එක්දින තරග සඳහා ට්‍රැවිස් හෙඩ් ශ්‍රි ලංකාවට

309
Head added to Australia squad for Sri Lanka ODIs
Cricket Australia/ Getty image

ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන, තරග 5කින් යුතු එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා ඕස්ට්‍රේලියානු සංචිතයට, යොවුන් ක්‍රීඩක ට්‍රැවිස් හෙඩ් කැඳවා තිබේ. නැගී එන වමත් පිතිකරුවෙකු වන 22 හැවිරිදි හෙඩ් ඕස්ට්‍රේලියානු ජාතික කණ්ඩායම වෙනුවෙන් එක්දින ජාත්‍යන්තර තරගයකට සහ ජාත්‍යන්තර විස්සයි-විස්ස තරග 2කට ක්‍රීඩා කර ඇත.

පසුගිය ලිපි: අංක එකේ ටෙස්ට් කණ්ඩායමට ලැජ්ජා සහගත පරාජයක්

ට්‍රැවිස් හෙඩ් මෑත කාලීනව දේශීය තරග බිමේ දස්කම්  දැක්වූ ක්‍රීඩකයෙකි. එංගලන්තයේ යෝක්ෂයර් ප්‍රාන්ත කණ්ඩායමට ක්‍රීඩා කරන ඔහු පසුගිය මාසයේදී ලෙස්ටශයර් ප්‍රාන්තයට එරෙහිව ලකුණු 175ක් ලබා ගන්නට සමත් විය. රෝයල් ලන්ඩන් එක්දින තරගාවලියේදී ඩර්හැම් සහ වෝවික්ෂයර් ප්‍රාන්ත කණ්ඩායම් වලට එරෙහිව පිලිවෙලින් ලකුණු 49ක් සහ 53ක් රැස් කළ හෙඩ්, යෝක්ෂයර් ප්‍රාන්ත කණ්ඩායමේ ප්‍රධාන භූමිකාවක් රඟ දක්වූ ක්‍රීඩකයෙක් විය.

බටහිර ඉන්දීය කොදෙව් දේශයේ පැවති තුන්-කොන් එක්දින තරගාවලියේදී ඔස්ට්‍රේලියාව නියෝජනය කරමින් එක් තරගයකට පමණක් සහභාගී වූ ට්‍රැවිස් හෙඩ් හට ඉන් අනතුරුව ජාතික එක්දින කණ්ඩායමේ ස්ථානයක් හිමි නොවීය. කෙසේ වෙතත් අවසන් මොහොතේ ලද මෙම කැඳවීම අනුව ඔහු හෙට දිනයේදී ශ්‍රී ලංකාව බලා පිටත්වීමට නියමිතයි. ඔහු කණ්ඩායම සමගින් එක් වුවත්  ලබන සෙනසුරාදා (13) ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර ආරම්භ වන 3වන සහ අවසන් ටෙස්ට් තරගය සඳහා හෙඩ්ගේ සහභාගීත්වයක් කිසිසේත්ම සිදු නොවන බවයි ඕස්ට්‍රේලියානු පුහුණුකරු ඩැරන් ලීමන් පවසන්නේ.

“ඔහු එම තරගයට ක්‍රීඩා කරන්නේ නැහැ, ඒ පිළිබඳව කිසිම සැකයක් නැහැ” ලීමන් පවසයි. “ඔහු අනාගතය සඳහා ඉතා හොඳ ආයෝජනයක් ලෙස අපි දකිනවා, එමනිසා ඔහුට පළමුව අපේ ටෙස්ට් කණ්ඩායම සමගත්, දෙවනුව අපේ එක්දින කණ්ඩායම සමගත් අත්දැකීම් ලබාගැනීමට අවස්තාව ලබාදීම මේ කැඳවීමේ ප්‍රධාන අරමුනයි.

“අපි ඔහුගේ දස්කම් ගැන ඉතා පැහැදීමකින් සිටිනවා. ඒ නිසා තමයි ඔහුව මෙතරම් ඉක්මනට කැඳවීමට කටයුතු කලේ. යොවුන් ක්‍රීඩකයෙක් ලෙස ඔහුගේ ක්‍රීඩා විලාශය කණ්ඩායමට ඉතා වැදගත් විය හැකි බව අපට පේනවා. අපට අවශ්‍යයි ඔහුට හැකි තරම් අත්දැකීම් ලබා දෙන්නට. මොකද ඔහු තරුණයෙක් විදිහට සාර්ථකත්වයක් පෙන්නුවත් ඔහුට ජාත්‍යන්තර අත්දැකීම් අඩුයි. අනාගතය ගැන හිතලා ඔහුට ජාත්‍යන්තර අත්දැකීම් ලබා දෙන්න හොඳම වෙලාව මෙය බව අපි හිතනවා

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් තේරීම් කමිටු ප්‍රධානී රොඩ්නි මාෂ් පවසන්නේ ශ්‍රී ලංකාවේදී ලබන අත්දැකීම් ට්‍රැවිස් හෙඩ් ගේ අනාගතයට මහත් සේ උපකාරී වනු අැති බවයි. ට්‍රැවිස් අපේ කණ්ඩායමට සියලුම තරග රටාවන් සඳහා දිගු කාලීන ආයෝජනයක්. ශ්‍රී ලංකාවේ දේශගුණික තත්ත්වයන් තුළ ඔහු ලබන අත්දැකීම් ඔහුගේ අනාගතයට විශාල ප්‍රයෝජනයක් වනු ඇති. ඔහු එක්දින සංචිතයේ අනෙක් ක්‍රීඩකයන්ට වඩා කලින් ශ්‍රී ලංකාවට පැමිණෙනවා. එම කාලයේදී ටෙස්ට් කණ්ඩායම සමග සිටිමින් 3වන ටෙස්ට් තරගයට ඔවුන් සූදානම් වන ආකාරය ගැන ට්‍රැවිස්ට අත්දැකීම් ලබා ගන්න පුළුවන්.මාෂ් පවසයි.

ශ්‍රී ලංකා සංචාරයට සහභාගී වන ඔස්ට්‍රලියා එක්දින සංචිතය.

ස්ටීවන් ස්මිත් (නායක), ඩේවිඩ් වෝනර්, ජෝජ් බෙයිලි, නේතන් කූල්ට-නයිල්, ජේම්ස් ෆ්‍රෑන්ක්ලින්, ඒරන් ෆින්ච්, ජෝෂ් හේසල්වුඩ්, ට්‍රැවිස් හෙඩ්, මොයිසස් හෙන්රික්ස්, උස්මාන් කවාජා, නේතන් ලයන්, මිචෙල් මාෂ්, ෂෝන් මාෂ්, මිචෙල් ස්ටාක්, මැතිව් වේඩ්, ඇඩම් සම්පා

තරග 5කින් සමන්විත ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අගෝස්තු 21 වනදා කොළඹ ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට