මැකී ගිය ගෞරවය යළිත් ලබා ගන්නට Euro තරග බිමට පිවිසෙන ඉතාලිය

Euro 2020

370

පසුගිය වසරේ පැවැත්වීමට නියමිතව තිබූ 2020 UEFA යුරෝපා පාපන්දු ශූරතාවලිය (Euro) COVID-19 වසංගත තත්වය හේතුවෙන් කල් දැමීමෙන් අනතුරුව අද (12) ආරම්භ වුනු  අතර එහි දී ප්‍රබල ඉතාලි කණ්ඩායම නවමු ජවයකින් යුතුව තරගාවලියට පිවිසෙමින් පළමු තරගයම ජයග්‍රහණය කරන්නට සමත් විය. 

යුරෝපා පාපන්දු ශූරතාවලි ඉතිහාසය 

Wikipedia

ඉතාලිය යුරෝපා ශූරතාවලියක් සඳහා පළමු වරට සුදුසුකම් ලබා ගත්තේ 1968 වසරේ දී වන අතර එම තරගාවලියේ දීම ඔවුන් එහි ශූරතාවය දිනා ගන්නට සමත් වීම කැපී පෙනෙන්නට විය. ඒ යුගෝස්ලාවියා කණ්ඩායමට එරෙහි අවසන් මහා තරගය ගෝල 1-1ක් ලෙස ජය-පරාජයෙන් තොරව නිමාවට පත්වීමෙන් අනතුරුව පැවති දෙවැනි අවසන් මහා තරගය ගෝල 2-0ක් ලෙස පහසුවෙන් ජයග්‍රහණය කරමිනි.

ඉන් අනතුරුව 2000 සහ 2012 වසර වල පැවති යුරෝපා ශූරතාවලි වල අවසන් මහා තරග සඳහා සුදුසුකම් ලබා ගන්නට ඉතාලිය සමත් වුනත් ඒවා පිළිවෙළින් ප්‍රංශ සහ ස්පාඤ්ඤ කණ්ඩායම් හමුවේ පරාජයට පත්වීමත් සමඟ ඔවුන්ට එම අවස්ථාවන් දෙකේ දී ම තරගාවලියේ අනුශූරතාවයෙන් සෑහීමකට පත්වන්නට සිදු විය. 

මේ දක්වා ගමන්මග 

අවසන් වරට පැවති 2016 යුරෝපා පාපන්දු ශූරතාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ දී ජර්මනියට එරෙහිව පැවති තරගය නියමිත කාලය අවසානයේ ගෝල 1-1ක් ලෙස අවසන් වී අනතුරුව දඬුවම් පහර 5-6ක් ලෙස පරාජයට පත්වීමෙන් පසුව ඉතාලියට තරගාවලියෙන් ඉවත්ව යන්නට සිදු වූ අතර ඒත් සමඟ ම ඔවුන්ගේ ප්‍රධාන පුහුණුකරු Antonio Conte ද සිය ධූරයට සමු දෙන්නට විය. 

අනතුරුව එම ධූරයට පත්වූ Gian Piero Ventura යටතේ ඔවුන් 2018 FIFA පාපන්දු ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගන්නට අසමත් වූයේ පසුගාමී ක්‍රීඩා විලාශයක් ප්‍රදර්ශනය කරමිනි. ඒ 1992 වසරෙන් පසුව ඉතාලිය ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර තරගාවලියකට සුදුසුකම් ලබා ගන්නට අසමත් වූ පළමු අවස්ථාව ලෙස සටහන් විය. 

පසුව Piero එම ධූරයෙන් ඉවත් කිරීමෙන් අනතුරුව කණ්ඩායමේ පුහුණුකාර වගකීම් අත්දැකීම් බහුල ඉතා දක්‍ෂ පුහුණුකරුවෙකු වන Roberto Mancini වෙත පැවරුණු අතර ඔහු ඉතාලි කණ්ඩායම නැවතත් සිය සුපුරුදු දක්‍ෂතා අතරට රැගෙන එන්නට මේ වන විට සමත්ව සිටී. 

මේ වන විට ඔවුන් නැවතත් ලෝක පාපන්දුවේ ප්‍රබලතම කණ්ඩායමක් ලෙස හිස ඔසවමින් සිටින්නේ 2018 සැප්තැම්බර් මාසයේ සිට මේ දක්වා එකඳු තරගයක් හෝ පරාජයට පත්නොවෙමිනි. ඒ අනුව ඔවුන් තරග 27ක් අඛණ්ඩව අපරාජිතව සිටින අතර එහි දී ඔවුන් ගෝල 75ක් වාර්තා කරගෙන තිබෙන්නේ ප්‍රතිවාදීන් හට ගෝල 7ක් පමණක් ලබා දෙමිනි. 

ඔවුන්ගේ මෙම දක්‍ෂතාවයන් යුරෝපා පාපන්දු ශූරතාවලියට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේ දී වඩාත් කැපී පෙනෙන්නට විය. එහි දී ‘J’ කාණ්ඩයෙන් තරග වැදුණු ඔවුන් සහභාගී වූ තරග 10 ම ජයග්‍රහණය කරමින් සම්පූර්ණ වාර්තාවක් ද සමඟින් සිය සුදුසුකම තහවුරු කරගනු ලැබීය. 

ප්‍රබල බෙල්ජියම් කණ්ඩායමට අමතරව සුදුසුකම් ලබා ගැනීමේ වටයේ දී තමන් සහභාගී වූ සියල්ල ජයග්‍රහණය කිරීමට සමත් වූ අනෙක් එකම කණ්ඩායම ඉතාලිය යි. එම තරග 10 තුළ ඉතාලි ක්‍රීඩකයින් ගෝල 37ක සංඛ්‍යාවක් වාර්තා කරගන්නට සමත් වූයේ ප්‍රතිවාදීන් හට ගෝල 4ක් පමණක් ලබා දෙමිනි. 

පසුගිය දා පැවති ජාත්‍යන්තර සුහද තරගවල දී ඉතාලිය ගෝල 7-0ක් ලෙස සැන් මැරීනෝ කණ්ඩායමත්, අනතුරුව ගෝල 4-0ක් ලෙස චෙක් ජනරජ කණ්ඩායමත් පරාජයට පත්කරමින් නැවතත් විශිෂ්ට දක්‍ෂතා දක්වන්නට සමත් විය. 

පුහුණුකරු සහ ක්‍රීඩා ශෛලිය

පාපන්දු සමාජය තුළ ඉතා උපායශීලී කළමනාකරුවෙකු ලෙස නම් දරා සිටින Mancini අනුගමනය කරනු ලබන්නේ පන්දුව තම කණ්ඩායම සතුව වැඩි වේලාවක් තබා ගනිමින් ක්‍රීඩා කරන ක්‍රීඩා ශෛලියකි. එහි දී ඔහු සිය ක්‍රීඩකයින් පිටියේ ඉදිරියට යවමින් ප්‍රතිවාදීන් හට ප්‍රබල පීඩනයක් එල්ල කරන අතරතුර ප්‍රතිවාදීන් ගෝල ලබාගැනීම වැළැක්වීම උදෙසා ඉතා ශක්තිමත් පසුපෙළක් සහිතව තරග මෙහෙයවන සේයාවක් නිරීක්ෂණය කළ හැකිය. 

එමෙන්ම ඔහු තවදුරටත් සිය කණ්ඩායමේ ක්‍රීඩකයින්ගේ දක්‍ෂතා ඉහළ නැංවීම, කණ්ඩායම සඳහා සුදුසු ම සුසංයෝගය සොයා ගැනීම සඳහා නව ක්‍රීඩකයින් යොදා ගනිමින් අත්හදා බැලීම් සිදු කිරීම සහ අඛණ්ඩ උපායශීලී ප්‍රවේශයක් අනුගමනය කිරීමට ද ප්‍රචලිතව සිටින අතර ඔහු ඉතාලි කණ්ඩායම තුළ ද මෙම ක්‍රමවේදයන් භාවිතා කොට ඇත.

Claudio Villa/Getty Images

ඒ අනුව ඉතාලියේ ප්‍රධාන පුහුණුකරු ධූරය දැරූ කාලසීමාව තුළ ඔහු මේ දක්වා ක්‍රීඩකයින් 70ක සංඛ්‍යාවක් කණ්ඩායම තුළ යොදාගෙන ඇත්තේ යුරෝපා ශූරතාවලියට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය තුළ ඔහු යොදාගත් ක්‍රීඩකයින් 40 දෙනා ද ඇතුළත්ව ය. කෙසේ නමුත් මේ වන විට ඔහු ඉතාලි කණ්ඩායමට සුදුසු ම සුසංයෝගය සොයාගෙන ඇති සේයාවක් දිස්වන අතර එය එළඹෙන තරගාවලියේ දී ඔවුන්ට අතිශය වැදගත් වනු ඇත. 

Mancini ඉතාලි කණ්ඩායම සමඟ බොහෝ අවස්ථාවන් හිදී 4-3-3 ක්‍රමවේදයක් යොදාගැන ඇති අතර ඔහු එය එළඹෙන යුරෝපා ශූරතාවලියේ දී යොදා ගනු ඇතැයි අපේක්ෂා කෙරේ. 

ප්‍රබලතාවයන් සහ දුර්වලතාවයන්

ඉතිහාසය පුරාවට පාපන්දු ලෝකය තුළ ඉතාලිය නම් දරා සිටින්නේ ඉතා දක්‍ෂ පසුපෙළ ක්‍රීඩකයින්ට සහ ප්‍රබල ආරක්‍ෂාකාරී ක්‍රීඩා විලාශයකට අදාළව යි. එය වත්මන් ඉතාලි කණ්ඩායම තුළ ද නායක Giorgio Chiellini සහ Leonardo Bonucci තුළින් ඒ ආකාරයට ම අපට දැක ගත හැකිය. 

ඒ අනුව Chiellini-Bonucci දෙපළගේ සුසංයෝගය වත්මන් පාපන්දු ක්‍රීඩාව තුළ සිටින දක්‍ෂත ම centre-back යුගළයක් ලෙස පෙන්වා දිය හැකි අතර ඔවුන් අභිබවමින් ගෝල වාර්තා කිරීම ප්‍රබලත ම ආක්‍රමණශීලී කණ්ඩායම්වලට ද ඉතා විශාල අභියෝගයක් වනු ඇති බව නොඅනුමාන ය.

Squawka News via Twitter

තවදුරටත් Mancini අනුගමනය කරනු ලබන ක්‍රීඩා ශෛලිය ඔස්සේ කණ්ඩායමේ ඕනෑම ක්‍රීඩකයෙකුට ගෝල වාර්තා කිරීමේ හැකියාව සැලසෙන අතර ඒ අනුව ගෝල ලබාගැනීම සඳහා සෑමවිට ම ඔවුන්ට ඔවුන්ගේ ඉදිරිපෙළ ක්‍රීඩකයින් මත යැපීමට සිදු නොවේ. යුරෝපා ශූරතාවලියට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ දී ඔවුන් ලබාගත් ගෝල 37 ක්‍රීඩකයින් 19 දෙනෙකු හරහා වාර්තා වීම ඊට සාක්‍ෂි දරයි. තවදුරටත් ඔවුන් set-piece අවස්ථාවන් ඔස්සේ ගෝල වාර්තා කරගැනීමට ද දක්‍ෂතාවයක් දක්වනු ලබන අතර එය ද ප්‍රතිවාදීන් හට විශාල අභියෝගයක් වනු ඇත. 

තවදුරටත් යුරෝපා ශූරතාවලියේ කාණ්ඩ වටය යටතේ ඔවුන් සහභාගී වන තරග 3ම ඉතාලියේ රෝම අගනගරයේ Stadio Olimpico ක්‍රීඩාංගණයේ පැවැත්වීම ද ඔවුන්ට විශාල වාසියක් වනු ඇත. 

කෙසේ නමුත් ඔවුන්ගේ ඉදිරිපෙළ ක්‍රීඩකයින් අඛණ්ඩව කැපී පෙනෙන දක්‍ෂතා දැක්වීමට අපොහොසත් වීම තරගාවලියේ ඉදිරියට යාමේ දී ඔවුන්ට විශාල අභියෝගයක් වනු ඇත. Ciro Immobile, Lorenzo Insigne සහ Andrea Belotti වැනි ඔවුන්ගේ ප්‍රබල ඉදිරිපෙළ ක්‍රීඩකයින් සිය ක්‍රීඩා සමාජ සමඟ විශිෂ්ට දක්‍ෂතා දක්වන්නට සමත්ව සිටියත් ඔවුන් ජාතික කණ්ඩායම තුළ එම දක්‍ෂතාවයන් ඒ ආකාරයට ම දැක්වීමට මේ දක්වා සමත්ව නොමැත. 

සුදුසුකම් ලබා ගැනීමේ තරග වටයේ දී ඔවුන්ගේ ඉහළ ම ගෝල ලාභියා ලෙස Belotti ඉදිරියෙන් සිටියත් එහි දී ඔහු රැස්කර ගැනීමට සමත් වූයේ ගෝල 4ක් පමණි. ඒ අනුව තරගාවලියේ ඉදිරියට යාමට නම්, විශේෂයෙන් පිළිමළුන් පිටුදැකීමේ තරග වටවල දී ජයග්‍රහණ තහවුරු කරගැනීමට නම් ඉතාලියේ ඉදිරිපෙළ ක්‍රීඩකයින් ඉහළ දක්‍ෂතා දක්වමින් ගෝල අතරට පැමිණීම ඔවුන්ට අතිශය තීරණාත්මක වනු ඇත. 

තවත් කියවන්න;

තවදුරටත් ඔවුන්ගේ කාණ්ඩය ද තරමක් තරගකාරී කාණ්ඩයක් ලෙස හඳුනා ගත හැක්කේ එහි සිටින අනෙක් කණ්ඩායම් වන ස්විස්ටර්ලන්තය, තුර්කිය මෙන්ම වේල්සය ද ඉතා දක්ෂ කණ්ඩායම් වීම සහ ඔවුන්ගේ දිනයේ දී ඔවුන් ඕනෑම කණ්ඩායමක් හට ප්‍රබල අභියෝගයක් එල්ල කිරීමට දක්වන හැකියාව හේතුවෙනි. 

එමෙන්ම ඔවුන්ගේ මැදපෙළ ප්‍රධාන ක්‍රීඩක Marco Verratti ගේ ආබාධ තත්වය ද ඔවුන්ට ගැටලුවක් වනු ඇති බව නොඅනුමාන ය. Manciniගේ පද්ධතිය තුළ Verrati හට විශාල කාර්යභාරයක් පැවරෙන අතර ඒ අනුව ඔහු සිය ආබාධිත තත්වයෙන් මිදී සුපුරුදු දක්‍ෂතා අතර සිටීම ඔවුන්ට වැදගත් වනු ඇත. 

වැදගත් ම සහ නැඟී එන ක්‍රීඩකයින්

Immobile යුරෝපා ශූරතාවලියට පිවිසෙන්නේ සිය Lazio ක්‍රීඩා සමාජය සමඟ ඉතා විශිෂ්ට දක්‍ෂතා දැක්වූ තරග වාර දෙකකින් අනතුරුව ය. ඒ අනුව ඔහු 2019-20 තරග වාරයේ දී ගෝල 36ක් වාර්තා කරගනිමින් යුරෝපා රන් සපත්තුව දිනා ගැනීමට සමත් වෙද්දී පසුගිය තරග වාරයේ දී තවත් ගෝල 20ක් වාර්තා කරගනිමින් කැපී පෙනෙන දක්‍ෂතා දක්වන්නට සමත් විය. 

ඒ අනුව ඔහු මේ දක්වා ඉතාලි ජාතික කණ්ඩායම සමඟ එවන් කැපී පෙනෙන දක්‍ෂතා දක්වන්නට සමත්ව නැතත් ඔහු ගෝල අතරට පැමිණෙමින් ඉහළ දක්‍ෂතා දැක්වීම ඉදිරි තරගාවලියේ දී ඔවුන්ට අතිශය වැදගත් වේ.

UEFA/UEFA via Getty Images

තවදුරටත් Bonucciගේ දායකත්වය ඔවුන්ට ආරක්‍ෂාකාරී පැතිකඩ තුළ පමණක් නොව ඔවුන් ඉදිරියට යාමේ දී තීරණාත්මක වේ. ඔහු ඉතා දක්ෂ ලෙස පන්දුව හුවමාරු කිරීමට සුවිශේෂී හැකියාවක් දක්වනු ලබන අතර සුදුසුකම් ලබා ගැනීමේ තරග වටයේ දී ඔහු ගෝල වාර්තා කිරීමට පන්දු පිරිනැමීම් 3ක් ද සිය නම ඉදිරියේ සටහන් කරගන්නට සමත් විය. තවදුරටත් මෙවර UEFA Champions League ශූරතාවය ජයග්‍රහණය කළ Chelsea කණ්ඩායම වෙනුවෙන් ඉහළ දක්‍ෂතා දැක්වූ Jorginho ද තරගාවලිය පුරාවට ඔවුන්ට වැදගත් ක්‍රීඩකයෙකු වන බව නොඅනුමාන ය. 

නැඟී එන ක්‍රීඩකයින් ලෙස ඔවුන්ගේ තරුණ මැදපෙළ ක්‍රීඩකයින් දෙපළක් වන Manuel Locatelli සහ Nicolo Barella තරගාවලිය තුළ කැපී පෙනෙන දක්‍ෂතා දක්වනු ඇතැයි අපේක්ෂා කෙරේ. 

සංචිතය 

  • ගෝල රකින්නන්: Gianluigi Donnarumma, Alex Meret (Napoli), Salvatore Sirigu (Torino)
  • පසුපෙළ ක්‍රීඩකයින්: Francesco Acerbi (Lazio), Alessandro Bastoni (Inter), Leonardo Bonucci (Juventus), Giorgio Chiellini (Juventus), Giovanni Di Lorenzo (Napoli), Emerson Palmieri (Chelsea), Alessandro Florenzi (Paris), Leonardo Spinazzola (Roma), Rafael Toloi (Atalanta)
  • මැදපෙළ ක්‍රීඩකයින්: Nicolò Barella (Inter), Bryan Cristante (Roma), Jorginho (Chelsea), Manuel Locatelli (Sassuolo), Lorenzo Pellegrini (Roma), Stefano Sensi (Inter), Marco Verratti (Paris)
  • ඉදිරිපෙළ ක්‍රීඩකයින්: Andrea Belotti (Torino), Domenico Berardi (Sassuolo), Federico Bernardeschi (Juventus), Federico Chiesa (Juventus), Ciro Immobile (Lazio), Lorenzo Insigne (Napoli), Giacomo Raspadori (Sassuolo)

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<