IPL පිටියේ වැඩ පෙන්වන අපේ සිංහයෝ

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය 2022

3745

මේ දිනවල පැවැත්වෙන 2022 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා කණ්ඩායම් 5ක් නියෝජනය කරමින් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 6 දෙනෙක් සහභාගී වී සිටිනවා.

තරගාවලිය තුල මේ දක්වා ක්‍රීඩා කිරීමට අවස්ථාව ලැබුණු ශ්‍රී ලංකික ක්‍රීඩකයින් සිව්දෙනාම ඉතාමත් හොඳ කැපී පෙනෙන දස්කම් දක්වා තිබෙනවා.

වනිඳු හසරංග (Royal Challengers Bangalore), දුෂ්මන්ත චමීර (Lucknow Super Giants), මහීෂ් තීක්ෂණ (Chennai Super Kings), භානුක රාජපක්ෂ (Punjab Kings), චාමික කරුණාරත්න (Kolkata Knight Riders) සහ මතීෂ පතිරණ (Chennai Super Kings) යන ක්‍රීඩකයින් මෙවර IPL තරගාවලිය සඳහා වරම් දිනාගෙන තිබෙන ශ්‍රී ලාංකික ක්‍රීඩකයින්.

ඒ අතරින් චාමික සහ මීට දින කිහිපයකට ඉහත දී Chennai Super Kings සමඟ ගිවිසුම් ගත වුනු මතීෂ හැරෙන්නට අනෙක් ක්‍රීඩකයින් සිව්දෙනාම දස්කම් අතර සිටින නිසා ඒ ඒ කණ්ඩායම්වල නිත්‍ය ක්‍රීඩකයින් බවට ද පත්ව තිබීම සතුටට කරුණක්.

Bangalore නියෝජනය කරන ප්‍රධාන විදෙස් දඟපන්දු යවන්නා වන වනිඳු මේ දක්වා ක්‍රීඩා කළ තරග 8 දී කඩුලු 11ක් දවාගෙන මෙවර IPL තරගාවලියේ දැනට වැඩිම කඩුලු ලාභීන් අතර 7 වැනි තැන දිනාගෙන තිබෙනවා.

එසේම පිට දඟපන්දු යවන මහීෂ් තරග 5ක දී කඩුලු 8ක් දවාගෙන Chennai කණ්ඩායමේ ප්‍රධාන දඟපන්දු යවන්නෙක් බවට පත්වී තිබෙන අතර ඔහු Powerplay අවස්ථාව තුල සිය කණ්ඩායම වෙනුවෙන් විශාල මෙහෙයක් ඉටු කරනවා.

Punjab මැදපෙළ සවිමත් කරන ප්‍රහාරාත්මක වමත් පිතිකරු භානුක තරග 4ක දී ලකුණු 125ක් ලබාගෙන සිටින්නේ 183.82ක ප්‍රහාරත්මක වේගයක් සහ 31.25ක දල ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් රඳවාගෙනයි.

එසේම ඊයේ (25) පැවති තරගයේ දී ද ඔහු කැපී පෙනෙන දස්කම් දක්වමින් සිය කණ්ඩායම නැවතත් ජයග්‍රාහී මඟට අවතීර්ණ කිරීම වෙනුවෙන් විශාල කාර්යක් ඉටු කළ නිසා ඉදිරි තරගවල දී ද ඔහුට Punjab කණ්ඩායමේ නිත්‍ය ස්ථානයක් හිමිවනු නිසැකයි.

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ (සීමිත පන්දුවාර) ප්‍රධාන වේගපන්දු යවන්නා වන චමීර Lucknow නියෝජනය කරමින් තරග 6ක දී කඩුලු 5ක් දවාගෙන දස්කම් දක්වා තිබෙනවා. ඔහුට පැයට කිලෝමීටර 140කට වඩා වැඩි වේගයක් සහිතව පන්දු යැවීමට හැකියාව තිබෙන නිසා ප්‍රතිවාදී කණ්ඩායමේ පිතිකරුවන්ට විශාල පීඩනයක් ලබා දීමට අවස්ථාව ලැබී තිබෙනවා.

කෙසේ නමුත් තරගාවලියේ ආරම්භයේ සිටම සංචිතයේ සිටි තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න හට Kolkata කණ්ඩායමේ නිත්‍ය ස්ථානයක් දිනා ගැනීමට හෝ තරගයක් ක්‍රීඩා කිරීමට තවමත් අවස්ථාව ලැබී නැහැ.

Andre Russell එම කණ්ඩායමේ ප්‍රධාන තුන් ඉරියව් විදෙස් ක්‍රීඩකයා ලෙස ක්‍රීඩා කිරීම සහ ඔහු හොඳ දස්කම් අතර සිටීම එයට ප්‍රධාන හේතුවයි.

19 හැවිරිදි වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ තරගාවලිය අතරතුර ඉන්දීය රුපියල් ලක්ෂ 20ක මුදලකට මිල දී ගැනීමට Chennai පියවර ගත්තේ ඔවුන්ගේ සංචිතයේ සිටි විදෙස් වේගපන්දු යවන ක්‍රීඩක Adam Milneගේ හදිසි ආබාධය නිසයි.

මතීෂ මේ වන විට සිය අනිවාර්ය නිරෝධායන කාලය පසු කරමින් සිටින අතර හෙට (26) සිට ඔහුව ක්‍රීඩක තෝරාගැනීම් සඳහා සලකා බැලීමට අවස්ථාව තිබෙනවා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<