේ ක්‍රියාත්මක වූ රිචර්ඩ්ස් නැංගුරම් ලූ ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 157කට මුහුණ දෙමින් ලකුණු 138ක් ලබා කොදෙව් කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 286ක් දක්වා ඉහළට දැමීය.

ඒ වෙනුවෙන් කොලිස් කිං සහ ඔහු අතර පස්වැනි කඩුල්ල වෙනුවෙන් වාර්තා වූ ලකුණු සංඛ්‍යාව 139කි. අංක 3 ස්ථානයෙන් පන්දුවට පහර දීමට පැමිණි රිචර්ඩ්ස් හයේ පහර 3ක් සහ හතරේ පහර 11ක් වාර්තා කරමින් කොදෙව් ඉනිම හමාර වන තෙක්ම කඩුල්ල ආරක්ෂා කර ගනිමින් දෙවැනි ලෝක කුසලානේ හිමිකරුවන් තේරී අවසන් මහ සටනේ වීරයා ලෙසින් සම්මාන දිනා ගත්තේය.

  • 1983 – අමරනාත්ගේ තුන් ඉරියව් දක්ෂතාවය

ලෝක කුසලාන අඹරේ කොදෙව් ආධිපත්‍ය බිඳ වැටුණේ 1983 තරගාවලියේ දී ය. පිට පිටම තෙවැනි වතාවටත් ලෝක කුසලාන දිනා ගැනීමේ අපේක්ෂාවෙන් එම තරගාවලියේදීත් අවසන් සටනට සුදුසුකම් ලද කොදෙව්වන්ව මට්ටු කරමින් ඉන්දියාව ශූරතාව දිනා ගත් එම අවසන් මහ තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබුවේ මොහින්දර් අමරනාත්ය.

ඉන්දීය කණ්ඩායම ලබා දුන් ලකුණු 183ක ඉලක්කය කොදෙව්වන්ට පහසු ඉලක්කයක් ලෙසින් දිස් වුවත්, මනා පාලනයකින් යුතු පන්දු යවන්නෝ එකී සුවිශේෂී ජයග්‍රහණය ඉන්දියාවට ලබා දීමට පෙරමුණ ගත්හ.

ඉන්දීය පන්දු යවන්නන් අතුරින් කඩුලු 3 බැගින් බිඳ හෙළීමට මදන් ලාල් සහ අමරනාත් සමත් වූ නමුත්, දකුණත් මද වේගපන්දු යවන්නකු වූ අමරනාත්ගේ පන්දු යැවීම කැපී පෙනුණි. මන්ද යත් මදන් ලාල් කඩුලු 3 දවා ගැනීම සඳහා ලකුණු 31ක් ලබා දී තිබුණ ද අමරනාත්ගේ පන්දු හමුවේ ප්‍රතිවාදීන් රැස්කර ගෙන තිබුණේ ලකුණු 13ක් පමණි.

එපමණක් නොව අංක 3 ස්ථානයෙන් පිටියට පිවිසි අමරනාත් රැස්කරන ලද ලකුණු 26 ද තරගයේ වීරයා සම්මානය ඔහුට හිමි වීමට තවත් අතිරේක වාසියකට හිටියේය.

  • 1987 – තරගාවලිය පුරාම ලකුණු අතරට උන් ‘බූන්’

පස් වතාවක් ලෝක ශූරතාව දිනා සිටින ඕස්ට්‍රේලියාව පළමු වතාවට ලෝක කුසලානයක් ජයග්‍රහණය කළේ 1987 තරගාවලියේ දී ය. එංගලන්තය සමඟ පැවති එම අවසන් මහ තරගයේ දී ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරම්භක පිතිකරු ලෙස පිටියට පිවිසි ඩේවිඩ් බූන් රැස් කළ ලකුණු 75 එම තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබීමට හේතු විය.

කරට කර සටනක් ගිය එම අවසන් මහ තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියාව කඩුලු 5කට ලකුණු 253ක් ලබා ගත් අතර එය හඹා ගිය එංගලන්තය ද කඩුලු 8කට ලකුණු 246ක් රැස් කිරීමට සමත් විය.

පන්දු 125ක දී වාර්තා වූ බූන්ගේ එම සුවිශේෂී ඉනිමට හතරේ පහර 7ක් පමණක් ඇතුළත් විය. තරගාවලිය පුරාම පිතිකරුවෙකු ලෙස කැපී පෙනුණු බූන් තරග ‍8ක දී අර්ධ ශතක 5ක් සමඟ මුළු ලකුණු 447ක් රැස් කිරීමට සමත් විය.

  • 1992 – මාටින් ක්‍රෝට සෙකන්ඩ් නොවුණු අක්‍රම්ගේ දක්ෂතා

එතෙක් පැවති ලෝක කුසලාන තරගාවලි රාමුව සම්පූර්ණයෙන්ම කණපිට පෙරළූ තරගාවලිය බවට ඉතිහාස ගත වූ මෙම තරගාවලියේ අවසන් මහ තරගයේ වීරයා බවට පත්වූයේ හිටපු පාකිස්තානු වේගපන්දු යවන ක්‍රීඩක වසීම් අක්‍රම්ය.

තෙවැනි වතාවටත් අවසන් මහ තරග වරම් දිනූ එංගලන්තයට එරෙහිව පැවති එම අවසන් මහ තරගයේ දී පිත්තෙන් ලකුණු 33ක් සහ පන්දු යවමින් ලකුණු 49කට කඩුලු 3ක් දවා ගනිමින් දක්වන ලද තුන් ඉරියව් දක්ෂතා, අක්‍රම්ට අවසන් මහ තරගයේ වීරයා සම්මානය දිනා දුන්නේය.

අදටත් නම ඇසූ සැණින් පිතිකරුවන් භීතියට පත් වන තරමට පන්දු යවන්නෙකු ලෙස සිය ආධිපත්‍ය පතුරුවා ගැනීමට සමත් වූ අක්‍රම් සමස්ත තරගාවලියේ තරග 10ක දී කඩුලු 18ක් බිඳ හෙළමින් ලෝක කුසලානය දිනා ගැනීම වෙනුවෙන් පාකිස්තානු කණ්ඩායමට දැඩි මෙහෙයක් ඉටු කළ ද, තරගාවලියේ වීරයා සම්මානය අවසන් කණ්ඩායම් 4 තරග වටයෙන් ඉවතට විසි වුණු නවසීලන්ත පිලේ නායක මාටින් ක්‍රෝට හිමි වීම කැපී පෙනෙයි.  

  • 1996 – අරවින්දගේ අරවින්දය

කිසිවකුත් නොසිතූ වටපිටාවක 1996 ලෝක කුසලානය ශ්‍රී ලංකාව දිනා ගැනීමේ පිටුපස සිටි වීර චරිත අතර අරවින්ද ද සිල්වාට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි.

ඕස්ට්‍රේලියානුවන්ට එරෙහිව පැවති අවසන් මහ තරගයේ දී අරවින්ද ලබා ගත් ශතකය අති විශිෂ්ටය. ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන්ට එරෙහිව පන්දු 124කට මුහුණ දුන් අරවින්ද තම ඉනිමට හතරේ පහර 13ක් පමණක් ඇතුළත් කරමින් ලකුණු 107ක් ලබා ගත්තේ ජයග්‍රාහී ලකුණ ලබා ගැනීම නායක අර්ජුන රණතුංගයන්ට භාර කරමිනි.

ලෝක කුසලාන අවසන් මහ තරගයක දී පිතිකරුවෙකු වාර්තා කරන ලද තෙවැනි ශතකය බවට එම ඉනිම පත් වුවද, දෙවැනියට පහර දුන් කණ්ඩායමක පිතිකරුවෙකු වාර්තා කරන ලද පළමු ශතකය ලෙසින් අරවින්දගේ ශතකය ඉතිහාසයට එකතු විය.

එම තරග වාරයේ සෑම තරගයක වාගේම ලකුණු අතර සිටි අරවින්ද තරග 6ක දී ශතක දෙකක් සහ අර්ධ ශතක 2ක් සමඟින් මුලු ලකුණු 448ක් රැස් කිරීමට සමත් විය. පන්දු යැවීමෙන් ද ප්‍රතිවාදී කඩුලු 3ක් බිඳ හෙළමින් අරවින්ද එදා දක්වන ලද දක්ෂතා, ඔහුට එම තරගයේ වටිනාම සම්මානය හිමි වීමට ප්‍රධාන විය.

මෙම තරගාවලියේ වීරයා සම්මානය සඳහා අරවින්ද ද සිල්වා සමඟින් වැඩිම ලකුණු ලද පිතිකරුවන් අතර සචින් ටෙන්ඩුල්කාර් (523) සහ මාක් වෝ (484) ඉදිරියෙන් පසු වූ නමුත්, ලකුණු 221ක් සහ කඩුලු 7ක් දවා ගත් සනත් ජයසූරිය තරගාවලියේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබුවේය.

  • 1999 – වෝන්ගේ කැරකැවිල්ල

පළමු පන්දුවාර 15 ඇතුළත යාර 30 සීමාවට  ඉහළින් පහර එල්ල කරමින් ලකුණු රැස් කරමින් සාර්ථක ප්‍රවේශයක් ගැනීම සඳහා එතෙක් කලක් පැවති සංස්කෘතිය වෙනුවට අවසන් පන්දුවාර කිහිපයේ දී දැවැන්ත පහර එල්ල කිරීමේ කලාව යලි රැගෙන ආ ක්‍රීඩකයා බවට පත්වූ දකුණු අප්‍රිකානු ක්‍රීඩක ලාන්ස් ක්ලූස්නර් තරගාවලියේ වීරයා බවට පත්වූ එම තරගාවලියේ අවසන් මහ තරගයේ වීරයා බවට පත්වූයේ අදහාගත නොහැකි දඟ කැවීමක් සහිතව පන්දු යැවීමක නිරත වූ ඕස්ට්‍රේලියානු පිලේ ෂේන් වෝන්ය.  

වර්ෂාව හේතුවෙන් ප්‍රමාද වී ඇරඹි එම තරගයේ දී පාකිස්තානු කණ්ඩායමේ අවශ්‍යම කඩුලු 4ක් බිඳ දැමීමට වෝන් සමත් විය. ඉජාස් අහමඩ්, මොයින් ඛාන්, ශහිඩ් අෆ්රිඩි සහ වසීම් අක්‍රම් වෝන්ගේ පන්දු හමුවේ දැවී ගිය පිතිකරුවන් බවට පත් වද්දී වොන්ගේ පන්දු යැවීම සටහන් වූයේ පන්දුවාර 9ක දී නිලකුණු පන්දුවාරයක් සමඟින් ලකුණු 33කට කඩුලු 4 ක් වශයෙනි.

යවන ලද දෙවැනි පන්දුවාරයේ දී ම සාර්ථක ඵල නෙලා ගත් වෝන්ගේ අරුම පුදුම පන්දු යැවීම නිසා ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ජයග්‍රාහී ඉලක්කය ලකුණු 133ක් තරම් අඩු ලකුණු සංඛ්‍යාවකට නතර කර ගැනීමට අවස්ථාව උදා විය.

  • 2003 – පොන්ටින්ගේ අනුකම්පා විරහිත ප්‍රහාරය

වසර 20කට පසු අවසන් මහ තරගයක පහස විඳ ගත් ඉන්දියාවට එරෙහිව අනුකම්පා විරහිත පිතිහරඹයක් දියත් කළ රිකී පොන්ටින් පන්දු 121ක දී වේගවත් ලකුණු 141ක් ලබා ගනිමින් එම අවසන් මහ තරගයේ වීරයා ලෙසින් කිරුළු පැලඳීය.

හයේ පහර 6ක් සහ හතරේ පහර 4කින් සමන්විත වූ පොන්ටින්ගේ නොබිඳුණු ඉනිමත් සමඟ තෙවැනි කඩුල්ල වෙනුවෙන් ඩේමියන් මාටින් සමඟ ලකුණු 234ක වාර්තාගත සම්බන්ධතාවක් පවත්වමින් ජයග්‍රහණය සඳහා ලකුණු 359ක දැවැන්ත ඉලක්කයක් ඉන්දියාව හමුවේ තැබීය. කෙසේ වෙතත් එය හඹා යෑමේ දී ඉන්දීය ඉනිම ලකුණු 234කට සීමා විය.

  • 2007 – ස්කොෂ් පන්දුවෙන් ගිල්ක්‍රිස්ට් කළ විජ්ජාව

1996 වසරෙන් පසු දෙවැනි වතාවට අවසන් මහ තරගයකට සුදුසුකම් ලද ශ්‍රී ලංකාවට දෙවැනි වතාවටත් ලෝක කුසලානයක් දිනා ගැනීමට තිබූ පහසුම අවස්ථාව බවට පත්වූයේ 2007 තරගාවලියයි.

එහෙත් ශ්‍රී ලංකා බලාපොරොත්තු සියල්ල බිඳ වැටුණේ ආරම්භක පිතිකරු ඇඩම් ගිල්ක්‍රිස්ට් ක්‍රීඩා කරන ලද අනුකම්පා විරහිත ඉනිම හේතුවෙනි. ශ්‍රී ලංකා පන්දු යවන්නන් කිසිම අවස්ථාවක් ලබා නොදෙමින් හයේ පහර 8ක් සහ හතරේ පහර 13ක් සමඟ ගිල්ක්‍රිස්ට් විසින් පන්දු 104ක දී රැස් කරන ලද ලකුණු 149 නොවන්නට සමස්ත තරගාවලියේ ක්‍රීඩා කළ විලාශය අනුව ශූරතාව දිනා ගැනීමේ අවස්ථාව හොඳින්ම පැවැතිණ. ගිල්ක්‍රිස්ට් විසින් වාර්තා කරන ලද එම ඉනිම එතෙක් මෙතෙක් පිතිකරුවෙකු අවසන් මහ තරගයක දී වාර්තා කරන ලද ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසින් සටහන් විය.

පිට පිටම සිව්වැනි වතාවටත් ඕස්ට්‍රේලියාව ලෝක කුසලාන දිනා ගත් තරගාවලිය බවට පත්වූ එම තරගාවලියේ දී ශ්‍රී ලංකාව ද සැලකිය යුතු හඹා යෑමක නිරත වුවත් වර්ෂාවෙන් බාධා පැමිණීමෙන් පසු තරගයේ සියලුම වාසි ඕස්ට්‍රේලියානුවන් දෙසට දෝලනය විය.

ස්කොෂ් පන්දුවක් සිය අත් ආවරණ තුළ තබා ගනිමින් පන්දුවට පහර දුන් බව තරගාවසානයේ පවසා සිටීමත් සමඟ එම ඉනිම සම්බන්ධව බොහෝ දෙනා විවිධ මත පළ කර සිටි අතර විවේචන ද එල්ල වීම කැපී පෙනුණි. කෙසේ වෙතත් මෙම සුවිශේෂී ඉනිමත් සමඟ කඩුලු රකින ක්‍රීඩකයකු අවසන් මහ තරගයේ වීරයා සම්මානය දිනා ගන්නා ලද පළමු ක්‍රීඩකයා ලෙසින් ද ගිල්ක්‍රිස්ට් ඉතිහාස ගත විය.

  • 2011 – නොසැළුණු දෝනිගේ ඉනිම

2007 වසරේ දී ලබාගත නොහැකි වූ කුසලාන 2011 වසරේ දිනා ගැනීමේ අටියෙන් ශ්‍රී ලංකාව අවසන් මහ තරග වරම් දිනා ගත්ත ද, සියලු බලාපොරොත්තු ඉන්දීය නායක මහේන්ද්‍ර සිං දෝනිගේ සුපිරි පිතිහරඹයත් සමඟ දියාරු වී ගියේය.

වසර 8කට පසු ඉන්දියාව ද අවසන් මහ තරගයකට සුදුසුකම් ලද එම තරගාවලිය ලෝක පූජිත සචින් ටෙන්ඩුල්කාර් ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමු දුන් අවසන් තරගාවලිය බවට ද පත්විය. එතෙක් කලක් ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාවට පිතිකරුවෙකු ලෙසින් සිදු කරන ලද දැවැන්ත සේවයට ප්‍රතිඋපකාර දැක්වීමේ අරමුණින් එම ලෝක කුසලාන සචින්ට දිනා දීමට බොහෝ දෙනා තුළ පැවතියේ දැඩි උනන්දුවකි.

පන්දු 88ක දී මහේල ජයවර්ධන විසින් වාර්තා කරන ලද ලකුණු 103ක ඉනිමත් සමඟ ලකුණු 275ක ඉලක්කයක් ඉන්දියාව හමුවේ ලබා දුන්න ද, පන්දු 79ක දී දෝනි නොදැවී රැස් කරන ලද ලකුණු 91ක ඉනිම ශ්‍රී ලංකා ජයග්‍රහණයේ හරහට හිටියේය.

මුත්තයියා මුරලිදන්ගේ අවසන් එක්දින තරගාවලිය බවට පත්වූ එම අවසන් මහ තරගයේ දී දෝනි විසින් කුලසේකර එල්ල කරන ලද දැවැන්ත හයේ පහරත් සමඟ වසර 28කට පසු ලෝක කුසලාන ජයග්‍රහණයක පහස විඳ ගැනීමේ අවස්ථාව ඉන්දියාවට උදා විය.

  • 2015 – අසල්වැසි සටනේ වීරයා වූ ක්ලාක්

ඕස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ සත්කාරකත්වයෙන් පැවති මෙම තරගාවලියේ අවසන් මහ තරගයට ඔවුන්ම ප්‍රතිවාදීන් බවට පත්වීම සුවිශේෂී සිදුවීමක් බවට පත්විය.

අවසන් මහ තරගයට පෙර පැවති සියලුම තරග විශිෂ්ට අයුරින් නවසීලන්ත කණ්ඩායම ක්‍රීඩා කිරීම මත එවර තරගාවලියේ ශූරතාව නවසීලන්තය දිනා ගනු ඇතැයි බොහෝ දෙනාගේ අපේක්ෂාව විය. එහෙත් තුන් ඉරියව් ක්‍රීඩක ජේම්ස් ෆෝල්ක්නර්ගේ පන්දු යැවීම නවසීලන්ත කුසලාන බලාපොරොත්තු සුන්නත් දූලි කර දැම්මේය.

නවසීලන්ත ඉතිහාසයේ ලෝක කුසලාන අවසන් මහ තරගයකට සුදුසුකම් ලද පළමු අවස්ථාව බවට පත්වූ එම තරගාවලියේ දී ෆෝල්ක්නර් ලකුණු 36කට කඩුලු 3ක් දවා ගනිමින් නවසීලන්තය අමාරුවේ දැමීය.

ඔහුගේ පන්දු හමුවේ නවසීලන්ත ඉනිමේ හොඳම පිතිකරුවන් වූ රොස් ටේලර්, ග්‍රාන්ට් එලියට් සහ කොරේ ඇන්ඩර්සන් දැවී යෑම නවසීලන්ත කණ්ඩායමට දැඩි අවාසනාවක් ගෙන දුන්නේය. ඔස්ට්‍රේලියාවේ ජයග්‍රහණය වෙනුවෙන් නායක මයිකල් ක්ලාර්ක් ලකුණු 74 ක් රැස් කළ ද ෆෝල්ක්නර්ගේ දක්ෂතාවයට තරගයේ වීරයා සම්මානය හිමි විය.

තරගාවලියේ වීරයා සම්මාන දිනූ ක්‍රීඩකයින්

තරගාවලියක්‍රීඩකයාදක්ෂතාවය
1992මාටින් ක්‍රෝලකුණු 456
1996සනත් ජයසූරියලකුණු 221 යි කඩුලු 7 යි
1999ලාන්ස් ක්ලූස්නර්ලකුණු 281 යි කඩුලු 17 යි
2003සචින් ටෙන්ඩුල්කාර්ලකුණු 673 යි කඩුලු 2 යි
2007ග්ලෙන් මැක්ග්‍රාත්කඩුලු 26 යි
2011යුවරාජ් සිංලකුණු 362 යි කඩුලු 15 යි
2015මිචෙල් ස්ටාර්ක්කඩුලු 22 යි

අවසන් මහ තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලද ක්‍රීඩකයින්

තරගාවලියක්‍රීඩකයාදක්ෂතාවය
1975ක්ලයිව් ලොයිඩ්ලකුණු 102 යි
1979විවියන් රිචර්ඩ්ස්නොදැවී ලකුණු 138 යි
1983මොහින්දර් අමර්නාත්කඩුලු 3 යි ලකුණු 26 යි
1987ඩේවිඩ් බූන්ලකුණු 75 යි
1992වසීම් අක්‍රම්ලකුණු 33 යි කඩුලු 3 යි
1996අරවින්ද ද සිල්වාලකුණු (නොදැවී) 107 යි කඩුලු 3 යි
1999ෂේන් වෝන්කඩුලු 4 යි
2003රිකී පොන්ටින්ලකුණු 140 යි
2007ඇඩම් ගිල්ක්‍රිස්ට්ලකුණු 149 යි
2011මහේන්ද්‍ර සිං දෝනිලකුණු (නොදැවී) 91 යි
2015ජේම්ස් ෆෝල්ක්නර්කඩුලු 3 යි

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<