දිනය 1971 ජනවාරි 05. එවකට පැවති එකම ජාත්‍යන්තර ක්‍රිකට් රටාව වූ “ටෙස්ට් තරඟයක්” සඳහා ඕස්ට්‍රේලියාවත් එංගලන්තයත් සහභාගී වන්නට නියමිතව තිබුණද වර්ෂාව නිසා ප්‍රථම දින තුනම සේදී ගියේය. දින දෙකක් සඳහා ටෙස්ට් තරඟයක් ඇරඹීම නිෂ්ඵල බැව් වටහාගත් තරඟ තීරකවරුන් එක්ව තීරණය කරන ලද්දේ පන්දු 08 බැගින් වූ පන්දුවාර 40ක් දෙපිලට ලබාදීමටයි. ඕස්ට්‍රේලියාව ඉන් කඩුළු 05ක ජයක් ලද අතර “එක්දින ජාත්‍යන්තර තරඟ ඉතිහාසයේ ආරම්භය” සනිටුහන් වූයේ එසේයි.

අද වන විට පන්දුවාර 50ක් බැගින් ක්‍රීඩා කෙරෙන මෙම තරඟ රටාව සීමිත පන්දුවාර ගණනක් තුළ තුන් ඉරියව්වෙන්ම සිය උපරිම දස්කම් දැක්වීමට එකොලොස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායම් දෙකකට ලැබෙන අභියෝගයකි. එහි පන්දු යැවීමේ අංශය ඉතාමත් අභියෝගාත්මක විය හැකි වන්නේ පන්දුවාර ප්‍රමාණය සීමිත බැවින් පිතිකරුවන් ප්‍රවේගකාරීව ලකුණු රැස්කිරීමට පෙළඹිය හැකි බැවිනි. අඩු ලකුණු ප්‍රමාණයක් ලබාදෙමින්, වැඩි කඩුළු ප්‍රමාණයක් දවාගනිමින් ඒ අභියෝගය සාර්ථකව ජයගෙන, තම තමාගේ කණ්ඩායම් ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටිය තුළ ඔසවාතබන අතරම ක්‍රීඩා ලෝලීන්ද මවිත කරවන ආකාරයේ පන්දු යැවීමේ දස්කම් දැක්වීමට ඇතැම් පන්දුයවන්නන් සමත්ව ඇත.

එතෙක් මෙතෙක් වාර්තා වූ සාර්ථකම එක්දින ජාත්‍යන්තර පන්දු යැවීම් 100 ප්‍රසිද්ධ කරනු ලැබුවේ ලොව පිළිගත් විස්ඩන් සඟරාව විසින් 2002 වසරේ පෙබරවාරි 01 වැනිදා ය. මේ සඳහා,

  • ලබාගත් කඩුළු ගණන,
  • දවාගනු ලැබූ පිතිකරුවන්ගේ ගුණාත්මකභාවය,
  • දවාගනු ලැබූ පිතිකරුවන් දැවෙන විට ලබාසිටි ලකුණු සංඛ්‍යාව,
  • තණතිල්ලේ ස්වභාවය,
  • පන්දු යවන්නා විසින් ලබාදුන් ලකුණු සංඛ්‍යාව,
  • පන්දු යැවීම සිදුකළ ඉනිම කීවැනි ඉනිමද යන්න,
  • අදාළ පන්දු යැවීමෙන් තරඟයේ තීරණයට වූ බලපෑම,
  • තරඟයේ වැදගත්භාවය (ලෝක කුසලාන තරඟ, ප්‍රමුඛ පෙලේ එදිරිවාදීන්ට එරෙහි තරඟ)

වැනි කරුණු සලකාබලමින් ශ්‍රේණිගත කිරීමක් සිදු කරන ලදී.

එසේ සිදුකළ ශ්‍රේණිගත කිරීමක් මත විස්ඩන් සඟරාව විසින් තෝරාගත්, “එක්දින ක්‍රිකට් ඉතිහාසය තුළ වාර්තා වූ අග්‍රගණ්‍ය පන්දුයැවීම් දහය” මෙසේයි. එහි ස්ථාන ත්‍රිත්වයක් ශ්‍රී ලාංකිකයන් සතුය.

10 මදන් ලාල් – 3/31, ඉන්දියාව වෙනුවෙන් බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව ලෝඩ්ස් හිදී (1983).

Courtesy - espncricinfo.com
Courtesy – espncricinfo.com

1983 ලෝක කුසලාන අවසන් මහා තරඟයේදී එකල ක්‍රිකට් ක්‍රීඩා කළ දැවැන්තම කණ්ඩායම වන කොදෙව් ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව ඉන්දියානු පිල පළමු ඉනිමේදී ලකුණු 183ක් පමණක් ලබාගෙන ජයග්‍රහණය ගැන සැකයෙන් පසුවන අවස්ථාවකදී, කොදෙව් කණ්ඩායම 50/1ක් ලබා, ලෝක පූජිත පිතිකරු විවියන් රිචඩ්ස් පිටිය මත සිටින අතර ප්‍රබල ස්ථානයක පසුවිය.නමුත් පිළිවෙලින් ඩෙස්මන්ඩ් හේන්ස්, විවියන් රිචඩ්ස් සහ ලැරී ගෝමස් යන ප්‍රබල කඩුළු තුන දවාගත් මදන් ලාල්, ඉන්දියානු කණ්ඩායමට සිය ප්‍රථම ක්‍රිකට් ලෝක කුසලානයේ පහස විඳීමේ ඉඩකඩ විවර කළේය. කඩුළු 4කට අඩු ප්‍රමාණයක් ලබාමින් සියදෙනාගේ ලැයිස්තුවේ පළමු 50 දෙනා ඇතුළත සිටින එකම පන්දුයවන්නා මොහු ය.

09 මුත්තයියා මුරලිදරන් – 7/30, ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉන්දියාවට එරෙහිව සාජා හිදී (2000 / 2001).

(Photo by Tom Shaw/Getty Images)
(Photo by Tom Shaw/Getty Images)

පිතිකරුවන්ගේ පාරාදීසයක් සේ සැලකෙන සාජා පිටිය මතදී ලකුණු 295ක ඉලක්කයක් ඉන්දියානු කණ්ඩායම වෙත ලබාදුන් ශ්‍රී ලංකාවට අභියෝගයක් වෙමින් ඉන්දියානුවන් 97/2ක් වශයෙන් ප්‍රබල ස්ථානයක පසුවිය. එහෙත් තමාගේ සිව්වන පන්දු ඕවරයේ සිට පිතිකරු දඩයම ඇරඹූ මුරලි, පිළිවෙලින් රොබින් සිං, සචින් ටෙන්ඩුල්කාර් දවාගත්තේය. පසුව සිය හයවන සහ හත්වන පන්දුවාර තුළදීද කඩුල්ල බැගින් සොරාගන්නට ඔහු සමත් විය. පන්දු 8ක් තුළ කඩුළු 3ක් දවාගනිමින් දඩයම අවසන් කළ මුරලි, අනෙකුත් සියළු ශ්‍රී ලංකා දඟපන්දු යවන්නන් ලකුණු 165කට කඩුළු 1ක් දවාගනිද්දී, ඉන්දියානු කඩුළු 7ක් ලකුණු 30ක් තුළ දවාලමින් ශ්‍රී ලංකාවේ ජය තහවුරු කළේය.

08 ෂෝන් පොලොක් – 5/36, දකුණු අප්‍රිකාව වෙනුවෙන් ඕස්ට්‍රේලියාවට එරෙහිව එජ්බැස්ටන් හිදී (1999).

Courtesy - Mysportsblog.com
Courtesy – Mysportsblog.com

ලෝක කුසලාන තරඟ පිටිය තුළ අවාසනාවන්තයන් සේ සැලකෙන දකුණු අප්‍රිකානුවන් විසින් ජයපරාජයෙන් තොරව අවසන් කළ 1999 ලෝක කුසලාන අවසන් පූර්ව තරඟය උග්‍ර ක්‍රිකට් ලෝලීන්ට අමතක නොවන්නකි. එම තරඟාවලියේ ශක්තිමත්ම කණ්ඩායම වූ ඔවුන්ට එම තරඟයෙන් අනතුරුව නැවත සියරට බලා යන්නට සිදුවූයේ ඕස්ට්‍රේලියාව එක් ලකුණකින් ඉදිරියෙන් සිටි බැවිනි. කෙසේනමුත් ප්‍රබල ඕස්ට්‍රේලියානු පිතිකරණ ලැයිස්තුව තර්ජනයට ලක්කළ ෂෝන් පොලොක්, මාක් වෝ ලකුණු 0කටත්, පසුව පන්දු හතරක් තුළ ස්ටීව් වෝ සහ ටොම් මූඩි ගේ කඩුළු දෙකත් තමා සතුකර ගත්තේය. ෂේන් වෝන් සහ මයිකල් බෙවන් දවාගැනීමට ඔහුට ඇවැසි වූයේ පන්දු තුනක් පමණි.

07 සුනිල් ජෝෂි – 5/6 , ඉන්දියාව වෙනුවෙන් දකුණු අප්‍රිකාවට එරෙහිව නයිරෝබි ජිම්කානා හිදී (1999 / 2000).

Courtesy - CricketCountry.com
Courtesy – CricketCountry.com

හෙඩින්ග්ලි හිදී වේදනාත්මක ලෝක කුසලාන අවසන් පූර්ව තරඟ ප්‍රතිඵලයක් අත්විඳි දකුණු අප්‍රිකානුවන්ගේ මීළඟ ප්‍රතිවාදීන් වූයේ ඉන්දියාවයි. එහිදී මතකයේ රැඳෙන වමත් දඟපන්දුකරණයක යෙදුනු සුනිල් ජෝෂි, පන්දු ඕවර 10ක් යවා නිලකුණු ඕවර 6ක්ද සමඟින් ලකුණු 6ක් පමණක් ලබාදී කඩුළු 5ක් දවා ගැනීමට සමත් විය (10-6-6-5). ඊට ඇතුලත් වූයේ දකුණු අප්‍රිකානු මුල්පෙළ කඩුළු 5කි. බෝයෝටා ඩිපෙනාර්, හර්ෂල් ගිබ්ස්, හැන්සි ක්‍රොන්යේ, ජොන්ටි රෝඩ්ස්, ෂෝන් පොලොක් යන සියළු දෙනා පිතිකරණයෙහි දක්ෂයන්ය. කෙසේනමුත් තරඟාවලිය පුරාම ජෝෂි විසින් ලබාගත් කඩුළු මෙපණක්ම වීමද විශේෂ සිදුවීමකි.

06 ජොයෙල් ගානර් – 5/38, බටහිර ඉන්දීය කොදෙව්වන් වෙනුවෙන් එංගලන්තයට එරෙහිව ලෝඩ්ස් හිදී (1979).

Courtesy - Madcrazyhatter.com
Courtesy – Madcrazyhatter.com

අඩි 6, අඟල් 8ක් උස දැවැන්තයාගේ කඩුළු බිඳහෙලීමේ වික්‍රමය මෙයයි. 1979 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහා තරඟයේදී පළමු කඩුල්ල වෙනුවෙන් එංගලන්තය පන්දු ඕවර 38ක් තුළ ලකුණු 129ක් ලබා සිටියේය. පිටියේ පන්දුවට පහරදෙමින් සිටි මයික් බ්‍රෙයාලි සහ ජෙෆ් බොයිකොට්, ඉතිරි පන්දුවාර 22 තුළ (එකල සීමිත ඕවර තරඟ තුළ එක් පිලකට පන්දු ඕවර 60ක් හිමිවිය) ජයග්‍රහණය සඳහා තවත් ලකුණු 158ක් වේගයෙන් ලබා ගැනීමට අවශ්‍ය පසුබිම සකස්කොට ගෙන තිබිණි. නමුත් එංගලන්ත පිතිකරුවන්ගේ පා ඇඟිලි වෙත පන්දුව විදිමින් ක්‍රියාත්මක වූ ගානර්, පන්දු 11ක් තුළ ලකුණු 4ක් පමණක් ලබාදෙමින් කඩුළු 5ක් දවා ගැනීමට සමත්විය. ඒ කඩුළු 5ම පන්දුව කඩුල්ල මත පතිත කරමින් ලබාගත් ඒවා විය. වේන් ලාකින්ස්, ඩේවිඩ් ගවර් සහ ක්‍රිස් ඕල්ඩ් යන තිදෙනාම දැවී ගියේ එකදු ලකුණක් හෝ ලබා නොගනිමිනි. ඒ මත ගොඩනැගුණු කොදෙව්වෝ සිය දෙවන ලෝක කුසලාන ජයග්‍රහණයත් වාර්තා කළහ.

05 චමින්ද වාස් – 5/14, ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉන්දියාවට එරෙහිව සාජා හිදී (2000 / 2001).

Courtesy - Cricbuzz.com
Courtesy – Cricbuzz.com

සාජා තුන්කොන් එක්දින තරඟාවලියේ අවසන් තරඟයේදී ඉන්දියාව වෙත ලකුණු 300ක ඉලක්කයක් ලබාදෙන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවිය. සචින් ටෙන්ඩුල්කාර්, සව්රව් ගංගුලි, විනෝද් කම්බ්ලි වැනි ප්‍රබල පිතිකරණ ලැයිස්තුවකින් සවිමත් වූ ඉන්දියානුවන් සාජාහිදී නවතාලීමට නම් ඔවුන් සියල්ල දවාගැනීම අනිවාර්ය විය. චමින්ද වාස්, ශ්‍රී ලංකාව වෙනුවෙන් එම කාර්යභාරය ඉටුකළේ පිළිවෙලින් ගංගුලි, ටෙන්ඩුල්කාර්, යුවරාජ් සිං සහ කම්බ්ලි දවාගනිමින් ඉන්දියාව මුළු ලකුණු 54කට සීමා කරමිනි.

04 චමින්ද වාස් – 8/19, ශ්‍රී ලංකාව වෙනුවෙන් සිම්බාබ්වේට එරෙහිව SSC පිටියේදී (2001 / 2002).

Courtesy - Cricbuzz.com
Courtesy – Cricbuzz.com

ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ඉතිහාසයේ එක් ඉනිමකදී එක් පන්දු යවන්නෙකුගෙන් වාර්තා වූ වැඩිම කඩුළු ප්‍රමාණය මෙයයි. මෙම තරඟයේදී සිම්බාබ්වේ කණ්ඩායමේ සියළුදෙනා ලකුණු 38ක් තුළ දැවී ගියේය. පන්දු ඕවර 20ක් තුළ සමස්ත තරඟයේ තීරණය වාර්තා විණි. මෙහිදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු වාර්තා කළ මංගල එක්දින කඩුළු ත්‍රිත්වය වාර්තා කරන්නට වාස්ට හැකිවිය.

03 වකාර් යුනස් – 7/36, පාකිස්තානය වෙනුවෙන් එංගලන්තයට එරෙහිව හෙඩින්ග්ලි හිදී (2001).

Courtesy - likesuccess.com
Courtesy – likesuccess.com

අධිවේගපන්දු යවන්නෙකු ලෙස ප්‍රකට වකාර් යුනස්, සීම් පන්දුකරණයේ උසස් දක්ෂතාවන් පෙන්නුම් කළ තරඟයක් ලෙස මෙය හැඳින්විය හැකිය. එංගලන්ත ආරම්භක පිතිකරු මාකස් ට්‍රෙස්කොතික් තරඟයේ ප්‍රථම පන්දුවෙන්ම දැවී ගියේය.සිය හතරවැනි, හයවැනි, හත්වැනි, අටවැනි, නමවැනි සහ දසවැනි පන්දුවාර තුළදීද කඩුළු බිඳහෙලන්නට සමත් වූ වකාර්, තරඟය අවසන් කළේ එංගලන්ත කඩුළු 7ක් තමා සතුකරගනිමිනි.

02 අකීබ් ජාවිඩ් – 7/37, පාකිස්තානය වෙනුවෙන් ඉන්දියාවට එරෙහිව සාජා හිදී (1991 / 1992).

Courtesy - Mid-day.com
Courtesy – Mid-day.com

තම පරම එදිරිවාදීන් වන ඉන්දියානුවන් ඉදිරියේ සාජා තුන්කොන් එක්දින අවසන් තරඟයක් නියෝජනය කළ 19 හැවිරිදි අකීබ් ජාවිඩ්, සිය තෙවන පන්දු වාරයේදී ඉන්දියාවේ රවී ශාස්ත්‍රි, මොහොමඩ් අසරුඩීන් සහ සචින් ටෙන්ඩුල්කාර්ව පිට පිටම කඩුල්ල මුවාකිරීමේ වරදට හසුකරගනිමින් ලබාගත් කඩුළු ත්‍රිත්වයක්ද ඇතුළුව කඩුළු 7ක් ලබාගත්තේය. ඔහුගේ සහය පන්දු යවන්නන් වූ වසීම් අක්‍රම්, වකාර් යුනස්, ඉම්රාන් ඛාන් යන වේගපන්දු විශේෂඥයන් තිදෙනාම මුළු ලකුණු 73ක් ලබාදෙමින් කඩුළු ලබා ගැනීමට අසමත්ව තිබිණි.

01 ගැරී ගිල්මෝ – 6/14, ඕස්ට්‍රේලියාව වෙනුවෙන් එංගලන්තයට එරෙහිව හෙඩින්ග්ලි හිදී (1975).

Courtesy - NewcastleHerald.au
Courtesy – NewcastleHerald.au

1975දී පැවති කුළුඳුල් ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලියේ අවසන් පූර්ව තරඟයට ඕස්ට්‍රේලියාවත් එංගලන්තයත් සුදුසුකම් ලැබීම නිසා මෙම දක්ෂතාවය ප්‍රදර්ශනයට මඟ පෑදිණි. තණකොළ සහිත හෙඩින්ග්ලි තණතීරුවේ පන්දු යැවීමේ අවස්ථාව ලද වමත් වේගපන්දු යවන ක්‍රීඩක ගැරී “ගස්” ගිල්මෝ, ගුවනේදී සහ පතිත වීමෙන් අනතුරුව යන ක්‍රම දෙකටම පන්දුව දෝලනය කරමින් එංගලන්ත මුල්පෙළ පිතිකරුවන් අසරණ කළේය. ලකුණු 37කට කඩුළු 7ක් දැවීගොස් දුර්වලව සිටි එංගලන්ත කණ්ඩායම ලකුණු 93 තෙක් ඉනිම ඇදගෙන ගියේය. පසුව ලකුණු 39ක් තුළ ඕස්ට්‍රේලියානු කඩුළු 6ක් දැවීගිය අතර ඕස්ට්‍රේලියාවට ජය ගෙන එන්නට සමත් වූයේ ලකුණු 28ක් වාර්තා කළ ගිල්මෝ ය.