යෞවනයන්ගේ ශූරතාව කොළඹ උතුර ක්‍රීඩකයන්ට

407

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කළ වයස අවුරුදු 17න් පහළ යොවුන් ක්‍රිකට් ලීගයේ ශූරතාව දිනා ගැනීමට කොළඹ උතුර කණ්ඩායම සමත් වුනා. ඔවුන් මෙම ජයග්‍රහණය වාර්තා කළේ අපරාජිතව සිටිමින් වීම විශේෂත්වයක්.

තරගාවලිය සඳහා කණ්ඩායම් 5ක් සහභාගී වූ අතර ඒ අතරින් අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට පළමු වටයේ දී තරග 4කට සහභාගී වෙමින් තරග 3ක් ජයග්‍රහණය කරමින් අතහැර දැමුණ එක් තරගයක් සමඟින් පළමු ස්ථානයට පත් කොළඹ උතුර කණ්ඩායම සහ තරග 4කට සහභාගී වී තරග 3ක් ජයග්‍රහණය කරමින් එක් තරගයක් පරාජය වෙමින් ප්‍රසාද ලකුණු පුවරුවේ දෙවැනි ස්ථානයට පත් මහනුවර කණ්ඩායම් සමත් වුනා.

ප්‍රතිවාදීන් තරගයේ ප්‍රතිඵලය

1 කොළඹ දකුණ කොළඹ උතුර කණ්ඩායමට කඩුලු 8ක ජයක්.

2 මහනුවර කොළඹ උතුර කණ්ඩායමට ලකුණු 17ක ජයක්.

3 ගාල්ල කොළඹ උතුර කණ්ඩායමට කඩුලු 7ක ජයක්.

4 දඹුල්ල තරගය අතහැර දමන ලදි.

අවසන් මහා තරගය

5 මහනුවර කොළඹ උතුර කණ්ඩායමට ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 13ක ජයක්.

  • කොළඹ උතුර කණ්ඩායම: සමිඳු මධුරංග (නායක) තනුජ රාජපක්ෂ, රිස්ම අමරසිංහ, කෙනෙත් ලියනගේ, Raheed Kareem, දෙනුර දම්සිත්, තනුජ පලිහවඩන, යෙනුල දෙව්තුස, සෙතුර ප්‍රනාන්දු , දුල්නිත් සිගේරා, කවීෂ මෙන්ඩිස්, තරූෂ ඩිල්සර, සරිත් සුදීන.
  • මහනුවර කණ්ඩායම: කවීජ ගමගේ (නායක), ජානුක රත්නායක, දිමන්ත මහවිතාරණ, වතිල උදාර, ලක්වින් අබේසිංහ, ඉසුරු පන්නල, ජයවි ලියනගේ, චාරුක ඒකනායක, සෙනුර ගිහාන්, නිසල අබේරත්න, දසුන් වලියංග, Tony Greak, Ahamed Nahyam

අවසන් මහා තරගය

කොළඹ NCC ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයේ ආරම්භය අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් විනාඩි 90කට වැඩි කාලයක් ප්‍රමාද වූ අතර එම කාලයත් සමඟින් තරගය පන්දුවාර 40කට සීමා වුනා.

ඒ අනුව ආරම්භ වූ තරගයේ කාසියේ වාසිය දිනා ගත් කොළඹ උතුර ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීම සඳහා ප්‍රතිවාදී මහනුවර කණ්ඩායමට ආරාධනා කළා.

ඔවුන්ගේ ඉනිම ලකුණු 155කට සීමා වුනා. එම ඉනිම වෙනුවෙන් විතිල උදාර පන්දු 40කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 41ක් ලබා ගත්තා.

විතිල, ආරම්භක පිතිකරු ජානුක රත්නායක සමඟ එක් වෙමින් 4 වැනි කඩුල්ලට පන්දු 48ක දී ලකුණු 52ක සබඳතාවක් එක් කිරීමට ද සමත් වුනා.

ජානුක සිව්වැනි කඩුල්ල ලෙසින් දැවී යද්දී පන්දු 66කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 31ක් ලබා ගෙන සිටියා.

ඊට අමතර ව ලක්වින් අබේසිංහ ලබා ගත් ලකුණු සංඛ්‍යාව ද 31ක්. ඔහුගේ ඉනිම පන්දු 53කින් සමන්විත වූ අතර ඊට හතරේ පහරක් පමණක් ඇතුළත් වුනා.

කඩුලු දවා ගැනීමේ දී සෙත්රූ ප්‍රනාන්දු ලකුණු 25කට කඩුලු 6ක් දවා ගත්තා. ඊට අමතර ව කවීෂ මෙන්ඩිස් කඩුලු 2ක් ද, තරූෂ ඩිල්ෂාන්, දුල්නිත් සිගේරා සහ තනුග පලිහවඩන කඩුල්ල බැගින් ද දවා ගත්තා.

නැවතත් පැමිණි වර්ෂාව හේතුවෙන් පිළිතුරු ඉනිම පන්දුවාර 30කට සීමා වුනා. ඒ අනුව කොළඹ උතුර ක්‍රීඩකයන්ට ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ජයග්‍රහණය ලබා ගැනීමට නම් සපුරා ගත යුතුව තිබුණේ ලකුණු 134ක් පමණයි.

තරගාවලියේ වීරයා විශ්ව සුපුන්

නමුත් ලකුණු පුවරුව පන්දුවාර 21ක් අවසානයේ කඩුල්ලක් දැවී ලකුණු 93ක් ව තිබිය දී නැවත වර්ෂාව හේතුවෙන් තරගය නතර කිරීමට පිටියේ විනිසුරුවන්ට සිදු වුනා. එතැන් සිට නැවත තරගය පවත්වා ගෙන යෑමට තරම් සුදුසු අවකාශයක් නොතිබීම හේතුවෙන් තරගයේ ජයග්‍රහණය ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ගණනය කෙරුණා.

ඒ අනුව ඒ වෙද්දී පන්දුවට පහර දෙමින් සිටි කොළඹ උතුර ක්‍රීඩකයන්ට ජයග්‍රහණය වෙනුවෙන් අවශ්‍ය ව තිබුණේ ලකුණු 81ක් පමණයි. ඒ අනුව තරගයේ ජයග්‍රහණය ඔවුන්ට හිමි වුනා.

එම ඉනිම වෙනුවෙන් ආරම්භක පිතිකරුවන් වූ තනුජ රාජපක්ෂ පන්දු 31කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 28ක් ද සහ කෙනත් ලියනගේ පන්දු 57කට දී කිසිදු සීමා ලකුණක් නොමැතිව නොදැවී ලකුණු 24ක් ද ලබා ගත්තා.

ඔවුන් දෙදෙනා අතර පළමු කඩුල්ලට සබඳතාව පන්දු 55ක දී ලකුණු 44ක්.

ඊට අමතර ව තරගය අවසන් වෙන විට දෙනුර දෙමන්සිත් පන්දු 38කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 24ක් ලබා සිටියා.

දැවී ගිය එක ම කඩුල්ලේ හිමිකාරීත්වය චාරුක ඒකනායක සතු වුනා.

ලකුණු පුවරුව

  • මහනුවර – සියලුම දෙනා දැවී 155 (37.3) ජානුක රත්නායක 31, වතිල උදාර 41, ලක්වින් අබේසිංහ 31, කවීෂ මෙන්ඩිස් 2/37, සෙත්රූ ප්‍රනාන්දු 5/25
  • කොළඹ උතුර – කඩුල්ලක් දැවී 93 (21) තනුජ රාජපක්ෂ 28, කෙනත් ලියනගේ නොදැවී 24, දෙනුර දෙමන්සිත් නොදැවී 24

කොළඹ උතුර කණ්ඩායමට ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 13ක ජයග්‍රහණයක්.

තරගාවලියේ දක්ෂතා දැක්වූ පිතිකරුවෝ

තරගාවලියේ වැඩිම ලකුණුලාභියා වූයේ ගාල්ල කණ්ඩායම නියෝජනය කළ මාතර සාන්ත සර්වේශස් විද්‍යාලයේ විශ්ව සුපුන්. ඔහු තරග 4ක ඉනිම් 4ක දී ලකුණු 241ක් ලබා ගනිමින් මෙම දක්ෂතාව දක්වනවා.

ඔහුගේ ඉනිම් අතර හොඳම ඉනිම බවට පත් වෙන්නේ කොළඹ දකුණ කණ්ඩායමට එරෙහිව පන්දු 72කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සහ හයේ පහර 3ක් සමඟින් නොදැවී ලබා ගත් ලකුණු 95යි. මෙම ඉනිම මෙම තරගාවලියේ පිතිකරුවෙක් විසින් රැස් කරන ලද ඉහළ ම ලකුණු සංඛ්‍යාව බවට ද පත් වුනා.

ඊට අමතර ව කොළඹ උතුර කණ්ඩායමට එරෙහිව පන්දු 77ක දී නොදැවී ලකුණු 60ක් ද සහ සහ මහනුවර කණ්ඩායමට එරෙහිව පන්දු 81ක දී ලකුණු 65ක් ද රැස් කර ගැනීමට ඔහු සමත් වෙනවා.

අවසන් මහා තරගයේ වීරයා සෙත්රූ ප්‍රනාන්දු

මෙම දක්ෂතාත් සමඟ ඔහුගේ ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 120.5ක් වැනි ඉහළ අගයක රඳවා ගැනීමට ඔහු සමත් වෙන අතර තරගාවලියේ වීරයා ලෙසින් ද සම්මාන දිනා ගැනීමට ඔහු සමත් වෙනවා.

මෙම ලැයිස්තුවේ දෙවැනි ස්ථානය මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය නියෝජනය කරමින් මහනුවර කණ්ඩායම හා එක් වී එහි නායකත්වයේ වගකීම ද දැරූ කවිජ ගමගේ සතු වෙනවා. ඔහු ගාල්ල කණ්ඩායමට එරෙහිව පන්දු 104කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 3ක් සමඟින් ලබා ගන්නා ලද ලකුණු 88ක් ද සමඟින් තරග 5ක ඉනිම් 5ක දී ලකුණු 159ක් ලබා ගනිමින් එම ස්ථානය තහවුරු කර ගන්නවා.

තරග 5ක ඉනිම් 5ක දී ලකුණු 143ක් ලබා ගත් මහනුවර ත්‍රිත්ව විද්‍යාලය නියෝජනය කරමින් මහනුවර කණ්ඩායමට එක් වූ ලක්වින් අබේසිංහ මෙම ලැයිස්තුවේ තෙවැනි අසුන හිමි කර ගන්නවා. ඔහුගේ ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 47.67ක් වෙද්දී වාර්තා කරන ලද හොඳම ඉනිම බවට පත් වෙන්නේ කණ්ඩායමට එරෙහිව ගාල්ල කණ්ඩායමට එරෙහිව නොදැවී ලබා ගන්නා ලද ලකුණු 45යි.

ඉන් අනතුරුව මහනුවර ත්‍රිත්ව විද්‍යාලය නියෝජනය කරමින් මහනුවර කණ්ඩායම හා එක් වූ වතිල උදාර තරග 5ක ඉනිම් 5ක දී අර්ධ ශතකයක් සමඟින් ලකුණු 143ක් ලබා ගනිමින්

සිව්වැනි ස්ථානයටත් සහ තරග 4ක ඉනිම් 4ක දී අර්ධ ශතකයක් සමඟින් ලකුණු 129ක් ලබා ගත් කොළඹ දකුණ කණ්ඩායමේ දිනෙත් සිතුමින 5 වැනි ස්ථානයටත් පත් වුනා.

තරගාවලියේ දක්ෂතා දැක්වූ පන්දු යවන්නෝ

තරගාවලියේ වැඩිම කඩුලු ලැබූ පන්දු යවන්නා වූයේ කොළඹ මහානාම විද්‍යාලය නියෝජනය කරමින් කොළඹ උතුර කණ්ඩායම හා එක් වූ දුල්නිත් සිගේරා. ඔහු ඉනිම 5ක දී පන්දු වාර 27ක් යවමින් ලබා ගත් කඩුලු සංඛ්‍යාව 12ක්. ඔහුගේ හොඳම පන්දු යැවීම බවට පත් වූයේ කොළඹ දකුණ කණ්ඩායමට එරෙහිව ලකුණු 38කට දවා ගත් කඩුලු 6යි. ඔහු ඒ වෙනුවෙන් වැය කරන්නේ පන්දුවාර 9ක් පමණයි.

තරගාවලියේ දක්ෂතම පිතිකරු කවීජ ගමගේ

එම ලැයිස්තුවේ දෙවැනි ස්ථානය මහනුවර ත්‍රිත්ව විද්‍යාලය නියෝජනය කරමින් මහනුවර කණ්ඩායම හා එක් වූ ජයවි ලියනගම සතු වෙනවා. ඔහු ඉනිම් 5ක දී ලබා ගන්නා ලද කඩුලු සංඛ්‍යාව 11ක්. ඒ වෙනුවෙන් ඔහු පන්දුවාර 27ක් වැය කරනවා. ඔහුගේ හොඳම පන්දු යැවිම වන්නේ දඹුල්ල කණ්ඩායමට එරෙහිව ලකුණු 25කට දවා ගන්නා ලද කඩුලු 6යි. එය තරගාවලියේ පන්දු යවන්නෙක් විසින් වාර්තා කරන ලද ඉහළ ම දක්ෂතාව ද වෙනවා.

මෙම ලැයිස්තුවේ තෙවැනි ස්ථානය ද මහනුවර කණ්ඩායම සතු කර ගන්නවා. ඒ මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය නියෝජනය කරන සෙනුර ගිහාන්. ඔහු තරගාවලියේ ඉනිම් 5ක දී කඩුලු 10ක් දවා ගනිමින් එම දක්ෂතාව දක්වනවා. ඔහුගේ හොඳම පන්දු යැවීම බවට පත් වෙන්නේ දඹුල්ල කණ්ඩායමට එරෙහිව ලකුණු 11කට දවා ගත් කඩුලු 4යි.

මෙම ලැයිස්තුවේ සිව්වැනි ස්ථානය කොළඹ උතුර කණ්ඩායම නියෝජනය කළ සෙත්රූ ප්‍රනාන්දු සතු කර ගන්නේ තරග 5ක දී කඩුලු 9ක් දවා ගනිමින් වන අතර 5 වැනි ස්ථානය දිනා ගැනීමට මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය නියෝජනය කරමින් මහනුවර කණ්ඩායම හා එක් වූ දසුන් වලියංග සමත් වෙනවා. ඔහු ලබා ගත් කඩුලු සංඛ්‍යාව 8ක්. ඊට අමතර ව කොළඹ ආනන්ද විද්‍යාලය නියෝජනය කරමින් කොළඹ උතුර කණ්ඩායම හා එක් වූ කවීෂ මෙන්ඩිස් ද කඩුලු 8ක් ලබා ගනිමින් දක්ෂතා දැක්වීමට සමත් වෙනවා.

තරගාවලියේ දක්ෂතම පන්දු යවන්න් වූ ජයවි ලියනගේ සහ දුල්නිත් සිගේරා

ජයග්‍රාහී කොළඹ උතුර ක්‍රීඩකයන්ටත්, අනුශූරයන් වූ මහනුවර ක්‍රීඩකයන්ටත් සහ සුවිශේෂී ඇගයීම් ලැබූ ක්‍රීඩකයන්ටත් සහ තරගාවලියට එක් වූ යොවුන් ක්‍රීඩකයන්ට ThePapare.com හී සුබ පැතුම්!

දිනෙන් දින උණුසුම් වන දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ තතු විත්ති එසැනි ඔබ වෙත ලබා දීමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<