තවත් පාකිස්තානු ක්‍රීඩකයින් හත්දෙනෙක්ට කොරෝනා!

325

පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩකයින් වන Fakhar Zaman, ඉම්රාන් ඛාන්, කාසිෆ් භට්ටි, මොහොමඩ් හෆීස්, මොහොමඩ් හසනයින්, මොහොමඩ් රිස්වාන් හා වහබ් රියාස් යන ක්‍රීඩකයින් සියලු දෙනාටම COVID-19 වයිරසය වැළඳී ඇති බව වාර්තා වෙනවා. 

මේ බව අද (23) පාකිස්තාන ක්‍රිකට් ආයතනය විසින් සනාථ කළා. මේ ක්‍රීඩකයින් හත්දෙනාට පෙර ශදාබ් ඛාන්, හයිඩර් අලී හා හැරිස් රවුෆ් හට ඊයේ (සඳුදා) කොරෝනා වයිරසය වැලඳී ඇතැයි පරීක්ෂණවලින් තහවුරු වුනා. 

“මට එංගලන්තයේ දී ශතකයක් වාර්තා කරන්න ඕන”

පාකිස්තාන කණ්ඩායමේ සම්බාහන නිලධාරියා වන මලන්ග් අලී හට ද වයිරසය ආසාදනය වී තිබෙනවා. අගෝස්තු මාසයේ දී එංගලන්තයේ සංචාරය කිරීමට නියමිත පාකිස්තාන සංචිතයට ක්‍රීඩකයින් 29 දෙනෙක් මුලදී නම් කෙරුණු නමුත් පවතින තත්වය අනුව එම ක්‍රීඩකයින් බොහෝ දෙනෙක් තරගාවලියට සහභාගී වීම අවිනිශ්චිත වී තිබෙනවා.

“පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ වෛද්‍ය මණ්ඩලය මේ වන විටත් ක්‍රීඩකයින් හා නිලධාරියාට ප්‍රතිකාර කරමින් සිටිනවා. ඔවුන් සියලු දෙනාම සිය නිවාසවලම නිරෝධායනය කරමින් දැඩි අධීක්ෂණයට භාජනය කරනු ඇත” පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන ලදි.

අනෙක් ක්‍රීඩකයින් වන අබිඩ් අලී, අසාඩ් ශෆීක්, අසාර් අලී, බාබර් අසාම්, ෆාහිම් අශ්රාෆ්, ෆවාඩ් අලාම්, ඉෆ්තිකාර් අහමඩ්, ඉමාම් උල් හක්, කුශ්දිල් ෂාහ්, මොහොමඩ් අබ්බාස්, නසීම් ෂා, සෆ්රාස් අහමඩ්, ෂහින් අලී අෆ්රිඩ්, ශාන් මසූඩ්, සොහයිල් ඛාන් හා යසීර් ඛාන් හට කොරෝනා වැලඳී නැති බවත් PCBය සඳහන් කරනවා.

“මම යුතුකම් ඉටු කරන්න එනවා!” – වහබ් රියාස් 

COVID-19 වැළඳී නැති ක්‍රීඩකයින් ලාහෝර් හිදී ජුනි 24 වැනිදා මුණගැසීමට නියමිත අතර ඔවුන් එංගලන්තය බලා ජුනි 28 වැනිදා පිටත්ව යෑමට නියමිතයි. එංගලන්තයේ නිරෝධායන කටයුතු නිමා වීමෙන් අනතුරුව ඔවුන් එංගලන්ත හා වේල්ස් ක්‍රිකට් පාලක මණ්ඩලය පොරොන්දු වූ ජීව විද්‍යාත්මකව සුරක්ෂිත කරන ලද පුහුණුවීමේ ස්ථානවල සිය පුහුණුවීම් ආරම්භ කරනු ඇත.

“තරගාවලිය පැවැත්වීම ස්ථිරයි, කණ්ඩායම පෙර සැලසුම් දිනවලම එංගලන්තයට පිටව යනවා” පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක වසීම් ඛාන් මහතා පවසා සිටියා. “මොහොමඩ් රිස්වාන් ඇතුළු ටෙස්ට් සංචිතයේ ප්‍රධාන ක්‍රීඩකයින් සියලු දෙනාම නිරෝගී. එම නිසා ඔවුන්ට එංගලන්තයට ගොස් එහි නිරෝධායන නීති රීතිවලට අනුකුලව එහි පුහුණුවීම් ආරම්භ කරන්නට පුළුවන්, මේ අතරතුරේ මිස්බා උල් හක් අතිරේක ක්‍රීඩකයින් යොදාගන්නට පුහුණුවීම් සැලැස්ම හදනවා.”

අවසන් මොහොතේ කණ්ඩායමට එකතු වීමට අවසර ලැබුණු ෂොයිබ් මලික්, ක්ලිෆ් ඩේකෝන් හා වකාර් යුනිස් හට තවමත් කොරෝනා හඳුනා ගැනීමේ පරීක්ෂණ සිදු කර නැහැ. දැනට COVID-19 තහවුරු වුණු ක්‍රීඩකයින්ට සුවය ලැබුණු පසුව එංගලන්තය දක්වා පිටත්කර එහි දී තවත් පරීක්ෂණයකට භාජනය කිරීමට පකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය අපේක්ෂා කරනවා. පළමු ටෙස්ට් තරගය ආරම්භ වීමට පෙර පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩකයින් COVID-19 පරීක්ෂණ පහක් සඳහා මුහුණ දෙනු ඇත.

බාබර් අසාම්ට සහ තවත් කිහිපදෙනෙක්ට අනතුරු ඇඟවීමක්

පාකිස්තානය, ලෝඩ්ස් හිදී එංගලන්තයට එරෙහිව පළමු ටෙස්ට් තරගය ක්‍රීඩා කරන අතර මීළඟ ටෙස්ට් තරග දෙක පැවැත්වෙන්නේ මැන්චෙස්ටර් හා නොටින්හැම් හිදීයි. විස්සයි විස්ස තරග තුන පැවැත්වෙන්නේ ලීඩ්ස්, කාඩිෆ් හා සදම්ප්ටන් ක්‍රීඩාංගණවලයි.

Cricbuzz වෙබ් අඩවිය ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<