ලංකන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට අවසර

896

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන ලංකන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා ගරු අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මැතිතුමාගේ අනුමැතිය අද (24) හිමිව ඇත.

තවත් පාකිස්තානු ක්‍රීඩකයින් හත්දෙනෙක්ට කොරෝනා!

අගෝස්තු 5 වැනිදා සිට 20 වැනිදා දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබෙන මෙම තරගාවලිය සඳහා තරග 23ක් ඇතුළත් වන අතර දඹුල්ල, සූරියවැව, පල්ලෙකැලේ සහ SSC යන ක්‍රීඩාංගණවල දී එම තරග පැවැත්වීමට නියමිතව ඇත.

කොරෝනා වසංගත තත්වය හමුවේ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් පිටියේ නවීකරණ කටයුතු තවදුරටත් පමා වීම නිසාවෙන් SSC ක්‍රීඩාංගණය තෝරාගත් බව වාර්තා වේ. කෙසේ නමුත් තරග පැවැත්වෙන ක්‍රීඩාංගණ පිළිබඳව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැත.

මෙම තරගාවලියට කණ්ඩායම් පහක් ක්‍රීඩා කරන අතර එක් කණ්ඩායමක සංචිතයට විදේශ ක්‍රීඩකයන් හය දෙනෙකු සහ දේශීය ක්‍රීඩකයන් නව දෙනෙකු ඇතුළත් වේ. වර්තමාන ලෝක ක්‍රිකට් පිටියේ ප්‍රබලතම ක්‍රීඩකයන්ට තරගාවලිය සඳහා ආරාධනා කර ඇති අතර සහභාගී වන ක්‍රීඩකයින් පිළිබඳව අවසන් තීරණයක් තවමත් ගෙන නොමැත.

ශ්‍රී ලාංකේය ජනතාව අතර ඉමහත් ජනප්‍රියත්වයට පත්, ක්‍රිකට් ක්‍රීඩාවේ ආශ්වාදය නැවත ගෙන ඒමේ අරමුණින් ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලියට අනුමැතිය දීමට ක්‍රීඩා අමාත්‍යතුමා තීරණය කර ඇත්තේ අදාළ සෞඛ්‍ය අංශ සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුවයි. තරගාවලියට සහභාගි වන සියලු ක්‍රීඩකයන් දින 14කට වැඩි කාලයකට පෙර ශ්‍රී ලංකාවට පැමිණිය යුතු අතර ඔවුන්ට සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් මත කටයුතු කිරීමට ද සිදු වනු ඇත.  

ආචර්ට තවත් PCR පරීක්ෂණයක්

කෙසේ නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මේ වසරේ දී කෙසේ හෝ තරගාවලිය පවත්වන බවට අවස්ථා කිහිපයක දී ම පවසා සිටි නමුත් ඒ සඳහා රජයේ සහ ක්‍රීඩා අමාත්‍යංශයේ නිසි අවසර හිමි වූයේ අද දිනයේ දීයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය 2012 වසරේ ශ්‍රී ලංකා ප්‍රීමියර් ලීග් (SLPL) ලෙස තරගාවලියක් පැවති අතර ඉන් අනතුරුව අවස්ථා කිහිපයක දී ම එවැනි ආකාරයක ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීමට උත්සහ කළත් එය පැවැත්වීමට නොහැකි විය.

මීට පෙර එනම් 2018 වසරේ දී, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයකු මෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් විස්තර විචාරකයෙකු වන රසල් ආනල්ඩ් මහතා මෙම තරගාවලියේ අධ්‍යක්‍ෂවරයා ලෙස පත්කර සිටි නමුත් තරගාවලිය විටින් විට දින නියමයක් නොමැතිව කල් ගියේය.

කෙසේ නමුත් මෙම LPL තරගාවලිය පැවැත්වීමට හැකිවුවහොත් ‘කොරෝනා’ අවදානමෙන් පසුව ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ප්‍රථම ප්‍රධාන පෙළේ ක්‍රිකට් තරගාවලිය බවට මෙය පත්වනු ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<