මෙසී නැවතත් වසරේ පාපන්දු ක්‍රීඩකයා බවට පත් වෙයි!

FIFA Awards 2023

214

2023 වසරට අදාළ ව FIFA විසින් පැවැත්වූ FIFA සම්මාන උළෙලේ දී වසරේ විශිෂ්ටතම පාපන්දු ක්‍රීඩකයා ලෙස ආජන්ටිනාවේ Lionel Messi විසින් සම්මාන දිනා ගත්තා.

පසුගිය සඳුදා (15) රාත්‍රියේ පැවැත්වුණු මෙම සම්මාන උලෙළේ දී වසරේ ක්‍රීඩකයා/ක්‍රීඩිකාව සහ තවත් සම්මාන රැසක් සඳහා සම්මාන ප්‍රදානය කළ අතර මින් වඩාත් වැඩි අවධානයක් වසරේ ක්‍රීඩකයා සම්මානය වෙත යොමු වූ බව නොරහසක්.

2022 වසරේ දෙසැම්බර් 19 සිට 2023 වසරේ අගෝස්තු 20 දක්වා කාල සීමාවට අදාළ ව මෙම සම්මාන වෙනුවෙන් ක්‍රීඩක දක්ෂතා සලකා බැලූ අතර එහි දී Manchester City නියෝජනය කරන නෝර්වේ ජාතික Erling Haaland, PSG කණ්ඩායම නියෝජනය කරන ප්‍රංශයේ Kylian Mbappe සහ PSG සහ පසුව Inter Miami වෙත සංක්‍රමණය වූ Messi වසරේ ක්‍රීඩකයා සම්මානය වෙනුවෙන් සටන් වැදුණා.

මෙම සම්මානය සඳහා Haaland සහ Messi මනාප 48 බැඟින් ලබා තිබූ අතර Mbappeට හිමි වී තිබුණේ මනාප 35ක් පමණයි. කෙසේ වෙතත් Haalandට (11) වඩා නායකයින්ගේ* මනාප වැඩියෙන් හිමි වූ Messi (13) වසරේ පාපන්දු ක්‍රීඩකයා ලෙස සම්මාන දිනා ගත්තා.

*.ජාතික කණ්ඩායම්වල නායකයින්.

2022 වසරේ පාපන්දු ක්‍රීඩකයා ලෙස සම්මාන දිනා ගත්තේ ද Messi විසින් වීම විශේෂත්වයක්.

Messi වෙත සිය මනාප ලබා දුන් ක්‍රීඩකයින් අතර Harry Kane, Casemiro, Son Heung Min, Luca Modrić, Mohamed Salah වැනි ප්‍රසිද්ධ පාපන්දු ක්‍රීඩකයින්ගේ නම් ද රැඳී තිබුණා.

මේ අතර ගෙවුණු තරග සමයේ දී Barcelona සමඟ ස්පාඤ්ඤ ලීගය, කාන්තා Champions ලීගය මෙන්ම ස්පාඤ්ඤ ජාතික කණ්ඩායම සමඟ කාන්තා ලෝක කුසලානය ද ජයග්‍රහණය කිරීමට සමත් වූ ස්පාඤ්ඤයේ Aitana Bonmati වසරේ පාපන්දු ක්‍රීඩිකාවට හිමි සම්මානය දිනා ගත්තා.

ගෙවුණු වසරේ පාපන්දු ලොව වඩාත් ම කැපී පෙනෙන කණ්ඩායම බවට පත් වෙමින් සිය පාපන්දු ඉතිහාසයේ ඉතා විශිෂ්ට වසරක් ගෙවා දැමූ Manchester City පුහුණුකරු Pep Guardiola වසරේ පුහුණුකරු ලෙස සම්මාන හිමි කර ගත්තා.

මේ අතර ගෙවුණු වසරේ දී එංගලන්ත කාන්තා පාපන්දු කණ්ඩායම සමඟ යුරෝ කුසලානය මෙන්ම, ලෝක අනුශූරතාව ද හිමි කර ගැනීමට සමත් වූ Sarina Wiegman වසරේ පාපන්දු පුහුණුකාරිනිය ලෙස සම්මාන හිමි කර ගැනීම විශේෂත්වයක්.

එමෙන්ම ගෙවුණු වසරේ Manchester City කණ්ඩායමේ සාර්ථකත්වයට විශාල දායකත්වයක් ලබා දුන් බ්‍රසීල ක්‍රීඩක Ederson වසරේ දැල් රකින්නා ලෙස සම්මාන දිනා ගනිද්දී, එංගලන්ත ක්‍රීඩිකා Mary Earps වසරේ දැල් රකින්නිය ලෙස සම්මාන දිනා ගත්තා.

මේ අතර බ්‍රසීල කාන්තා පාපන්දු කණ්ඩායම නියෝජනය කරමින් ලෝක මට්ටමේ කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට සමත් වූ Marta හට ද මෙම සම්මාන උළෙලේ දී විශේෂ ඇගයීමක් හිමි වූ අතර, ලබන වසරේ සිට කාන්තා පාපන්දුවේ හොඳම ගෝලය සඳහා ඇයගේ නමින් නම් කළ Marta සම්මානය ලබා දීමට බලාපොරොත්තු වන බව ද FIFA විසින් නිවේදනය කළා.

මේ අතර FIFA Fair Play සම්මානය බ්‍රසීල ජාතික පාපන්දු කණ්ඩායම වෙත හිමි වුනා.

FIFA විසින් නම් කළ 2023 වසරේ කණ්ඩායම් ද්විත්වය මෙසේයි;

  • කාන්තා – Mary Earps, Olga Carmona, Lucy Bronze, Alex Greenwood,Keira Walsh, Alessia Russo, Lauren James, Ella Toone, Aitana Bonmati, Alex Morgan, Sam Kerr
  • පිරිමි – Thibaut Courtois, John Stones, Kyle Walker, Ruben Dias, Bernardo Silva, Jude Bellingham, Kevin De Bruyne, Erling Haaland, Kylian Mbappe, Lionel Messi, Vinicius Jr

ජාත්‍යන්තර පාපන්දු පිටියේ උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ThePapare සමඟින්.

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න <<