ඔබයි “සර්ව කාලීන ශ්‍රේෂ්ඨයා”; Kholiගෙන් Ronaldoට පැසසුම්!

FIFA world cup 2022

918

සුපිරි ඉන්දීය පිතිකරු Virat Kohli විසින් පසුගිය දා පාපන්දු ලෝක කුසලාන සිහිනය බොඳ කර ගත් පෘතුගාල සුපිරි තරුව Cristiano Ronaldo ව ලොව බිහි වූ විශිෂ්ටතම පාපන්දු ක්‍රීඩකයා ලෙස හඳුන්වා දෙමින් Instagram සටහනක් තබා තිබෙනවා.

සෑම ආකාරයකම පාපන්දු කුසලාන දිනා ඇති Ronaldoගේ කුසලාන මල්ලේ ඇති එකම අඩුව වන්නේ පාපන්දු ලෝක කුසලානයක් පමණයි. ඒ අඩුව පුරවා ගැනීමේ අටියෙන් මෙවර පාපන්දු ලෝක කුසලානය ක්‍රීඩා කිරීමට කටාර් රාජ්‍යයට පැමිණි Ronaldoගේ සහ පෘතුගාල කණ්ඩායමේ ගමන පසුගිය සෙනසුරාදා (10) මොරොක්කෝව හමුවේ ලද පරාජයත් සමඟින් අවසන් වුනා.

බොහෝ දෙනා මෙවර ලෝක කුසලානයට සහභාගී වූ පෘතුගාල කණ්ඩායම මෑත ඉතිහාසයේ බිහි වූ හොඳම පෘතුගාල කණ්ඩායම ලෙසත්, ඔවුන් ලෝක කුසලානය දිනා ගැනීමේ සටනේ ඉදිරියෙන් ම සිටින බවත් අනුමාන කළා. නමුත් ඒ අනුමානයන් සියල්ල පුස්සක් බවට පත් කිරීමට මොරොක්කෝවේ Youssef En-Nesyri විසින් තත්පර කිහිපයකින් සමත් වුනා.

මෙම තරග පරාජයෙන් පසුව Ronaldo හෙළු කඳුළුවලට ද විදෙස් මාධ්‍ය මගින් ඉහළ ප්‍රචාරණයක් ලබා දුන්නා. ඒ අතරේ අද (12) උදෑසන සුපිරි ඉන්දීය පිතිකරු Virat Kohli විසින් Instagram සටහනක් තබමින් සඳහන් කළේ, Ronaldo යනු ලොව බිහි වූ විශිෂ්ටතම පාපන්දු ක්‍රීඩකයා බවත්, ඔහු විසින් ලෝක පාපන්දුවට මෙන්ම පාපන්දු ලෝලීන්ට ද කර ඇති බලපෑම ලෝක කුසලානයක් හිමි වීම හෝ නොවීම මත රඳා නො පවතින බවයි.

කිසිම කුසලානයකට බැහැ ඔබ ලෝක පාපන්දුවට සහ සමස්ත පාපන්දු ලෝලීන්ට කළ බලපෑම උදුරා ගන්න. ඔබ මිනිසුන්ට කර ඇති බලපෑම සහ මට වගේම ලෝකය පුරා ඔබ ක්‍රීඩා කරනවා බලා සිටින අයට දැනෙන හැඟීම විස්තර කරන්නත් කිසිම කුසලානයකට හැකියාවක් නැහැ.

එය දෙවියන්ගෙන් ලද ත්‍යාගයක්.

සෑම මොහොතකම හදවතින් ක්‍රීඩා කරන,  වෙහෙස මහන්සි වී කැපවීමෙන් ක්‍රීඩා කරන ඔබ වෙනත් ඕනෑම ක්‍රීඩකයකුට සැබෑ ම ආදර්ශයක්.

මට අනුව නම් ඔබ තමයි පාපන්දුවේ “සර්ව කාලීන ශ්‍රේෂ්ඨයා”.

මේ අතර ලෝක කුසලාන අර්ධ අවසන් පූර්ව වටයෙන් පෘතුගාලය පරාජය කිරීමට සමත් වූ මොරොක්කෝ කණ්ඩායම පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ අවසන් පූර්ව වටයට පිවිසි පළමු අප්‍රිකානු දේශය බවට පත් වීමට සමත් වූ අතර, ඔවුන් අවසන් පූර්ව වටයේ දී වත්මන් ලෝක ශූරයින් වන ප්‍රංශය (බ්‍රහස්පතින්දා – 15) මුණ ගැසීමට නියමිතයි.

එමෙන්ම වත්මන් ලෝක අනුශූරයින් වන ක්‍රොඒෂියාව විසින් Lionel Messi ප්‍රමුඛ ආජන්ටිනා කණ්ඩායම අවසන් පූර්ව වටයේ දී (බදාදා – 14) මුණ ගැසීමට නියමිතයි.

මෙවර පාපන්දු ලෝක කුසලානයේ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Hindustan Times ඇසුරෙනි.

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න <<