උසස් දක්ෂතා සංචිතයේ 60 දෙනාට 25,000ක මාසිකව පෝෂණ මල්ලක්

140

ෆොන්ටෙරා ආයතනය විසින් ඉහළ කාර්යය සාධනයක් සහිත ක්‍රීඩකයින් හැටදෙනා සඳහා ලබා දෙන රුපියල් 25,000ක මාසික පෝෂණ දීමනාව පිරිනැමීමේ සමාරම්භය තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (02) දින ටොරින්ටන් පරිශ්‍රයේ දී සිදු කෙරිණි.

එක් එක් ක්‍රීඩා සංගම් හරහා තෝරාගැනීමේ තරග පවත්වා මලල ක්‍රීඩා, බර ඉසිලීම, බොක්සිං, ජූඩෝ, බැඩ්මින්ටන්, පිහිනුම් සහ පැරා ක්‍රීඩාවලට අදාළව උසස් දක්ෂතා සංචිතය නියෝජනය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගණන 60 දෙනෙකි.

අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ මගපෙන්වීම අනුව මෙරට ක්‍රීඩාව ඉහළ නැංවීම සඳහා ක්‍රීඩා අමාත්‍යාංශය, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව, ජාතික ක්‍රීඩා සභාව එක්ව කෙටිකාලීන, මධ්‍යකාලීන හා දිගුකාලීන වැඩපිළිවෙළක් ක්‍රියාත්මකය.

ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පෝෂණ අවශ්‍යතා හඳුනා ගෙන සුදුසුකම්ලත් පෝෂණ වෛද්‍යවරයකුගේ නිර්දේශ මත නිසි උපදෙස් ලබා ගනිමින් මෙම පෝෂණ දීමනාව පිරිනමනු ලබයි.

ඒ සඳහා මාසයකට එක්  ක්‍රීඩකයකු සඳහා  වැය වන රුපියල් 25,000/-ක් පමණ වූ මුදල ක්‍රීඩකයන් 60 දෙනා සඳහාම වසරක් පුරාවටම මූල්‍යමය වශයෙන් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව වෙත ලබා දීමට ෆොන්ටේරා සමාගම ඉදිරිපත් වී සිටියි.

සැළසුම්ගතව ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය හරහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෘත්තීය මට්ටමින් පමණක් නොව පෝෂණ මට්ටමින් ද සවිමත් කර අපේ රටේ ක්‍රීඩාව රනින් ජයග්‍රහණය කිරීම ක්‍රීඩා අමාත්‍යාංශයේ සැලසුම වී ඇත.

මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය, ජාතික ක්‍රීඩා සභාවේ උසස් දක්ෂතා සහිත ක්‍රීඩකයන් හඳුනා ගැනීමේ කමිටුවේ සභාපති සංජීව වික්‍රමනායක, ජාතික ක්‍රීඩා සභාවේ සාමාජික යෂ්වන්ත් මුත්තෙට්ටුවගම, ෆොන්ටේරා සමාගම නියෝජනය කරමින් දිනිත් පතිරණ ඇතුළු නිලධාරී මහත්ම මහත්මීහූ පිරිසක් සහභාගි වූහ. 

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<