Warne-මුරලි අතර වෙනස ගැන මහේලගෙන් විග්‍රහයක්

4920

Shane Warne සහ මුත්තයියා මුරලිදරන් අතර වෙනස්කම් පැහැදිලි කරමින් ශ්‍රී ලංකාවේ හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක මහේල ජයවර්ධන පවසා සිටින්නේ පන්දු යැවීමේ දී මුරලි සතුව තිබූ විවිධත්වය Warne සතුව නොතිබූ බවයි. 

ඉතිහාසය වෙනස් කරන්නට යන ක්‍රිකට් මහගෙදර සභාපතිනිය

ඕස්ට්‍රේලියාවේ Warne සහ ශ්‍රී ලංකාවේ මුරලි 1990 දශකයේ මෙන්ම 2000 වසර වල ආරම්භක දශකයේ දීද ක්‍රිකට් පිටිය තුළ සිය අණසක පතුරුවා ගන්නට සමත් වූයේ ක්‍රිකට් ක්‍රීඩා ඉතිහාසය තුළ බිහි වූ විශිෂ්ටතම දඟපන්දු යවන්නන් දෙදෙනෙකු ලෙස සිය නාමයන් ස්ථාපිත කරගනිමිනි. ඔවුන් දෙදෙනාම ඉතා දක්‍ෂ දඟපන්දු යවන්නන් දෙපළක් ලෙස ඒ කෙරෙහි සුවිශේෂී නිපුණත්වයක් මෙන්ම පන්දු යැවීමට අදාළව තියුණු බුද්ධියක් සිය ක්‍රිකට් දිවි පුරාවටම පෙන්නුම් කළ අතර ඒ හරහා ඔවුන්ගේ ප්‍රතිවාදීන් අභිබවමින් ඉදිරියට පැමිණෙන්නට ඔවුන් දෙදෙනාටම හැකියාව ලැබුනි. 

එක් පසෙකින් Warne ක්‍රිකට් ක්‍රීඩාව තුළ බිහි වූ විශිෂ්ටතම පා දඟපන්දු යවන්නා ලෙස හඳුන්වන විට අනෙක් පසින් ක්‍රිකට් ක්‍රීඩාව තුළ බිහි වූ විශිෂ්ටතම පිට දඟපන්දු යවන්නාට හිමි ස්ථානය මුරලි විසින් හිමිකර ගෙන සිටී. ඒ අනුව ඔවුන් දෙදෙනාම සිය ක්‍රිකට් දිවියෙන් විශ්‍රාම ගන්නා විට කඩුලු ඉතා විශාල සංඛ්‍යාවක් දවා ගන්නට සමත්ව සිටියහ. කෙසේ නමුත් ඒ අතුරින් මුරලි විසින් සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ ක්‍රීඩා කරනු ලැබූ තරග 133 තුළදී සමස්ත කඩුලු 800ක සංඛ්‍යාවක් දවා ගැනීමට සමත්ව සිටින්නේ ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය තුළ පන්දු යවන්නෙකු දවා ගත් වැඩිම කඩුලු සංඛ්‍යාවට හිමි වාර්තාව ද තමන් සතුකර ගනිමිනි. 

සමස්ත ටෙස්ට් කඩුලු 708ක් දවා ගෙන ඇති Warne, එම ලැයිස්තුවේ දෙවන ස්ථානය හිමිකර ගෙන සිටී. ඊට අමතරව මොවුන් දෙදෙනාම එක්දින ක්‍රිකට් ලෝක ශූරයින් ලෙස කිරුළු පළඳා ඇති අතර ඒ අනුව ඉතා සාර්ථක එක්දින ක්‍රීඩා දිවියක ද හිමිකරුවන් වේ.    

කෙසේ නමුත් Warne සහ මුරලි පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් නායකයෙකු වන මහේල ජයවර්ධන පවසා සිටින්නේ ඔහු සමඟ ද වසර ගණනාවක් පුරාවට එකට ක්‍රීඩා කර ඇති මුරලි සතුව පන්දු යැවීමේ දී තිබූ විවිධත්වය Warne සතුව නොතිබූ බවයි. 

“මුරලි ඉතා විශිෂ්ට පන්දු යවන්නෙක්. ඔහු පන්දු යවපු විදිහ අනෙක් හැම ක්‍රීඩකයෙක්ටම වඩා වෙනස්. පන්දු යැවීමේ දී මුරලි සතුව තිබූ විවිධත්වය Warne ළඟ තිබ්බේ නැහැ. මුරලි හැමතිස්සේම පන්දු යොමුකළේ ඔහු කරන්නේ මොකක්ද කියලා ගොඩක් හොඳ අවබෝධයක් එක්ක. ඒ වගේම ඔහු ගොඩක් විශ්වාස කළා කෙමෙන් කෙමෙන් පිතිකරුවෙක්ව දුර්වල කිරීම ගැන. කවුරුහරි පිතිකරුවෙක්ව දවා ගන්න මුරලිට අවුරුදු 10ක් ඉන්න වුනොත් ඔහු අනිවාර්යයෙන්ම ඒකත් කරන්න සූදානමෙන් ඉන්නේ.” යයි ESPNCricinfo විසින් පවත්වනු ලැබූ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මහේල විසින් Sanjay Manjrekar හමුවේ පවසා සිටියේය. 

වර්ණවාදයට සංගාගෙන් පිළිතුරක්

“Warne සහ මුරලි කියන්නේ එකිනෙකට වෙනස් පෞරුෂයන් දෙකක්. Warne කියන්නේ ස්ථිර පා දඟපන්දු යවන්නෙක්. සමහරවිට ඔහු ගොඩක්ම පන්දු යැව්වේ ‘ඔයා ඇවිත් මට attack කරන්න, මම ඔයාගේ කඩුල්ල දවා ගන්නවා’ කියන උපාය මාර්ගයත් එක්ක. සමහරවිට ඔහුත් දැනගෙන ඉන්න ඇති පන්දු යැවීමේ දී මුරලි දක්වපු විවිධත්වය ඔහු ළඟ තිබුනේ නැහැ කියලා.” මහේල වැඩිදුරටත් පැවසීය. 

මහේල 2007 සහ 2011 වසර වල පැවති එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලි වල අවසන් මහා තරග අඛණ්ඩව ක්‍රීඩා කරමින් ඒවායේ අනුශූරතාවය දිනාගන්නට සමත් වූ අතර ඉන් අනතුරුව ඔහු 2014 පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ එහි ශූරතාවය දිනා ගැනීමට සමත් විය. මෙහිදී තවදුරටත් අදහස් දක්වමින් මහේල පවසා සිටින්නේ වර්තමානයේ සිටින පිතිකරුවන් පෙරට වඩා දක්‍ෂ වීම හේතුවෙන් මෙම යුගය තුළ පන්දු යවන්නන් හට Warne සහ මුරලිගේ වාර්තාවන් අසළට පැමිණීම ඉතා අපහසු දෙයක් වනු ඇති බවයි. 

“අද කාලේ ඉන්න පන්දු යවන්නන්ට, කලින් හිටපු පන්දු යවන්නන් දවා ගත්ත තරම් කඩුලු සංඛ්‍යාවක් දවා ගන්න පුළුවන් වෙයිද කියලා දැන්ම කියන්න අපිට හැකියාවක් නැහැ. නමුත් මම හිතන විදිහට ගොඩක් දුරට දැන් කාලේ පන්දු යවන්නන්ට පන්දු යවන්න වෙලා තියෙන්නේ කලින් හිටියට වඩා ශක්තිමත් පිතිකරණ බලඇණි වලට එරෙහිව. ඒ අනුව කලින් හිටපු පන්දු යවන්නන් තරම් කඩුලු සංඛ්‍යාවක් ඔවුන්ට දවා ගන්න බැරි වුනොත් ඒකෙන් කොහෙත්ම කියවෙන්නේ නැහැ ඔවුන් දුර්වල පන්දු යවන්නන් කියලා.”  

හිටපු ශ්‍රී ලංකා නායිකාව UAE හි හිරවෙයි

“මේ වෙනකොට ක්‍රිකට් ක්‍රීඩාව තුළ ඉන්න ඉහළම කඩුලු ලාභීන් 10 දෙනා දිහා බැලුවොත් ඔවුන් හැමෝම මගේ ක්‍රිකට් දිවියේ මුල් භාගයේ ක්‍රීඩා කරපු අය. මුරලි, Warne, McGrath, Kumble, Harbhajan, Akram, Waqar සහ Saqlain වැනි ක්‍රීඩකයින් ඊට උදාහරණ. ඔවුන් දවා ගනු ලැබූ කඩුලු සංඛ්‍යාවෙන් ඔවුන්ගේ හැකියාවන් විදහා දැක්වෙනවා.” මහේල අවසාන වශයෙන් පැවසීය. 

www.hindustantimes.com වෙබ් අඩවියේ පළවූ ලිපියක පරිවර්තනයකි. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<