මෙරට පැවැත්වෙන යතුරු පැදි ධාවන තරග අතුරින් වඩාත් අභියෝගාත්මක සහ ඉහළ මට්ටමේ තරගකාරීත්වයකින් යුත් තරගාවලියක් සේ සැලකෙන “විජයබාහු මොටෝක්‍රොස්” යතුරු පැදි ධාවන තරගය එළඹෙන අප්‍රේල් මස 02 වැනි දා කුරුණෑගල විජයබාහු පාබල රෙජිමේන්තු පරිශ්‍රයේ දී පැවැත්වේ.

බටහිර ආසියානු බේස්බෝල් ජය ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකාව පකිස්තානය පරාජය කරමින් 13 වන බටහිර ආසියානු බේස්බෝල් ශූරතාවය දිනා ගැනීමට ඊයේ (01) සමත් විය…

ශ්‍රී ලංකා යුධ හමුදා විජයබාහු පාබල රෙජිමේන්තුව විසින් සංවිධානය වන මෙය මෙවර පැවැත්වෙන්නේ 15 වැනි වතාවටයි. තරගාවලිය ගැන මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක් පසුගිය සිකුරාදා වැල්ලවත්ත මිරාජ් හෝටලයේ දී පැවැත්වුණු අතර විජයබාහු පාබල රෙජිමේන්තු අධිපති; මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන, මධ්‍යස්ථාන සේනා විධායක; බ්‍රිගේඩියර් ඩබ්ලිව්. එස්. අබේසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් එය පැවැත්විය.

ශ්‍රී ලංකා යුධ හමුදාවේ යතුරු පැදි ධාවකයන් සහ යතුරු පැදි ධාවන තරගවලට පෙම් කරන සුවහසක් ශ්‍රී ලාංකිකයන් අතර ප්‍රචලිත මෙම තරගාවලිය තුළින් ඉපැයෙන මුදල වැය කෙරෙන්නේ යුද්ධයේ දී දිවි පිදූ සහ ආබාධිත වූ රණවිරුවන්ගේ සුබසාධනය වෙනුවෙනි. ඉන් නොනැවතී ඔවුන් තවත් ඉදිරියට ගොස් තිබේ.

2“අපි රු. කෝටි 2ක් පමණ වැය කරලා රණවිරු පවුල්වලට නිවාස 66ක් තනා නිමකළා. මිය ගිය සෙබළුන්ගේ දූදරුවන්ට ශිෂ්‍යත්ව ලබා දීමටත් මුදල් වැය කළා. ඒ වගේම වයඹ පළාතේ දුප්පත් පාසල් තෝරා ගෙන ඒවා දියුණු කිරීමටත් යුධ හමුදා කඳවුර අවට තිබෙන පන්සල් දියුණු කිරීම සඳහාත් අපි කටයුතු කළා. ඉතින් මෙය රණවිරුවන්ගේ පමණක් නොව, කුරුණෑගල ප්‍රදේශයේ දියුණුවටත් හේතු වෙනවා.” රෙජිමේන්තු අධිපති; මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන මහතා එසේ පැවසීය.

“රටේ ඒකීයභාවය සහ භෞමික අඛණ්ඩතාවය වෙනුවෙන් විජයබාහු රෙජිමේන්තුවේ සෙබළු 3000ක් පමණ දිවි පිදුවා. 7000 කට අධික පිරිසක් තුවාල ලැබුවා. දැනට 15,000ක පමණ භට පිරිසකින් යුත් අපේ රෙජිමේන්තුවේ සේවය කරන්නන්ගේ සුබසාධනය සහ ඔවුන්ගේ යටිතල පහසුකම් වැඩි දියුණු කිරීමට මේ තරගය හේතු වෙනවා.” විජයබාහු මොටෝක්‍රොස් තරගයේ වැදගත්කම ගැන ඔහු තවදුරටත් අදහස් දැක්වූයේ එසේයි.

අදහස් දැක්වීමට එක් වූ මධ්‍යස්ථාන සේනා විධායක; ඩබ්ලිව්. එස්. ආරියසිංහ මහතා මෙසේ පැවසීය.

“විජයබාහු ධාවන පථය තමයි ලංකාවේ අභියෝගාත්මකම ධාවන පථය. මෙය කි.මී. 2.1ක දුරකින් සමන්විතය. වංගු 12කුත්, ඩබල් ජම්ප්ස් (double jumps) 09කුත්, ටේබල් ටොප්ස් (table tops) 06 කුත් තිබෙනවා.”

 “මේ ක්‍රීඩාව මේ රට තුළ බලවත් කරන්නට පුළුවන් යුධ හමුදාවට විතරයි. මොකද, අපට පිරිස් බලය තියෙන නිසා.” යනුවෙන් තවදුරටත් අදහස් දක්වමින් ඔහු පැවසුවේ අභිමානයෙනි.

නරඹන්නන්ට ඕනෑම ස්ථානයක සිට හොඳින් තරගය නැරඹිය හැකි වන සේ බේසමක ආකාරයෙන් නිර්මාපිත ධාවන පථයක් වන විජයබාහු මොටෝක්‍රොස් ධාවන පථය විදේශිකයන් අතර පවා ප්‍රචලිතය.

මෙවර තරගයට විදෙස් ක්‍රීඩකයන් කිහිප දෙනෙකු ද සහභාගී වීමට නියමිත අතර ඔවුන් ජපානයෙන් මෙරටට පැමිණෙන බව සඳහන් විය. ඉන්දියානු යතුරු පැදි වසන්තය ද මේ හා සමගාමීව ඇරඹී ඇති බැවින් ඉන්දියානු ක්‍රීඩකයන් මෙවර තරගාවලියට සහභාගී නොවේ.

Vijayabahu Motocrossශ්‍රී ලංකාවේ මුල්වරට යතුරුපැදි ධාවකයන් වෙනුවෙන් මුදල් ත්‍යාග පිරිනැමීම ඇරඹුවේ විජයබාහු මොටෝක්‍රොස් තරගාවලියයි. 2017 තරගය ජයග්‍රහණය කරන්නාට රු.25,000කට යටත්ව මුදල් ත්‍යාගයක් පිරිනැමීමට නියමිතය. එමෙන්ම දෙවැන්නා, තෙවැන්නා, සිව්වැන්නා සහ පස්වැන්නා තෙක් ස්ථාන ලබන්නන්ට ත්‍යාග පිරිනැමේ.

ධාවන පථය තුළ අපහසු පිමි කිහිපයක්ම ඇති අතර ඉන් දිගුම පිම්ම සිදු කරන ක්‍රීඩකයාට ද සම්මානයක් පිරිනැමේ. එමෙන්ම රැලිය තුළ වැඩිම ලකුණු ලබන ධාවකයාට “යුධ හමුදාපති අභියෝගතා කුසලානය” පිරිනැමීමට නියමිතයි. එමෙන්ම 250cc අංශයේ වැඩිම ලකුණු ලාභියාට “රෙජිමේන්තු අභියෝගතා කුසලානයත්”, වසරේ නැගී එන ක්‍රීඩකයාට තවත් කුසලානයකුත් පිරිනැමෙනු ඇත.

දිවයිනේ ප්‍රසිද්ධ යතුරු පැදි ධාවකයන් වන ෂෙහාන් සී. අධිකාරි, ඉශාන් දසනායක, ඉවෝන් ගුරුසිංහ, සමීර ප්‍රේමරත්න, නිහාල් විජේරත්න, ජැක්ස් ගුණවර්ධන ආදී ධාවකයන් සමඟ විදේශික ධාවකයන් උරෙනුර ගැටෙන 15 වැනි “විජයබාහු මොටෝක්‍රොස්” තරගාවලිය තුළ දී උද්වේගකර ධාවන තරග රැසක් නැරඹීමට අප්‍රේල් 02 වනදා ඔබත් එක් වන්න.

 >> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<