2024 වසරේ පාසල් රග්බි තරග කාලසටහන එළිදකී

Schools Rugby 2024

1676

2024 වසරට අදාළ වාර්ෂික පාසල් රග්බි තරග කාලසටහන ශ්‍රී ලංකා පාසල් රග්බි සම්මේලනය (SLSRFA) මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. 

මෙම වසරේ පෙබරවාරි මස 24 සහ 25 යන දිනවල දී දිවයිනේ ප්‍රදේශ කිහිපයක පැවැත්වීමට නියමිත සංවර්ධන වැඩසටහන් කිහිපයක් සමඟ 2024 පාසල් රග්බි පිටියේ ආරම්භය සනිටුහන් කිරීමටයි SLSRFA විසින් සැලසුම් කර තිබෙන්නේ. 

ඉන් පසුව වයස අවුරුදු 19න් පහළ, 18න් පහළ සහ 12න් පහළ පිරිමි සහ 19න් පහළ කාන්තා සත් සාමාජික රග්බි තරගාවලි මෙම වසරේ මාර්තු සහ අප්‍රේල් මාස වල දී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. 

එමෙන්ම වසරේ වැඩිම අවධානයක් හිමි වන Dialog පාසල් රග්බි ලීගය එළඹෙන ජුනි මාසයේ දී ආරම්භ කිරීමටයි සැලසුම් සකස් කර තිබෙන්නේ. 

මෙම තරගාවලියේ මූලික වටය ජුනි සහ ජූලි යන මාස ද්විත්වයේ සති හතක් පුරාවට පැවැත්වීමෙන් අනතුරුව, තරගාවලියේ පිළිමළුන් පිටු දැකීමේ තරග වටය එළඹෙන අගෝස්තු සහ සැප්තැම්බර් යන මාස වල දී පැවැත්වෙනු ඇති. 

තරගාවලියේ මූලික වටයේ තරග දිවයින පුරා ක්‍රීඩාංගණ වල දී ද තරගාවලියේ පිළිමළුන් පිටුදැකීමේ තරග කොළඹ දිස්ත්‍රික්කය මූලික කර ගනිමින් ද පැවැත්වීමට නියමිතයි. 

එමෙන්ම මෙම කාලසටහන ඉදිරි පාසල් විභාග කාල සීමා අනුව යම් වෙනස්කම් වලට භාජනය වීමට ඉඩ තිබෙනවා. 

පාසල් රග්බි පිටියේ උණුසුම ඔබ වෙත සමීප කිරීමේ වගකීම පෙර වර්ෂවල දී ඉටු කළා සේ ම මෙම වසරේ දී ද ඉටු කිරීමට ThePapare සූදානමින් සිටිනවා, රැඳී සිටින්න ThePapare සමඟින්. 

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න <<