Home Sinhala අසේලගේ හයේ පහර මහනුවර දිනවයි

අසේලගේ හයේ පහර මහනුවර දිනවයි

ලංකා ප්‍රිමියර් ලීගය 2020 – Coverage powered by My Cola

475

ප්‍රසාද ලකුණු පුවරුවේ පළමුවැනියා වූ Jaffna stallions සහ අවසානයා වූ Kandy tuskers අතර අද (09) පැවති තරගාවලියේ 16 වැනි තරගයෙන් කඩුලු 6ක ජයග්‍රහණයක් ලබා ගැනීමට මහනුවර ක්‍රීඩකයෝ සමත් වූහ. ඒ අනුව ඔවුන් නැවත ප්‍රසාද ලකුණු පුවරුවේ සිව්වැනි තැනට පැමිණීමට සමත් විය. 

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් යාපනය ක්‍රීඩකයෝ ඉනිමේ අවසන් පන්දුව දක්වා ක්‍රීඩා කරමින් සියලුම දෙනා දැවී ලකුණු 150ක් ලබා ගත් අතර පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි මහනුවර ක්‍රීඩකයෝ කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 151ක් ලබා ගත්තේ තවත් පන්දු 5ක් ඉතිරිව තිබිය දී ය.

කණ්ඩායම් දෙක අතර මීට පෙර පැවති තරගයේ ප්‍රතිඵලය වූයේ ලකුණු 54ක ජයග්‍රහණයක් යාපනය ක්‍රීඩකයන් සතු වෙමිනි.

මෙම තරගයේ දී මහනුවර වෙනුවෙන් පෙර තරගයට ක්‍රීඩා කළ ලසිත් ඇඹුල්දෙණිය සහ ඉන්දියාවේ Munaf Patel වෙනුවට සීක්කුගේ ප්‍රසන්න සහ දකුණු අප්‍රිකාවේ Dale Steyn කැඳවා තිබූ අතර යාපනය කණ්ඩායම කිසිදු වෙනස්කමකින් තොරව තරගයට අවතීර්ණ විය.

>> තරගයේ ඡායාරූප ඇල්බමය <<

හම්බන්තොට අහසේ ඉහළ ගිය කාසිය බිම පතිත වූයේ යාපනය නායකයාට ජයග්‍රහණය හිමිකර දෙමිනි. ඒ අනුව ඔහු පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව තම කණ්ඩායම සතු කර ගත්තේය. නමුත් ඉනිම ආරම්භ කිරීමට පිටියට පිවිසි අවිශ්ක ප්‍රනාන්දු (0) සහ Jhonson Charles අතර සබඳතාව පන්දු 2කට පමණක් සීමා කිරීමට තරගාවලියේ තම පළමු තරගයට සහභාගී වූ දකුණු අප්‍රිකාවේ Dale Steyn සමත් විය.

අනතුරුව පිටියට පිවිසියේ චරිත් අසලංක ය. තරගාවලියේ පළමු වරට පන්දුවට පහර දීමට වරම් ලැබූ චරිත් පිටියට පිවිස තමන් මුහුණ දුන් සිව්වැනි පන්දුවේ දී ලකුණු ලබා ගැනීම ආරම්භ කළේ දැවැන්ත හයේ පහරක් එල්ල කරමිනි. නමුත් ඔහුගේ ඉනිමට ද වැඩි ආයුෂ තිබුණේ නැත. විශ්ව ප්‍රනාන්දුගේ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවෙමින් චරිත් දැවී යන විට පන්දු 10ක දී හතරේ පහරක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු18ක් ලබා සිටියේය.

ආරම්භක පිතිකරු Jhonson Charles ද ලකුණු 17කට දැවි ගියේය. ඉන් අනතුරුව යාපනය ඉනිමේ ලකුණු 50 වාර්තා වූ අතර ඒ වෙනුවෙන් ඔවුන් පන්දු 34ක් වැය කර තිබුණි. Shoaib Malik සහ මිනෝද් භානුක සිව්වැනි කඩුල්ලේ දී ඉනිමේ හොඳම ලකුණු සබඳතාව වාර්තා කරමින් ලකුණු 53ක් එක් කළේ ඉනිමේ ශතක ලකුණ ද ඔවුන් විසින් වාර්තා කරමිනි.

භානුක සිව්වැනි කඩුල්ලේ සබඳතාව නිමා කරමින් අසේල ගුණරත්නගේ පන්දුවකට දැවී ගියේ කුසල් මෙන්ඩිස් අතට උඩ පන්දුවක් ලබා දෙමිනි. ඒ වෙද්දී ඔහු පන්දු 23කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 21ක් ලබා සිටියේය. ඉන් අනතුරුව පිටියට පිවිසි නායක තිසර පෙරේරාට ද වැඩි වේලාවක් පිටියේ රැඳී සිටීමට අසේල ඉඩ දුන්නේ නැත. එම පන්දුවාරයේ ම අවසන් පන්දුවේ දී තිසරගේ ඉනිම අවසන් වූයේ තමන් මුහුණ දුන් දෙවැනි පන්දුවේ දී ය. ඒ අනුව ඉනිමේ 5 වැනි කඩුල්ල දැවී යන විට ප්‍රබල යාපනය ලකුණු පුවරුව කියැවුණේ පන්දුවාර 14කට ලකුණු 104ක් ලෙසිනි.

ඊට පසුව යැවුණ පන්දු 12ක් තුළ ලකුණු 15ක් ලබා දෙමින් තවත් කඩුලු 2ක් දවා ගැනීමට මහනුවර ක්‍රීඩකයෝ සමත් වූහ. එවර පරාජය වූයේ වනිඳු හසරංග (2) සහ සුරංග ලක්මාල් (5) ය.

තරගාවලියේ තම පළමු අර්ධ ශතකය 38 වැනි පන්දුවේ දී වාර්තා කළ Shoaib Malik යාපනය ඉනිමේ වැඩිම ලකුණුලාභියා වෙමින් දැවී යන විට පන්දු 44කට මුහුණ දී හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 59ක් ලබා සිටියේය. ඉන් අනතුරුව ක්‍රීඩකයෝ පන්දු 13ක් තුළ රැස් කළේ ලකුණු 18ක් පමණි. ඉන් ලකුණු 11ක් ම Usman Shinwari සතු විය.

කඩුලු ලබා ගැනීමේ දී  නුවන් ප්‍රදීප් කඩුලු 3ක් දවා ගත් අතර Dale Steyn, විශ්ව ප්‍රනාන්දු සහ අසේල ගුණරත්න කඩුලු 2 බැගින් දවා ගත්හ.

LPL තතුවිත්ති:

ලකුණු 151ක හඹා යන මහනුවර ඉනිමේ පිටියට පිවිසියේ Rahmanulla Gurbaz (8) සහ නායක කුසල් පෙරේරා ය. ඔවුන් දෙදෙනා අතර සබඳතාව පන්දු 11කින් නිමා වෙද්දී ලකුණු පුවරුව තිබුණේ 19ය. ඉන්පසුව තරගාවලියේ තම කණ්ඩායමේ වැඩිම ලකුණුලාභීයා වි සිටි කුසල් මෙන්ඩිස් ලකුණු 2කට දැවි යන විට එය නතර වී තිබුණේ ලකුණු 31ය.

මේ අසීරු අවස්ථාවේම Brendon Taylor ද ලකුණු 11කට තම ඉනිම හැර ගියේය. ඒ වෙද්දී ඔවුන්ට ජයග්‍රහණය වෙනුවෙන් තවත් ලකුණු 107ක් අවශ්‍යව තිබූ අතර ඉතිරිව තිබුණේ කඩුලු 6ක් සහ පන්දු 84ක් පමණි. මේ වෙද්දී පිටියේ රැඳී සිටි කුසල් පෙරේරා තම සහායකයා වූ අසේල ගුණරත්න ද දණ්ඩනය කර ගනිමින් තම ඉනිම බිඳෙන් බිඳ ගොඩ නැගීමට පෙරමුණ ගත්හ. ඔවුන් දෙදෙනා සිව්වැනි කඩුල්ලට පන්දු 42ක දී ලකුණු 50ක සබඳතාවක් ගොඩ නගමින් ප්‍රතිවාදීන්ගේ ග්‍රහණයෙන් තරමක් දුරට ලිහිල් වීමට සමත් වූහ.

නමුත් ඔවුන්ගේ සබඳතාවට තවත් ලකුණක් පමණක් එක් වෙද්දී කුසල් පෙරේරාට තම ඉනිම හැර යන්නට විය. ඒ කඩුල්ල පිටුපසට ඇදී ගිය වනිඳු හසරංගගේ පන්දුවකට එල්ල කළ පහරක් කඩුලු රකින ක්‍රීඩක Jhonson Charles රැක ගැනීමත් සමඟිනි. සංයමයෙන් යුත් ඔහුගේ ඉනිම පන්දු 36කින් සමන්විත වූ අතර එහි ඇතුළත් වූයේ හතරේ පහර 4ක් පමණි.

වනිඳු මහනුවර ක්‍රීඩකයන්ගේ ලකුණු පුවරුව මන්දගාමී කිරීමේ පුරෝගාමියා වෙමින් වේලාසනින් ම තම පන්දුවාර 4 අවසන් කළේ ලකුණු 23කට කඩුලු 2ක් ද දවා ගනිමිනි. නමුත් ඊට පසුව යැවුන පන්දුවාරවල දී සියලු ග්‍රහණයන් බිඳ දමමින් තරගයේ පාලනය සියතට ගැනීමට අසේල සහ  Irfan Pathan සමත් වූහ.

අවසන් පන්දු 12 දී ඔවුන්ට ජයග්‍රහණය සඳහා අවශ්‍ය වූයේ ලකුණු 17ක් පමණි.  Usman Shinwari යැවුණ 19 වැනි පන්දුවාරයේ 2 වැනි පන්දුවේ දී අසේලගේ පහරකට දිව ගිය ලකුණකට අමතරව ලද තවත් සහනාධාර ලකුණු 4ක් ද සමඟින් එකතු වූ ලකුණු 5 එම ඉලක්කය තවත් පහසු කළේය.

තරගයේ අවසන් පන්දු වාරය වෙද්දී ඔවුන්ගේ ජයග්‍රාහී ඉලක්කය පන්දු 6කින් ලකුණු 6කි. එවනු ලැබූ පළමු පන්දුවට අසේල විසින් එල්ල කරන ලද හයේ පහරකින් තරගයේ ජයග්‍රහණය මහනුවර ක්‍රීඩකයන් සතු වූයේ අසේලගේ මෙම තරගාවලියේ මංගල අර්ධ ශතකය ද වාර්තා වීමෙනි. තරගයේ වීරයා ද ඔහු තරගය නිමා වන විට පන්දු 37කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 52ක් ලබා සිටියේය. ඔහුට අමතරව Irfan Pathan පන්දු 19ක දී හතරේ පහර 4ක් සමඟින් නොදැවි ලකුණු 25ක් ලබා සිටියේය.

අද තරගයේ දී මහනුවර ක්‍රීඩකයන්ගේ අභිප්‍රාය වී තිබුණේ කෙසේ හෝ ප්‍රසාද ලකුණු පුවරුවේ පියවරක් ඉදිරියට තැබීම ය. ඒ කොළඹ ක්‍රීඩකයන් හා පැවති තරගයේ දී ගාලු ක්‍රීඩකයෝ ලත් ජයග්‍රහණය හේතුවෙන් ඔවුන් මහනුවර ක්‍රීඩකයන්ට වඩා ඉහළට පැමිණීම හේතුවෙනි. නමුත් ඔවුන්ට සිදු වූයේ තම ස්ථානයේ ම තවදුරටත් රැඳී සිටීමට ය.

මේ වන විට මෙම කණ්ඩායම් දෙක තරග අවසන් කළ ආකාරය සහ ලබා සිටින ස්ථානය

Team M W L NR PT Place
Jaffna Stallions 7 4 2 1 9 1
Kandy Tuskers 7 2 5 0 2 4

Result


Kandy Falcons
151/4 (19.1)

Jaffna Kings
150/10 (20)

Batsmen R B 4s 6s SR
Avishka Fernando c Kusal Janith b Dale Steyn 0 2 0 0 0.00
Johnson Charles c Dale Steyn b Nuwan Pradeep 17 13 4 0 130.77
Charith Asalanka lbw b Vishwa Fernando 18 10 1 2 180.00
Shoaib Malik c Rahmanullah Gurbaz b Nuwan Pradeep 59 44 5 1 134.09
Minod Bhanuka c Kusal Mendis b Asela Gunarathne 21 22 1 0 95.45
Thisara Perera c Dilruwan Perera b Asela Gunarathne 1 2 0 0 50.00
Wanindu Hasaranga c Kusal Janith b Dale Steyn 2 3 0 0 66.67
Suranga Lakmal run out () 5 3 1 0 166.67
Usman Shinwari c Nuwan Pradeep b Vishwa Fernando 11 10 2 0 110.00
Vijayakanth Viyaskanth b Nuwan Pradeep 8 7 1 0 114.29
Duanne Olivier not out 4 4 0 0 100.00


Extras 4 (b 0 , lb 1 , nb 0, w 3, pen 0)
Total 150/10 (20 Overs, RR: 7.5)
Bowling O M R W Econ
Dale Steyn 4 0 33 2 8.25
Vishwa Fernando 4 0 29 2 7.25
Nuwan Pradeep 4 0 36 3 9.00
Asela Gunarathne 4 0 21 2 5.25
Dilruwan Perera 3 0 21 0 7.00
Seekkuge Prasanna 1 0 9 0 9.00


Batsmen R B 4s 6s SR
Rahmanullah Gurbaz c Shoaib Malik b Suranga Lakmal 8 8 2 0 100.00
Kusal Janith c Johnson Charles b Wanindu Hasaranga 42 36 4 0 116.67
Kusal Mendis c Wanindu Hasaranga b Duanne Olivier 2 8 0 0 25.00
Brendon Taylor st Johnson Charles b Wanindu Hasaranga 11 7 1 1 157.14
Asela Gunarathne not out 52 37 5 1 140.54
Irfan Pathan not out 25 19 4 0 131.58


Extras 11 (b 0 , lb 3 , nb 0, w 8, pen 0)
Total 151/4 (19.1 Overs, RR: 7.88)
Did not bat Dilruwan Perera, Seekkuge Prasanna, Vishwa Fernando, Nuwan Pradeep, Dale Steyn,

Bowling O M R W Econ
Usman Shinwari 4 0 35 0 8.75
Suranga Lakmal 2 0 18 1 9.00
Duanne Olivier 3.1 0 24 1 7.74
Wanindu Hasaranga 4 0 23 2 5.75
Thisara Perera 3 0 20 0 6.67
Vijayakanth Viyaskanth 2 0 18 0 9.00
Shoaib Malik 1 0 10 0 10.00



තරගාවලියේ 17 වැනි තරගය ලෙසින් අද (09) රාත්‍රී 8.00ට Dambulla Viiking සහ Galle Gladiators කණ්ඩායම් අතර තරගය පැවැත්වීමට නියමිතය.

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සියලු තොරතුරු My Cola අනුග්‍රාහකත්වය යටතේ ThePapare.com හරහා ඔබ වෙත ගෙන ඒමට සූදානම්, රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<