සත්කාරකයින් හඬවමින් එංගලන්තය අවසන් මහා තරගයට!

FIFA Women's World Cup 2023

1204
England in to the fifa women's world cup final

2023 කාන්තා පාපන්දු ලෝක කුසලාන අවසන් මහා තරගයේ දී ස්පාඤ්ඤය සමඟ තරග වැදීමේ අවස්ථාව හිමි කර ගැනීමට එංගලන්ත කාන්තා පාපන්දු කණ්ඩායම ඊයේ (17) සමත් වුනා. 

තරගාවලිය වෙනුවෙන් සම සත්කාරකත්වය දරන ඕස්ට්‍රේලියාව සමඟ ඊයේ පැවැත්වුණු තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගයෙන් ගෝල 3-1ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට එංගලන්ත ක්‍රීඩිකාවන් විසින් සමත් වීමත් සමඟින් ඔවුන්ට මෙම දස්කම දැක්වීමට හැකියාව ලැබුණා. 

එංගලන්ත පිරිමි පාපන්දු කණ්ඩායම විසින් 1966 වර්ෂයේ දී පාපන්දු ලෝක කුසලාන අවසන් මහා තරගයකට සහභාගී වීමෙන් (ඔවුන් එවර ලෝක ශූරයින් බවට ද පත් වුනා) වසර 57කට පසුව නැවත වරක් එංගලන්ත පාපන්දු කණ්ඩායමක් මෙසේ ලෝක කුසලාන අවසන් මහා තරගයකට සුදුසුකම් ලබා ගැනීමට සමත් වීම විශේෂත්වයක්. 

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි හි දැවැන්ත ඕස්ට්‍රේලියානු රසික ප්‍රජාවක් මධ්‍යයේ ආරම්භ වූ මෙම තරගයේ පළමු ගෝලය තරගයේ 36 වැනි මිනිත්තුවේ දී එංගලන්තයේ Ella Toone විසින් වාර්තා කිරීමට සමත් වුනා. 

නමුත් පසුව ඕස්ට්‍රේලියාවේ කාන්තා පාපන්දු තරුව ලෙස සැලකුම් ලබන Sam Kerr විසින් තරගයේ 63 වැනි මිනිත්තුවේ දී  දැලට යාර විසි පහක් පමණ දුර සිට එල්ල කළ විශිෂ්ට පහරකින් ගෝලයක් ලබා ගැනීමට සමත් වීම නිසා තරගයේ ලකුණු තත්වය සමාන වුනා. 

කෙසේ වෙතත් ඉන්පසුව 71 සහ 86 මිනිත්තුවල දී එංගලන්තයේ Lauren Hemp සහ Alessia Russo විසින් ලබා ගත් ගෝල ද්විත්වය නිසා තරගයේ ජයග්‍රහණය එංගලන්තය ඉදිරියෙන් ලියැවුණා. 

ඒ අනුව වත්මන් යුරෝපා ශූරියන් ලෙස ද (2022) කිරුළු දරා සිටින එංගලන්ත කාන්තා කණ්ඩායමට සිය පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ ඉහළ දක්ෂතාව* එළඹෙන ඉරිදා (20) දිනයේ දී සටහන් කළ හැකියි. 

*. මෙතෙක් ඔවුන් ලෝක කුසලාන ඉතිහාසයේ ලබා ඇති ඉහළම ස්ථානය වන්නේ 2015 දී ලද 3 වන ස්ථානයයි. ඒ අනුව අවසන් මහා තරගය ජයග්‍රහණය කළත් නැතත් මෙය ඔවුන්ගේ හොඳම තරගාවලිය ලෙස සටහන් වනු ඇති. 

එමෙන්ම මෙහි දී මෙවර ලෝක කුසලාන අවසන් තරගය දක්වා මෙන්ම, යුරෝපා ශූරතාව ජයග්‍රහණය කිරීම වෙනුවෙන් ද එංගලන්ත කාන්තා කණ්ඩායම පිටුපස සිටි දැවැන්ත සෙවණැල්ල ලෙස ඔවුන්ගේ පුහුණුකාරිණිය වන Sarina Wiegman හට විශේෂ ඇගයීම් ලැබෙමින් පවතිනවා. 

2017 යුරෝපා ශූරතාව ජයග්‍රහණය කිරීම වෙනුවෙන් මෙන්ම 2019 ලෝක කුසලාන අවසන් මහා තරගය තෙක් යාමට සමත් වූ නෙදර්ලන්ත කාන්තා කණ්ඩායමේ පුහුණුකාරිණිය ලෙස ද කටයුතු කළ Weigman, ඉන් පසුව එංගලන්ත කාන්තා කණ්ඩායම සමඟිනුත් නැවතත් සිය දක්ෂතා ප්‍රකට කරමින් සිටීම විශේෂත්වයක්. 

“අපි ඒක (තරගාවලිය) දින්නා වගේ හැඟෙන්නේ. අපි දින්නේ නැහැ, නමුත් අපි මේ තරගය දිනුවා. 

මම කවදාවත් කිසිම දෙයක් සුළුවට ගන්නේ නැහැ. නමුත් දැන් නම් මම සුරංගනා කතාවක හෝ ඒ වගේ තැනක ජීවත් වෙනවා වගෙයි දැනෙන්නේ. 

අපි පළමු අවසන් තරගයට 2017 දී සුදුසුකම් ලබා ගත්තා. ඒක ඇත්තටම විශේෂයි. ඒක නැවත කිසිම දවසක සිදු නොවේවී කියලා හිතුවා. 

ඉන් පසුව ඔබ දෙවැනි, තෙවැනි සහ සිව්වැනි අවස්ථා වල දීත් එය සිදු කරනවා. නමුත් තවමත් හිතන්නේ මෙය නැවත කිසිම දවසක සිදු නොවේවි කියලා.” 

ඊයේ තරගය ජයග්‍රහණය කිරීමෙන් පසුව Wiegman විසින් එසේ සඳහන් කළා. 

Wiegman විසින් එංගලන්ත පුහුණුකාරීත්වය බාර ගැනීමෙන් පසු එංගලන්තය ක්‍රීඩා කළ තරග 38න් 30ක් ම ජයග්‍රහණය කිරීමට ඔවුන් සමත් වී තිබීමත් විශේෂත්වයක්. 

කෙසේ වෙතත් ඊයේ තරගයෙන් පරාජය වූ ඕස්ට්‍රේලියානු කණ්ඩායම ද සිය පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ දක්වා ඇති ඉහළ ම දක්ෂතාව සනිටුහන් කිරීමට මෙවර තරගාවලියේ දී සමත් වුනා. 

නමුත් සත්කාරක දේශයක් ලෙස තරගාවලිය ජයග්‍රහණය කිරීමට ඉතා ඉහළ අවස්ථාවක් තිබූ ඕස්ට්‍රේලියාව ඊයේ ඉතිරි වුනේ අවාසනාවන්ත මතකයක් පමණයි. 

මෙම තරගයේ දී ඕස්ට්‍රේලියාව වෙනුවෙන් වාර්තා වූ එකම ගෝලයේ හිමිකාරිනිය වූ Sam Kerr හට ආබාධයක් නිසා මෙවර තරගාවලියේ මීට පෙර පැවැත්වුණු තරග වලින් බොහෝ ප්‍රමාණයක් මග හැරී ගියා.  

නමුත් ඇය අවශ්‍ය ම මොහොතේ පිටියට පැමිණෙමින් ඕස්ට්‍රේලියාව වෙනුවෙන් සිය උපරිමය ලබා දීමට උත්සාහ කිරීම බොහෝ දෙනෙකුගේ අගය කිරීමට භාජනය වුනා. 

ඇය විසින් ඊයේ ලබා ගැනීමට සමත් වුනේ එක් ගෝලයක් පමණක් වුවත්, ඊට අමතරව ආසන්න අවස්ථා කිහිපයක් ම ඇයට ගිලිහී ගිය බවත් විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි. 

කෙසේ වෙතත් මින් අනතුරුව මෙවර කාන්තා පාපන්දු ලෝක කුසලානයේ පැවැත්වීමට ඉතිරි වී ඇත්තේ තවත් තරග දෙකක් පමණයි. 

ඒ අතුරින් තරගාවලියේ තෙවැනි ස්ථානය තෝරා ගැනීම සඳහා තරගය එළඹෙන සෙනසුරාදා (19) ඕස්ට්‍රේලියා සහ ස්වීඩන් කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිතයි. 

එමෙන්ම තරගාවලියේ අවසන් මහා තරගය එළඹෙන ඉරිදා ස්පාඤ්ඤය සහ එංගලන්තය අතර පැවැත්වෙනු ඇති. 

එම තරග පිළිබඳ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්. 

Hindustan Times සහ BBC ඇසුරිනි. 

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න <<