ගෙවී ගිය දිනය (සැප්තැම්බර් 9) ලක්වාසි සියලු දෙනාට මෙන්ම ලෝකය පුරා වාසය කරන සියලු ශ්‍රී ලාංකිකයන්ට ඉතාමත් සතුටුදායක දිනයක් වූයේ, ශ්‍රී ලංකික යොවුන් කෙටිදුර ධාවන ශූර යුපුන් ප්‍රියදර්ශන අබේකෝන් දකුණු ආසියාවේ වේගවත්ම මිනිසාගේ වාර්තාවට හිමිකම් කීමට සමත් වීම නිසාවෙනි.

ඉතාලියේ වාසය කරමින් සිය පුහුණුවීම් කටයුතුවල නියැලෙන යුපුන් ජර්මනියේ පැවති මලල ක්‍රීඩා තරගාවලියක් නියෝජනය කරමින් මේ හපන්කම වාර්තා කළේ ජර්මනියේ මීටර් 100 ශූරයා ද පරාජය කරමින් වීම කැපී පෙනෙන සිදුවීමකි.

ලාංකීය ක්‍රීඩාවට බොහෝ විට ජාතික මට්ටමේ ක්‍රීඩකයන් දායාද කෙරූ පන්නල ප්‍රදේශ නිජබිම ගත් යුපුන් මෙලොව එළිය දකින්නේ 1994 වසරේ දෙසැම්බර් මස 31 වැනිදාය. 

පන්නල ජාතික පාසලෙන් සිප්සතර හදාරන්නට අත්පොත් තබන යුපුන් වයස අවුරුදු 10ක් වන විට (2004) පන්නල ජාතික පාසලේ සුභද්‍රා ගුරුමෑණියන්ගේ මග පෙන්වීම යටතේ සිය ක්‍රීඩා දිවිය ආරම්භ කරන අතර 2010 වසරේ දී වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලයට යෑමට යුපුන් වරම් දිනා ගන්නේ සිය ක්‍රීඩා දිවියේ හැරවුම් ලක්ෂයක් සටහන් කරමිනි.

සාන්ත ජෝසප් වාස් විද්‍යාලයට පැමිණීමෙන් අනතුරුව කෙටිදුර ධාවන පිටියේ කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත් වන යුපුන්, ශ්‍රී ලංකාව නියෝජනය කරමින් 2013 වසරේ පැවති දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවය සඳහා සහභාගි වීමට වරම් දිනා ගන්නා ලදි.

සිය පාසල් සමයේ සුභද්‍රා ගුරුමෑණියන්ගේ සහ දිනේෂ් බණ්ඩාර ගුරු පියාණන්ගේ මගපෙන්වීම යටතේ පුහුණුවීම් සිදු කළ යුපුන් පසුව චමින්ද සම්පත් මහතා යටතේ පුහුණුවීම් කටයුතු කරමින් දස්කම් දක්වන අතරවාරයේ ඉතාලියෙන් ඔහුට ශිෂ්‍යත්වයක් හිමිවන්නේ 2015 වසරේ දීය.

එම ශිෂ්‍යත්වය සිය ක්‍රීඩා දිවියට ආශීර්වාදයක් කරගන්නට යුපුන් සමත් වන අතර ඉතාලියේ මලල ක්‍රීඩා සංචිතයක් සමඟ සම්බන්ධ වෙමින් සිය ක්‍රීඩා දක්ෂතා තවතවත් මුවහත් කරගන්නට කැපවීමෙන් ඔහු පුහුණුවීම් කටයුතු සිදු කරන්නට විය.

තවත් විශේෂාංග ලිපි:

2015 වසරේ ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායම නියෝජනය කරමින් ලෝක හමුදා ක්‍රීඩා උළෙලේ මීටර් 100 සහය දිවීමේ ඉසව්ව නියෝජනය කරන්නට වරම් දිනා ගත් යුපුන් ඇතුළු කණ්ඩායම එහි දී තත්පර 39.43ක කාලයකින් එම ඉසව්ව අවසන් කරමින් ලෝකඩ පදක්කමක් ලක්මාතාව වෙනුවෙන් දිනා දෙන්නට සමත් විය.

ඉතාලියේ පුහුණුවීම් කාලසීමාව වෙනස් වීම නිසාවෙන් මෙරට තේරීම් තරග කිහිපයක් යුපුන්ට මගහැරී යන නමුත් 2017 වසරේ පැවති ජාතික මහා ක්‍රීඩා උළෙල සඳහා සහභාගි වූ යුපුන් එහි මීටර් 100 ඉසව්ව තත්පර 10.52ක කාලයකින් අවසන් කරමින් එම ඉසව්වේ ජාතික ශූරයා බවට පත්වීමට ද සමත් විය.

එම ජයග්‍රහණයෙන් අනතුරුව නැවත වරක් 2018 වසරේ පැවති ජාතික මලල ක්‍රීඩා සංචිත තේරීම් සඳහා වන තරගවලට සහභාගි වූ යුපුන් එහි දී මීටර් 100 ඉසව්ව තත්පර 10.31ක කාලයකින් අවසන් කරමින් සිය පෞද්ගලික හොඳම කාලය ද වාර්තා කරමින් ජයග්‍රහණය දිනා ගන්නට සමත් විය.

එම දස්කම්වලින් අනතුරුව නැවතත් ඉතාලියේ මලල ක්‍රීඩා සංචිතය සමඟ එක්වෙමින් තම දස්කම් ඉහළ නංවා ගැනීමට කටයුතු කළ යුපුන්, 2019 වසරේ දකුණු ආසියානු ක්‍රීඩා උළෙල සඳහා සුදුස්සන් තෝරාගැනීම වෙනුවෙන් පැවති 97 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතා තරගාවලියට සහභාගි වීම සඳහා මෙරටට පැමිණියේය.

එම තරගාවලියේ දී සිය සුපුරුදු රිද්මයට පැමිණීමට අසමත් වූ යුපුන් තත්පර 10.52ක කාලයකින් ඉසව්ව අවසන් කරමින් තෙවැන්නා බවට පත්වීම නිසාවෙන් දකුණු ආසියානු ක්‍රීඩා උළෙල නියෝජනය කිරීමේ අවස්ථාව ඔහුට අහිමි වී ගිය නමුත් මීටර් 100 සහය දිවීමේ කණ්ඩායම නියෝජනය කරන්නට ඔහු සුදුසුකම් සපුරා ගන්නා ලදි.

යුපුන් අබේකෝන් (වමේ සිට දෙවනුව) 97 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාවය අතරතුර

එම පසුබෑමෙන් දින කිහිපයකට පසුව පැවති 56 වැනි යුද හමුදා මලල ක්‍රීඩා තරගාවලිය සඳහා සහභාගී වූ යුපුන් එහි මීටර් 100 ඉසව්ව තත්පර 10.44ක කාලයකින් අවසන් කරමින් එවකට දකුණු ආසියාවේ වේගවත්ම ක්‍රීඩකයා වූ හිමාෂ ඒෂාන්ව පරාජය කරමින් රන් පදක්කම දිනා ගන්නට සමත් විය.

එම ජයග්‍රහණයෙන් පසුව දිගින් දිගටම සිය රිද්මය නිසි පරිදි පවත්වා ගන්නට සමත් වූ යුපුන්, 2019 දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර් 100X4 සහය දිවීමේ ඉසව්වේ අවසන් කොටස ඉතාමත් වේගවත් ධාවනයකින් අනතුරුව තත්පර 39.14ක කාලයකින් අවසන් කරන්නට සමත් වූයේ වසර 15ක් පැරණි තරගාවලි වාර්තාවක් බිඳ හෙළමින් රන් පදක්කමක් ශ්‍රී ලංකා මාතාව වෙනුවෙන් දිනා දෙමිනි.

2014 දකුණු ආසියානු තරගාවලියේ 100X4 ඉසව්ව අවසන් කරමින්

සාර්ථක වසරකින් අනතුරුව මෙම වසරේ පැවැත්වීමට නියමිතව තිබූ ඔලිම්පික් තරගාවලිය ඉලක්ක කරගනිමින් යුපුන් සිය පුහුණුවීම් කටයුතු සිදු කළත්, ලොව පුරා පැතිර ගිය කොරෝනා වසංගතය නිසාවෙන් මෙම වසරේ දී මලල ක්‍රීඩා පිටියෙන් මදක් ඈත්ව සිටීමට ඔහුට සිදු විය.

කෙසේ නමුත් එම කාල සීමාවේ දී සිය දස්කම් නිසි මට්ටමින් තබා ගැනීමට වෙහෙස වූ යුපුන් නැවත මලල ක්‍රීඩා කටයුතු ආරම්භ වීමෙන් පසුව අගෝස්තු මස 29 වැනිදා ඉතාලියේ Latina හී පැවති පුහුණු තරගයක් අතරතුර දී මීටර් 100 ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනා ගන්නට සමත් විය.

එයින් පසුව සැප්තැම්බර් මස පළමුවැනිදා Rieti හී පැවති තවත් තරගයක දී මීටර් 100 ඉසව්ව තත්පර 10.32ක කාලයකින් ජයග්‍රහණය කිරීමට යුපුන් සමත්වූයේ මෙම වසර තුළ දී මෙරට ක්‍රීඩකයෙකු වාර්තා කළ හොඳම කාලය වාර්තා කරමිනි.

එසේ සාර්ථකව සිය දස්කම් දක්වන පසුබිමක පසුගිය 08 වැනිදා ජර්මනියේ පැවති තරගාවලියකට සහභාගී වූ යුපුන් එහි මීටර් 100 ඉසව්වේ මුල් අදියරේ දී තත්පර 10.23ක කාලයක් වාර්තා කරමින් මුල් අදියර අවසන් කළේ ශ්‍රී ලංකා සහ දකුණු ආසියානු වාර්තාවලට මදක් පිටුපසින් සිටිමිනි.

යුපුන් අබේකෝන් (මැද) දකුණු ආසියානු වාර්තාව පිහිටවූ තරගය ජය ගනිමින්                                                                  Image Courtesy: Imago Images

එම තියුණු අවසානයත් සමඟින් මීටර් 100 අවසාන වටය සඳහා ඉදිරිපත් වූ යුපුන් තත්පර 10.16ක කාලයක් වාර්තා කරමින් රන් පදක්කමක් ශ්‍රී ලංකාවට දිනා දෙන්නට සමත් වූයේ එම ඉසව්ව සඳහා හිමාෂ ඒෂාන් විසින් තබා තිබූ ශ්‍රී ලංකා සහ දකුණු ආසියානු වාර්තාව ද සිය භාරයට නතුකර ගනිමිනි.

මේ වන විට කෙටි දුර ධාවන පිටියේ සාර්ථකව දස්කම් දක්වන යුපුන්, ලබන වසර දක්වා කල් දැමූ ගිම්හාන ඔලිම්පික් උළෙල නියෝජනය කරන්නට හැකියාවක් ඇති ක්‍රීඩකයන් ගොන්නේ ඉහළින්ම සිටින ක්‍රීඩකයෙකු වන අතර මෙවර මීටර් 100 ඉසව්වේ ඔලිම්පික් පරිසාධන මට්ටම වන තත්පර 10.05 ක කාලය අභිබවා යෑමට ඔහුට හැකිවූවහොත් මෙරට කෙටි දුර ධාවන ඉතිහාසයේ පෙරළියක් කරන්නට ඔහු වෙර දරණු ඇති බවට කිසිදු සැකයක් නොමැත. 

දිනෙන් දින සිය දස්කම් ඔප්නංවා ගනිමින් තම තරග නිමි කාලය වැඩි දියුණු කරගන්නා යුපුන් අබේකෝන් හට සිය ඔලිම්පික් සිහිනය කරා යෑමට අවශ්‍ය සියලු ශක්තිය, ධෛර්යය ලැබේවායි ThePapare.com අප සුබ පතන්නෙමු.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<