වෙඩි තැබීමේ සම්මේලනයට රු. මිලියන 12ක්

129

වෙඩි තැබීමේ ක්‍රීඩාවෙන් ජාතික හා ජාත්‍යන්තර ජයග්‍රහණ හිමිකර ගැනීමේ අරමුණ ඇතිව ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා ඔප්නැංවීම සඳහා තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඉකුත් දා (01) ශ්‍රී ලංකා ජාතික වෙඩි තැබීමේ ක්‍රීඩා සම්මේලනය සමඟ ගිවිසුම්ගත වෙමින් ඔවුන්ට මූල්‍ය ප්‍රදානයක් ලබා දෙනු ලැබුවා.

කොහුවල අලුතින් ඉදිවන ජාතික වෙඩි තැබීමේ මධ්‍යස්ථානයේ දී අදාළ ගිවිසුම්ගත වීම හා මූල්‍ය ප්‍රදානය සිදු විය.

තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශය වෙනුවෙන් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා සහ ශ්‍රී ලංකා ජාතික වෙඩි තැබීමේ  ක්‍රීඩා සම්මේලනයේ සභාපති ශිරාන් පීරිස් මහතා අදාළ ගිවිසුමට අත්සන් තැබූහ.

වෙඩි තැබීමේ ක්‍රීඩාවේ නිරත ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා වැඩිදියුණු කරමින් ඔවුන්ව දිරි ගැන්වීමේ අරමුණ ඇතිව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි රුපියල් 12,135,020/-ක මුදලක් මෙලෙස ප්‍රදානය කෙරිණි.

මහේල ජයවර්ධන මහතාගේ සභාපතිත්වයෙන් යුතු ජාතික ක්‍රීඩා සභාව සහ උසස් දක්ෂතා කමිටුව විසින් ජාතික හා ජාත්‍යන්තර ජයග්‍රහණ ලබාගත හැකි බවට නිර්දේශ කරමින් ප්‍රමුඛත්වය දිය යුතු බවට නිර්දේශ කළ ක්‍රීඩාවන්ට මූල්‍ය ආධාර ප්‍රදාන කරමින් එම ක්‍රීඩාවල ජාතික සංගම් සමඟ ගිවිසුම්ගත වීම මේ වනවිට ක්‍රියාත්මකය.

ඒ අනුව ප්‍රමුඛත්වය දිය යුතු බවට නිර්දේශ වූ ජාතික වෙඩි තැබීමේ ක්‍රීඩාව ඉහළ නැංවීමේ අරමුණ ඇතිව එක් අවුරුදු උසස් දක්ෂතා ක්‍රීඩා සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා මෙලෙස ගිවිසුම්ගත වීම හා මූල්‍ය ප්‍රදානය කිරීම සිදු විය.

මෙම අවස්ථාව සඳහා තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශයේ, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ සහ ජාතික ක්‍රීඩා සභාවේ නිලධාරීන් සහ ශ්‍රී ලංකා ජාතික වෙඩි තැබීමේ ක්‍රීඩා සම්මේලනයේ නිලධාරි පිරිසක් සහභාගි වූහ.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<