සිම්බාබ්වේ හමුවේ ශ්‍රී ලංකාව පරාජයවේ

727
SL vs ZIM
ජායාරූපය සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායමේ නිල twitter ගිණුමෙනි.

ශ්‍රී ලංකා සංවර්ධන කණ්ඩායම සිව්දින තරඟය ජයග්‍රහණය කිරිමෙන් පසුව සිම්බාබ්වේ සංවර්ධන කණ්ඩායම සමඟ නිල නොවන එක්දින තරඟ 3ක් සඳහා ශ්‍රී ලංකාව සහභාගි වීමට නියමිතව ඇති අතර එහි පළමු නිල නොවන එක්දින තරඟය අද (3) හරාරේ පිටියේදී පැවැත්විණි. මෙම තරඟයෙන් සිම්බාබ්වේ සංවර්ධන කණ්ඩායම කඩුලු 5කින් ජයග්‍රහණය කිරීමට සමත් විය.

පසුගිය ලිපි: ශ්‍රී ලංකා සංවර්ධන කණ්ඩායමට ජය

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා සංවර්ධන කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කල අතර පිටියට පිවිසි ආරම්භ පිතිකරුවන් දෙපලම ලකුණු 47ක් වන විට දවාලීමට සිම්බාබ්වේ පන්දු යවන්නන් සමත් වූ අතර එහිදී සඳුන් වීරක්කොඩි 4 පහරවල් 5ක් සමඟ ලකුණු 29කට හා 4 පහරවල් 2ක් සමඟ ලකුණු 17ක් ලබාගෙන සිටි සධීර සමරවික්‍රම මුල් කඩුලු දෙක ලෙස දැවීයන ලදි.

ලකුණු 99කට කඩුලු 6ක් බිදවැටී තිබූ ශ්‍රී ලංකා කණ්ඩායම සටන්කාමී ලකුණකට ගෙනයාමට හැකි ලකුණු 54ක සබඳතාවයක් ගොඩනැංවීමට අනුක් ප්‍රනාන්දු හා ශෙහාන් චතුරංග සමත් විය. අනුක් 4 පහරවල් 5ක් සමඟ ලකුණු 35කට 7 වන කඩුල්ල ලෙස දැවීයන ලදි.

8 වන කඩුල්ල සඳහා ද එම සබඳතාවයට නොදෙවෙනි සබඳතාවයක් ගොඩනැංවීමට චතුරංග හා කසුන් මදුසංක සමත් විය. එම සබඳතාවය ලකුණු 71ක් දක්වා දිවගිය අතර එය නිමාවූයේ 8 වන කඩුල්ල ලෙස කසුන් මදුසංක 4 පහරවල් 4ක් සමඟ ලකුණු 43කට දැවීයාමත් සමගිනි. ශෙහාන් චතුරංග ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩිම ලකුණුලාභියා වූ අතර ඔහුගේ පිත්තෙන් 4 පහරවල් 4ක් හා එක් 6 පහරක් සටහන් කරමින් ලකුණු 53ක් ලබාගන්නා ලදි.

ශ්‍රී ලංකා සංවර්ධන කණ්ඩායම -230 -10 (48.1) ශෙහාන් චතුරංග 53, කසුන් මදුසංක 43, අනුක් ප්‍රනාන්දු 35, සඳුන් වීරක්කොඩි 29, කාල් මුම්බා 3/26, නේතන් වොලර් 2/38

231ක ලකුණක් හඹා යාමට පිටියට පැමිණි සිම්බාබ්වේ සංවර්ධන කණ්ඩායමේ මුල් කඩුල්ල ලකුණු 10කට දවාලීමට කසුන් මදුසංක සමත් වුවද, දෙවන කඩුල්ල සඳහා පිටියේ එක්වූ බ්‍රයන් චැරී හා ටැරිසායි මුස්කන්ඩා ලකුණු 94ක විශිෂ්ට සබඳතාවයක් ගොඩනැංවූ අතර එම සබඳතාවය නිමාවූයේ චැරී දැවීයාමත් සමගිනි. ඔහු 4 පහරවල් 5ක් හා මනරම් එක් 6 පහරක් සමඟ ලකුණු 52ක් ලබාගැනීමට සමත් විය.

තෙවන කඩුල්ල සඳහා ද තවත් ලකුණු 86ක සබඳතාවයක් ගොඩනංවමින් සිම්බාබ්වේ කණ්ඩායමට තරගයේ ජයග්‍රහණයක් පිළිබඳව බලාපොරොත්තුවක් ගෙන ඒමට මුස්කන්ඩා හා පීටර් මුවර් සමත් වූ අතර මුවර් 4 පහරවල් 6ක් හා 6 පහරවල් 3ක් සමගින් ලකුණු 63ක් ලබාගෙන සිටියදී ඔවුන්ගේ තෙවන කඩුල්ල ලෙස පිටියෙන් ඉවත්ව යන ලදි.

අවසානයේ සිම්බාබ්වේ කණ්ඩායම තරඟය පහසුවෙන් ජයග්‍රහණය කල අතර නොදැවී දක්ෂ ඉණිමක් දියත් කල ටැරිසායි මුස්කන්ඩා 4 පහරවල් 8ක් හා 6 පහරවල් 2ක් සමඟ නොදැවුනු ලකුණු 83*ක් ලබාගෙන තම කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙයවීමට සමත් විය.

සිම්බාබ්වේ සංවර්ධන කණ්ඩායම 232-5 (45.1) ටැරිසායි මුස්කන්ඩා 83*, පීටර් මුවර් 63, බ්‍රයන් චැරී 52, ශෙහාන් මදුසංක 2/52, ලසිත් ඇඹුල්දෙණිය 1/45

දෙරට අතර දෙවන නිල නොවන එක්දින තරඟය සැප්තැම්බර් 5 (අනිද්දා) වනදා හරාරේ පිටියේදී  පැවැත්වීමට නියමිතව ඇත.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට