එංගලන්තයට යන ශ්‍රී ලංකා නැගී එන සංචිතය නම් කරයි

ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායමේ එංගලන්ත සංචාරය 2022

1923

එංගලන්ත නැගී එන ක්‍රිකට් කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත සිව්දින තරග 3ට සහ විස්සයි විස්ස තරග 3ට සහභාගී වන ක්‍රීඩකයින් 18 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා නැගී එන සංචිතය මේ වන විට තෝරාගෙන අවසන් බව ThePapare.com වෙත වාර්තා වෙනවා.

මැයි 6 වැනිදා සිට 29 වැනිදා දක්වා එංගලන්තයේ දී පැවැත්වීමට නියමිත මේ තරගාවලියේ දී ශ්‍රී ලංකාව මෙහෙය වීමේ වගකීම කමිඳු මෙන්ඩිස් වෙත ලබා දීමට තේරීම් කමිටුව මින් පෙර සැලසුම් කර තිබූ නමුත්, ඔහුව බංග්ලාදේශයට එරෙහි ශ්‍රී ලංකා සංචිතයට කැඳවා තිබෙන නිසා සිව්දින කණ්ඩායමේ නායකත්වය ශ්‍රී ලංකා 19න් පහළ හිටපු නායක නිපුන් ධනංජය වෙත සහ විස්සයි විස්ස කණ්ඩායමේ නායකත්වය කෝල්ට්ස් ක්‍රිකට් සමාජයේ තුන් ඉරියව් ක්‍රීඩක ධනංජය ලක්ෂාන් වෙත ලබා දී තිබෙනවා.

සංචිතයේ සිටින ක්‍රීඩකයින් අතරින් ජාතික කණ්ඩායම නියෝජනය කර තිබෙන ක්‍රීඩකයින් ලෙස ධනංජය ලක්ෂාන් සහ අශේන් බණ්ඩාර හඳුන්වනට පුළුවන්. ඒ හැරෙන්නට ශ්‍රී ලංකා 19න් පහළ නායක වමතින් දඟපන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ සහ වමතින් වේගපන්දු යවන යසිරු රොද්‍රිගෝ පාසල් ක්‍රීඩකයින් ලෙස මේ නැගී එන සංචිතයට ඇතුලත් වී තිබෙනවා.

පසුගිය දා ටැමිල් යූනියන් කණ්ඩායමට ශූරතාවය හිමිකර දෙමින් නිමා වුණු අන්තර් සමාජ නැගී එන ක්‍රිකට් තරගාවලියේ දී වැඩි දස්කම් දැක්වූ ක්‍රීඩකයින් රැසක් මේ සංචිතයට ඇතුලත්ව තිබෙන අතර තවත් ක්‍රීඩකයින් කිහිපදෙනෙක් හට අවසන් ක්‍රීඩකයින් 18 දෙනාගේ සංචිතයට පැමිණීමට නොහැකි වුනේ ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය අසමත් වීම නිසයි.

අවිශ්ක පෙරේරා, ලසිත් කෘස්පුල්ලේ, කඩුලු රකින පිතිකරු නිශාන් මදුෂ්ක, නුවනිඳු ප්‍රනාන්දු, අවිශ්ක තරිඳු, අශේන් බණ්ඩාර සහ නිපුන් ධනංජය සංචිතයේ සිටින පිතිකරුවන් වන අතර මේ යොවුන් ක්‍රීඩකයින් හට එංගලන්තය වැනි වේගපන්දු යවන්නන් සඳහා හිතකර තණතීරුවල පිතිකරණයේ නිරත වීමට අවස්ථාව ලැබීම ඉතාමත් වටිනවා.

දුනිත් වෙල්ලාලගේ, සන්තුෂ් ගුණතිලක, ධනංජය ලක්ෂාන්, මනෙල්කර් ද සිල්වා යන ක්‍රීඩකයින් තුන් ඉරියව් ක්‍රීඩකයින් ලෙසත්, නිමා වුනු අන්තර් සමාජ නැගී එන ක්‍රිකට් තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා වුනු වමතින් දඟපන්දු යවන දිලුම් සුදීර සහ දකුණතින් පිට දඟපන්දු යවන අශේන් ඩැනියල් ප්‍රධාන දඟපන්දු යවන්නන් ලෙසත් මේ සංචිතයට ඇතුලත්ව සිටිනවා.

නිපුන් මාලිංග, අම්ෂි ද සිල්වා, නිපුන් රන්සික, යසිරු රොද්‍රිගෝ සහ උදිත් මදුශාන් යන වේගපන්දු යවන ක්‍රීඩකයින්ට එංගලන්ත තණතීරු මත පන්දු යැවීමෙන් වැඩි වගකීමක් ඉටු කිරීමට සිදු වනු ඇත.

ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස මෑතක දී පත්වුණු රුවන් කල්පගේ කටයුතු කරන අතර මලින්ද වර්ණපුර (සහාය පුහුණුකරු), චමිල ගමගේ (වේගපන්දු පුහුණුකරු) සහ විනොතන් ජෝන් (කණ්ඩායම් කළමනාකරු) පුහුණුකරුවන් ලෙස එංගලන්තය බලා පිටත්ව යාමට නියමිතයි.

මෙම තරග සංචාරය සිව්දින තරගාවලියෙන් ආරම්භ වන අතර විස්සයි විස්ස තරග 3 ඉන් අනතුරුව පැවැත්වීමට නියමිතව තිබෙනවා. නැගී එන ක්‍රීඩකයින්ට ජාත්‍යන්තර තරග අත්දැකීම් ලබා ගැනීමට අවස්ථාවක් සලසා දීම මෙම සංචාරයේ ප්‍රධානතම අරමුණයි.

මේ තරග සංචාරය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම මැයි 1 වැනිදා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.

ශ්‍රී ලංකා නැගී එන සංචිතය – නිපුන් ධනංජය (SSC – සිව්දින නායක), ධනංජය ලක්ෂාන් (කෝල්ට්ස් ක්‍රිකට් සමාජය – විස්සයි විස්ස නායක), ලසිත් කෘස්පුල්ලේ  (Ace Capital ක්‍රිකට් සමාජය), අවිශ්ක පෙරේරා (කෝල්ට්ස් ක්‍රිකට් සමාජය), සන්තුෂ් ගුණතිලක (ටැමිල් යූනියන්), අවිශ්ක තරිඳු (රාගම ක්‍රිකට් සමාජය), නුවනිඳු ප්‍රනාන්දු (SSC), නිශාන් මදුෂ්ක (රාගම ක්‍රිකට් සමාජය), අශේන් බණ්ඩාර (පොලිස් ක්‍රීඩා සමාජය), දුනිත් වෙල්ලාලගේ (සාන්ත ජෝසප් විද්‍යාලය/කෝල්ට්ස් ක්‍රිකට් සමාජය), දිලුම් සුදීර (ටැමිල් යූනියන්), අශේන් ඩැනියල් (NCC), නිපුන් මාලිංග (රාගම ක්‍රිකට් සමාජය), නිපුන් රන්සික (NCC), මනෙල්කර් ද සිල්වා (Sebastianites C & AC), යසිරු රොද්‍රිගෝ (සාන්ත තෝමස් විද්‍යාලය/ලන්කන් ක්‍රිකට් සමාජය), උදිත් මදුශාන් (සැරසන්ස් ක්‍රීඩා සමාජය), අම්ෂි ද සිල්වා (NCC)

තරගාවලියේ සම්පූර්ණ තරග කාලසටහන

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<