ඕෂද, උදාර, ප්‍රියන්ජන් සහ චමිඳු අර්ධ ශතක අතරට

නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලිය 2022

537

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන නැෂනල් සුපර් ලීග් (NSL) සිව්දින ක්‍රිකට් තරගාවලියේ දෙවන සතියේ තරග අද (3) පල්ලෙකැලේ දී සහ කොළඹදී ආරම්භ වුනා.

යාපනය සහ මහනුවර

මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මේ තරගයේ කාසියේ වාසිය දිනාගත් යාපනය නායක සදීර සමරවික්‍රම පළමුව පන්දු යැවීමට තීරණය කළා.

ඒ අවසරයෙන් පළමුව පන්දුවට පහරදීමට පිටියට පිවිසුණු මහනුවර ක්‍රීඩකයින් තරගයේ පළමු දිනය නිමා විට කඩුලු 5ක් දැවී ලකුණු 243ක් ලබාගෙන සිටියා. එහිදී ඕෂද ප්‍රනාන්දු, ලහිරු උදාර පළමු දිනය තුලදී මහනුවර වෙනුවෙන් අර්ධ ශතක ලබාගත් අතර සහන් ආරචිචිගේ නොදැවී ක්‍රීඩා කරමින් ලකුණු 41*ක් ලබාගෙන සිටියා. පන්දු යැවීමේ දී දකුණතින් වේගපන්දු යවන සන්තුෂ් ගුණතිලක ලකුණු 30කට කඩුලු 2ක් දවාගැනීමට සමත් වුනා.

මහනුවර පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 243/5 (68): ඕෂද ප්‍රනාන්දු 50, ලහිරු උදාර 50, සහන් ආරච්චිගේ 41*, කමිල් මිශාර 35, සන්තුෂ් ගුණතිලක 2/30.

දඹුල්ල සහ කොළඹ

මේ තරගයේ පළමු දිනය අවසන් වන විට දඹුල්ල ලබාගත් ලකුණු 277ට පිළිතුරු දෙමින් සිටි කොළඹ ක්‍රීඩකයින් සිය පළමු ඉනිමට කිසිවෙක් නොදැවී ලකුණු 46ක් ලබාගෙන ඉතාමත් ස්ථාවර මට්ටමක සිටියා.

කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මේ තරගයේ කාසියේ වාසිය දිනාගත් දඹුල්ල කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා.

එහිදී ඔවුන්ගේ කණ්ඩායම වෙනුවෙන් අශාන් ප්‍රියන්ජන් (ලකුණු 61) අර්ධ ශතකයක් ලබාගෙන දස්කම් දක්වන විට, චමිඳු විජේසිංහ නොදැවී ක්‍රීඩා කරමින් ලකුණු 54*ක් ලබාගැනීමට සමත්කම් දැක්වූවා. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වුනු අත්දැකීම් බහුල ක්‍රීඩක ප්‍රියන්ජන්ගේ ඉනිමට 4 පහර 8ක් සහ එක් 6 පහරක් ඇතුලත් වුනා. පන්දු යැවීමේ දී දකුණතින් පිට දඟපන්දු යවන ලක්ෂිත රසාංජන ලකුණු 78කට කඩුලු 3ක් දවාගන්නා විට, නිසල තාරක සහ කසුන් රාජිත අතරේ කඩුලු 2ක බැගින් බෙදී ගියා.

දඹුල්ල පළමු ඉනිම – 277 (76.3): අශාන් ප්‍රියන්ජන් 61, චමිඳු විජේසිංහ 54*, ලියෝ ෆ්‍රැන්සිස්කෝ 36, ලහිරු සමරකෝන් 35, මලින්ද පුෂ්පකුමාර 35, ලක්ෂිත රසාංජන 3/78, කසුන් රාජිත 2/32, නිසල තාරක 2/57.

කොළඹ පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 46/0 (10) නිපුන් ධනංජය 24*

පළමු දිනයට ක්‍රියාත්මක වූ මේ තරග සියල්ලම හෙට (4) දෙවන දිනයටත් ක්‍රියාත්මක වීමට නියමිතයි.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<