ජයවි සහ දෙනුර දක්ෂතා දක්වයි

17න් පහළ ශ්‍රී ලංකා යොවුන් ලීග් තරගාවලිය 2023

734
17න් පහළ ශ්‍රී ලංකා යොවුන් ලීග් තරගාවලිය 2023

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් පළාත් වයස අවුරුදු 17න් පහළ යොවුන් ක්‍රිකට් තරගාවලියේ අද (25) පැවති තරගවල දී කොළඹ උතුර සහ නුවර කණ්ඩායම් ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් වුනා.

ඒ සමඟින් ඔවුන් මේ වන විට ප්‍රසාද ලකුණු පුවරුවේ පිළිවෙළින් පළමු සහ දෙවැනි ස්ථානවලට පිවිසියා.

දඹුල්ල සහ නුවර අතර තරගය

කොළඹ බ්ලූම්ෆීල්ඩ් ක්‍රිකට් සමාජය පිටියේ දී පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් දඹුල්ල ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීම තෝරා ගත්තා. ඒ අනුව පළමුවෙන් පිටියට පිවිසි ඔවුන් සියලුම දෙනා දැවී දවා ගන්නේ ලකුණු 102ක් පමණයි.

ඔවුන්ගේ කඩුලු 9ක් ලකුණු 47කට දැවී තිබිය දී මේ තරමින් හෝ ඉනිම ගොඩ ගත්තේ අංක 8 වැනි පිතිකරු වූ කවීෂ ලියනාරච්චි සහ අවසන් පිතිකරු දිමත් අබේසිංහයි. ඔවුන් දෙදෙනා එක් ව අවසන් කඩුල්ලට ලකුණු 55ක සබඳතාවක් ගොඩ නගනවා.

එහි දී කවීෂ ලියනාරච්චි පන්දු 36කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 28ක් ලබා ගන්නවා. දිමත් අබේසිංහ නොදැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 33ක්. පන්දු 42කින් සමන්විත වූ එම ඉනිමට හතරේ පහර 5ක් ඇතුළත් වුනා.

පන්දු යැවීමේ දී ජයවි ලියනගම ලකුණු 25කට කඩුලු 6ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කරද්දී සෙනුර ගිම්හාන් ලකුණු 11කට කඩුලු 4ක් දවා ගන්නවා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි නුවර ක්‍රීඩකයෝ තරගය අවසන් වීමට තවත් පන්දුවාර 26ක් සහ කඩුලු 5ක් ඉතිරිව තිබිය දී තරගය ජයග්‍රහණය කරා රැගෙන යනවා. එම ඉනිම වෙනුවෙන් නායක කවිජ ගමගේ පන්දු 60කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 44ක් ලබා ගන්නවා.

පන්දු යැවීමේ දී ජයචන්ද්‍රන් අස්නාත් ලකුණු 17කට කඩුලු 2ක් දවා ගන්නා අතර රජිත්කුමාර් නිව්ටන්, දිමත් අබේසිංහ සහ කවීෂ ලියනාරච්චි කඩුල්ල බැගින් බෙදා ගන්නවා.

  • දඹුල්ල- සියලුම දෙනා දැවී 102 (21.3) කවීෂ ලියනාරච්චි 28, දිමත් අබේසිංහ නොදැවී 33, සෙනුර ගිම්හාන් 4/11, ජයවි ලියනගම 6/25
  • නුවර – කඩුලු 5ක් දැවී 103 (24) කවිජ ගමගේ 44, ජයචන්ද්‍රන් අසන්ත 2/17

 

ගාල්ල සහ කොළඹ උතුර

මූවර්ස් ක්‍රීඩා සමාජ පිටියේ දී පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් කොළඹ උතුර නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ගාලු ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 116ක් ලබා ගන්නවා.

එම ඉනිම වෙනුවෙන් විශ්ව සුපුන් පන්දු 77කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් නොදැවී ලකුණු 60ක් ලබා ගන්නවා.

ගාලු ඉනිමේ කඩුලු 4ක් ලකුණු 25කට දැවී තිබිය දී විශ්ව සුපුන් සහ ප්‍රවිශ්ක ඇලෙක්ස් (2) 5 වැනි කඩුල්ලට ලකුණු 18ක සබඳතාවක් ගොඩ නගනවා. එම සබඳතාව බිඳ දමමින් ඇලෙක්ස් දැවී ගිය පසු නැවත ලකුණු 24ක් තුළ කඩුලු 4ක් දවා ගැනීමට කොළඹ උතුර පන්දු යවන්නෝ සමත් වෙනවා.

ඉන් අනතුරුව අවසන් කඩුල්ල වෙනුවෙන් කනිශ්ක රසාංජන සමඟ එක් වෙන විශ්ව සුපුන් එම කඩුල්ල වෙනුවෙන් ලකුණු 49ක සබඳතාවක් ගොඩ නගනවා. එය තරගයේ හොඳම ලකුණු සබඳතාව වූ අතර කිනිශ්ක රසාංජන පන්දු 31කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 18ක් ලබා ගන්නවා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි කොළඹ උතුර ක්‍රීඩකයෝ පන්දුවාර 26.5ක් තුළ කඩුලු 3ක් පමණක් දැවී ප්‍රතිවාදී ඉලක්කය සපුරා ගන්නවා.

එහි දී කඩුලු රැකි ක්‍රීඩක දෙනුර දෙමන්සිත් පන්දු 50කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 44ක් ලබා ගන්නවා. ඔහු කෙනත් ලියනගේ සමඟ එක් වෙමින් දෙවැනි කඩුල්ලට පන්දු 44ක දී ලකුණු 45ක සබඳතාවක් ගොඩ නගනවා. කෙනත් ලියනගේ පන්දු 28කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 17ක් ලබා ගන්නවා.

තරගය අවසන් වන විට නායක සමිඳු මධුරංග පන්දු 27කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 16ක් ලබා ගන්නවා. ඔහු සහ දෙනුර දෙමන්සිත් අතර තෙවැනි කඩුල්ලට ලකුණු 34ක් ද එක් වෙද්දී සිව්වැනි කඩුල්ල වෙනුවෙන් සමිඳු මධුරංග සහ රහීඩ් කරීම් එක්ව නොදැවී ලකුණු 31ක සබඳතාවක් එක් කරනවා. රහීඩ් කරීම් පන්දු 47කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 24ක් ලබා ගන්නවා.

පන්දු යැවීමේ දී සදෙව් ගමගේ ලකුණු 28කට කඩුලු 2ක් දවා ගනිද්දී, කනිශ්ක රසාංග ලකුණු 14කට කඩුල්ලක් දවා ගන්නවා.

  • ගාල්ල- සියලුම දෙනා දැවී 116 (31.3) විශ්ව සුපුන් 60, කනිෂ්ක රසාන්ග 18, දුල්නිත් සිගේරා 3/16, යෙනුල දෙව්තුස 2/13, කවීෂ මෙන්ඩිස් 3/29
  • කොළඹ උතුරු – කඩුලු 3ක් දැවී 117 (26.5) දෙනුර දෙමන්සිත් 44, රහීඩ් කරීම් නොදැවී 24, සදෙව් ගමගේ 2/28

තරගාවලියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<