ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකානු සංචාරයට විනිසුරුවන් නම් කෙරේ

761

සංචාරක දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම හා ශ්‍රී ලංකාව අතර පැවැත්වීමට නියමිත එක්දින හා විස්සයි විස්ස තරගාවලිය සඳහා එක්වන ICC තරග නිලධාරීන් නම් කර තිබෙනවා.

ICC තරග තීරකවරුන්ගේ ප්‍රධානියා වන රන්ජන් මඩුගල්ලේ දකුණු අප්‍රිකාවට එරෙහි එක්දින හා විස්සයි විස්ස තරගාවලිවල තරග තීරක ලෙස කටයුතු කිරීමට නියමිතයි. ඔහු ICC Elite මණ්ඩලයේ ද සාමාජිකයෙක් වීම විශේෂත්වයක්.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින්, ICC Elite විනිසුරු මඩුල්ලේ සිටින කුමාර් ධර්මසේන ද මෙම තරගාවලියේ දී තරග විනිසුරුවරයෙකු ලෙස කටයුතු කිරීමට නියමිතයි. ඔහු නිමා වුන එංගලන්ත හා ඉන්දියානු සංචාරවල දී ද තරග විනිසුරුවරයෙකු ලෙස කටයුතු කළා. 

ධර්මසේනගේ සහයට රුචිර පල්ලියගුරුගේ ද දකුණු අප්‍රිකානු සංචාරයට විනිසුරුවරයෙකු ලෙස නම් කර තිබෙන අතර ඔහු ද ICC අන්තර්ජාතික විනිසුරුවරුන්ගේ මණ්ඩලයේ ( ICC International Panel) සාමාජිකයෙක්.

රවින්ද්‍ර විමලසිරි, ලින්ඩන් හැනිබෙල් හා ප්‍රගීත් රඹුක්වැල්ල තරගාවලියට නම් කළ අනෙක් ICC තරග විනිසුරුවරුන්. ඔවුන් තිදෙනා ද ICC අන්තර්ජාතික තරග විනිසුරුවරුන්ගේ මණ්ඩලයේ සාමාජිකයින්.

ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර විස්සයි විස්ස හා එක්දින තරගාවලිය එළඹෙන සැප්තැම්බර් 2 වැනිදා ආරම්භ වීමට නියමිතයි. එක්දින තරගාවලියේ තරග 3 සැප්තැම්බර් 2, 4 හා 7 දිනවල පැවැත්වෙන අතර විස්සයි විස්ස තරගාවලිය සැප්තැම්බර් 10, 12 හා 14 දිනවල කොළඹ ආර් ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<