පළමුව කටින්, දෙවනුව අතින්

296

බොක්සිං ක්‍රීඩාවේ දී පහර දෙන්නේ අත්වලින් විතරක් ම නෙවෙයි, තරග ආරම්භ වෙන්න කලින්, තරග අතරමැද වගේම තරග අවසන් වුනායින් පසුවත් වචන වලින් පහර දෙන ක්‍රීඩකයෝ බොක්සිං ක්‍රීඩාවේ බහුලව ඉන්නවා.

මේ වචන හරඹවලට කියන්නේ Trash Talks කියලා. ක්‍රිකට්වල දී අපි මේ වගේ වචන වලින් දමා ගසන සිදුවීම් Sledging විදිහටත් හඳුන්වනවා.

ඉංග්‍රීසි වචනේ වෙනස් වුනාට වෙන්නේ එකම දෙයක්, මේ Trash Talks/Sledging වලින් පුළුවන් තමන්ගේ ප්‍රතිවාදියා තරගය අතරතුර වගේම, තරගයට පෙර සිට ම වුනත් දුර්වල කරලා දාන්න.

නමුත් ශරීර ශක්තිය බහුලව මැන බැලෙන ක්‍රීඩාවක් වන බොක්සිං වගේ ක්‍රීඩාවක දී ඇහෙන Trash Talks ඒ තරම් ම සුමට ඒවා නම් නෙවෙයි.

ඉතිහාසය පුරා බොක්සිං ක්‍රීඩකයින් විසින් සිදු කළ ලෝ ප්‍රකට Trash Talks* කිහිපයක් පහතින් දැක්වෙනවා.

*. විටෙක මෙවැනි වදන් උපහාසාත්මක භාවයෙන් එපිටට පවා ගොස් වාචික අපහාස තත්වයට වැටී ඇති බව කරුණාවෙන් සලකන්න.

Jack Johnson

“Galveston Giant” යන අන්වර්ථ නාමයෙන් හඳුන්වලා දෙන ලොව ප්‍රථම කළු ජාතික හෙවිවේට් බොක්සිං ශූරයා වන Jack Johnson විසින් ඔහුගේ බොක්සිං දක්ෂතාවන් නිසා වගේම මුඛරි කට නිසාත් සැලකිය යුතු තරම් ප්‍රසිද්ධියක් උපයා ගන්න සමත් වුනා.

ඔහු වරක අධික වේගයෙන් රිය පැදවූ බවට චෝදනා කරමින් පොලිස් නිලධාරියෙකු විසින් ඩොලර් 50ක දඩයක් නියම කළ අවස්ථාවක ඩොලර් 100ක මුදලක් ලබා දී ඉතුරු මුදල (ඉතිරි ඩොලර් 50) තබා ගන්නැයි පොලිස් නිලධාරියාට පවසා තිබෙනවා. ඔහු ඒ එක්කම ඒකට හේතුවත් මෙහෙම කියනවා.

“මොකද මම ආයෙත් එද්දී මේ වේගයෙන් ම තමයි එන්නේ.”

1908 වර්ෂයේ දී Jack Johnson සහ Tommy Burns (Tommy කියන්නෙත් බොක්සිං වල දැවැන්ත චරිතයක්) අතර තරගයක් පැවැත්වෙනවා.

මේ තරගය පුරාවටම Johnson විසින් Burnsව උපහාසයට ගන්නවා.

“අහිංසක පුංචි Tommy, ඔබ සටන්කරුවෙක් කියලා කවුද ඔබට කිව්වේ?

තරගය සම්පූර්ණයෙන්ම Johnsonගේ යටතට පත්ව තිබූ නිසා Tommyගේ පහරක් Johnson වෙත එල්ල වුනේ ද අතරින් පතරයි. එවන් අවස්ථාවක නැවත Tommy ඇමතුව Johnson මෙහෙම ප්‍රශ්නයක් අහනවා.

“අහිංසක Tommy, කවුද ඔයාට මෙහෙම පහර එල්ල කරන්න කියලා දුන්නේ?”

(මෙහි දී ඔහු විසින් Tommyගේ මව ද මෙම ප්‍රකාශයට ඈඳා ගනිමින් වාග් ප්‍රහාර එල්ල කිරීම සිදු කර තිබෙනවා.)

මේ තරගයේ දී Jhonsonගෙන් බැට කන Tommy Burns කියන්නේ සුදු ජාතිකයෙක්. පසු කාලයක දී Randy Roberts කියන කතුවරයා විසින් ලියන Papa Jack කියන පොතේ අපේ කතානායක Jack Jhonson විසින් මේ සුදු ජාතික ආධිපත්‍යයට එල්ල කර පහර ගැන ලියන්නේ මේ විදිහට.

ඔහු භෞතිකව මෙන්ම වාචිකවත් සුදු ජාතිකයාගේ මිථ්‍යාව විනාශ කළේය.

Willie Pep

Willie Pep කියන්නේ හෙවිවේට් ශූරයෙක් නම් නෙවෙයි, ඔහු ලොව පුරා ප්‍රසිද්ධ වෙන්නේ ෆෙදර්වේට් බොක්සිං ශූරයෙක් විදිහට. තරග 241ක් ක්‍රීඩා කරමින් ඉන් තරග 229ක් ජයග්‍රහණය කරන්න සමත් වුන Pep මෙම ජයග්‍රහණය 229න් 65ක්ම ජයග්‍රහණය කරන්නේ සිය ප්‍රතිවාදියා බොක්සිං වලල්ල තුළ සහමුලින්ම බිඳ හෙළීමට (Knok-Out කිරීමට) සමත් වෙමින්.

Willie ක්‍රීඩාවෙන් සමුගැනීමෙන් පසුව ඔහු සමඟ ක්‍රීඩා කරපු තවත් ප්‍රතිවාදියෙක් ඔහු හමුවට ඇවිත් අහනවා “මාව අඳුර ගන්න පුළුවන් ද” කියලා.

Pep මේ වෙලාවේ ලස්සන උත්තරයක් දෙනවා.

“ඔබ බිම වැතිරුනොත් නම් මට ඔබව අඳුර ගන්න පුළුවන් වේවි.”

David Haye

David Haye කියන්නෙත් මෑත කාලීන ව බොක්සිං ලෝකයේ නම රඳවපු හෙවිවේට් ශූරයෙක්. නමුත් ඔහු මුලින් ම පටන් ගන්නේ Cruiserweight* බර පන්‍තියෙන්.

*.Cruiserweight බර පන්තිය Lite Heavyweight බර පන්තිය ලෙසත් හඳුන්වනවා. මෙය light heavyweight සහ heavyweight අතර බර පන්තිය ලෙසත් හඳුන්වා දෙන්න පුළුවන්.

2005-2007 කාලය තුළ Cruiserweight බර පන්තියේ ලොව අංක එකේ ක්‍රීඩකයා ලෙස හිටපු Haye 2008 වසරේ දී Heavyweight බර පන්තිය වෙත ඇතුළත් වෙනවා.

Haye විසින් Heavyweight බර පන්තියට ඇතුළත් වුනායින් පසුව 2009 වසරේ දී තවත් බොක්සිං ශූරයෙක් වුන Nikolai Valuev සමඟ සටනකට සූදානම් වෙනවා.

මෙවර Hayeගේ ප්‍රතිවාදියා වුන Nikolai ඔහුට (Hayeට) වඩා අඟල් 9ක් උසින් සහ රාත්තල් 99ක් බරින් වැඩි ක්‍රීඩකයෙක් වීම මේ සටනට විශේෂ අවධානයක් යොමු වෙන්න හේතු වුනා.

අඩි හතක් පමණ උස මේ දැවැන්ත Nikolaiට බොක්සිං වලල්ලේ දී අභියෝග කරන්නත් කලින් තමන්ගේ වචන වලින් පහර දීලා ම මේ සටන ආරම්භ කරන්න Haye විසින් බුද්ධිමත් උත්සාහයක් ගන්නවා.

“ඔහු තමයි මා මෙතෙක් දැකලා තියෙන කැතම දෙය. මම Lords of the Rings සහ අමුතු පෙනුම සහිත මිනිස්සු ඉන්න චිත්‍රපටි බලලා තියෙනවා. නමුත් ඔහු වගේ පෙනුමක් තියෙන මිනිසෙකු දැකීම ලොකු කම්පනයක්.”

Haye විසින් මේ විදිහේ දරුණු වාචික ප්‍රහාරයක් එක්ක Nikolai සමඟ බොක්සිං වලල්ලට පිවිසෙමින් ඒ තරගය ජයග්‍රහණය කරන්නත් සමත් වෙනවා.

Mike Tyson සහ Lennox Lewis

Mike Tyson එහෙම නැත්නම් හැමෝම කියනවා වගේ “යකඩ මයික්” බහුතරයක් දෙනාට මතක Evander Holyfieldගේ කන සපා කෑ පුද්ගලයා විදිහට. හැබැයි ඊට පසු කාලෙක දී තවත් ප්‍රසිද්ධ බොක්සිං ශූරයෙක් වුන Lennox Lewisගේ කකුලක් සපා කෑම නිසාත් Tysonට දඩ ගෙවන්න සිදු වුනා.

Mike කියන්නෙත් බොක්සිං වලල්ල ඇතුළ වගේම පිටත දීත් බොහෝම දරඳඩු විදිහට හැසිරුණු ක්‍රීඩකයෙක්. ඒ නිසාම ඔහු සිදු කළ සමහර ප්‍රකාශ සහ ක්‍රියාවල සදාචාරාත්මක බව ගැන නම් ඉතිරි වෙන්නේ ගැටලුවක් විතරයි.

Lennox Lewis සහ Mike Tyson අතර බොක්සිං තරගයක් පවත්වන්න සැලසුම් කෙරෙන්නේ 2002 වසරේ අප්‍රේල් 06 වැනිදා. නමුත් මේ තරගයට පෙර ප්‍රතිවාදීන් මුණ ගැසෙන සම්මුඛ සාකච්ඡාවේ දී Mike Tyson විසින් Lewisට පහර දෙනවා.

Lewis වේදිකාවට අවතීර්ණ වෙනවාත් එක්කම ඔහු දෙසට යන Tyson තමන්ගේ සුපුරුදු මුෂ්ටි ප්‍රහාර Lewis වෙතට එල්ල කරන්න පටන් ගන්නවා. අවසානයේ මොවුන් දෙදෙනා බිම පෙරළෙමින් පොර බදින්න පටන් ගන්නවා.

මේ සටන නිමා වීමෙන් පසුව දැන ගන්න ලැබෙනවා Tyson විසින් Lewisට අතින් පයින් පහර දීලා විතරක් නෙවෙයි, Lewisගේ කකුලත් හපා කාලා කියලා. මේ නිසා අවසානයේ දී Tysonට සිදු වෙනවා ඩොලර් 360,000ක දඩයකුත් Lewisට ගෙවන්න.

මේ අනපේක්ෂිත සටන නිසා නිල බොක්සිං සටන ටික කාලයකට පස්සට යනවා. නමුත් කොහොම හරි නැවත සටනට දින නියම වුනාම Mike තමන්ගේ වචන හරඹය පටන් ගන්නේ මේ විදිහට.

“Lennox Lewis මම උඹ වෙනුවෙන් එනවා. මගේ ශෛලිය ආවේගශීලීයි. මගේ ආරක්ෂාව අපරාජිතයි. මම දරුණුයි. මට උඹේ හදවත ඕන. මට ඔහුගේ දරුවන් ව කන්න ඕන.”

නමුත් Tysonගේ මෙම අශීලාචාර කතාවට ශීලාචාර ලෙස පිළිතුරු සපයන්න තරම් Lennox Lewis ඉවසිලිවන්ත වෙනවා.

“මම කොහොමටවත් Mike Tysonට බය නැහැ. මම තමයි ආහාර දාමයේ ඉහළින් ම ඉන්න කෙනා.

ඔහු මාව වට්ටන්න හදනවා. ඔහු අහංකාර චරිතයක්. ඔහු කාටූන් චරිතයක් වගේ.”

Lennox Lewis විසින් Tysonට වචන වලින් විතරක් ම නෙවෙයි පිළිතුරු දුන්නේ. ඔහු බොක්සිං වලල්ල තුළ දීත් Tysonව නිරුත්තර කරන්නේ තරග වට අටක් තුළ ඔහුව Knock-Out කරවමින්.

Henry Cooper

බ්‍රිතාන්‍යයෙන් බිහි වුනු තවත් දක්ෂ බොක්සිං ශූරයෙක් තමයි Henry Cooper කියන්නේ.

Baroness Summerskill කියන්නේ බොක්සිං කියන්නේ ම්ලේච්ඡත්වය පිරුණු ක්‍රීඩාවක් බව සඳහන් කරමින් ඊට එරෙහිව හඬ නැඟූ සමාජ ක්‍රියාකාරිණියක්.

මොවුන් දෙදෙනා වරක බොක්සිං ගැන කතාබහක නිරත වෙනවා.

Baroness: මිස්ටර් කූපර්, ඔබ මෑතක දී කැඩපතකින් ඔබේ මුහුණ බැලුවා ද, ඔබේ නහයේ තත්වයට දැක්ක ද?

Cooper: මැඩම්, ඔබ කැඩපතකින් මුහුණ බලද්දී ඔබේ නහයේ තත්වය දැක්කා ද?

බොක්සිං තමයි මගේ හේතුව, ඔබේ හේතුව මොකක් ද?”

මීට අමතරව මේ ලිපියේ නම් සඳහන් නොවුනත් Trash Talk වල නම් දරාපු තවත් බොක්සිං ක්‍රීඩකයින් රැසක් ඉන්නවා. ඒ අතරිනුත් Ricardo Mayorga, James Toney, Bernard Hopkins, Naseem Hamed, Hector Camacho, Floyd Mayweather Jr වැනි නම් සඳහන් කළ යුතුමයි.

ඒ වගේම විශේෂයෙන්ම සඳහන් කළ යුතු දෙයක් තමයි සමහර Trash Talks ප්‍රසිද්ධ මාධ්‍යයක පළ කරන්න තරම් සුදුසු මට්ටමේ ඒවා නෙවෙයි.

Muhammad Ali

බොක්සිං ක්‍රීඩාවේ විශිෂ්ටතමයා වගේම බොක්සිං Trash Talkers ලා අතරත් ඉහළින් ම රැඳුණු පුද්ගලයා වෙනින් කවුරුවත් නෙවෙයි, Cassius Clay නොහොත් Muhammad Ali.

Aliගේ කට නිසාම ඔහුව හඳුන්වන අන්වර්ථ නාමයක් පවා නිර්මාණය වෙනවා.

ඒ අන්වර්ථ නාමය තමයි “The Louisville Lip” කියන්නේ.

Ali උපත ලබපු Louisville ප්‍රදේශය සහ ඔහුගේ වසා දැමිය නොහැකි කට නිසා මේ අන්වර්ථ නාමය ඔහුට ලැබුණු බව තමයි දැනගන්න ලැබෙන්නේ.

එහෙම කටකින් Ali කියපු දේවල් මෙහෙම සාරාංශ කරනවාට වඩා වෙනම ලිපියකින් ඔබ වෙත රැගෙන ඒම සුදුසු බව හැඟෙන නිසාම ඒ සියල්ල වෙනත් ලිපියකින් කියවමු.

රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>>තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න<<