ආසියානු කුසලානය දුන්නොත් අපිට කරන්න පුළුවන් – SLC

ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය 2023

469

ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසින් මෙවර ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සත්කාරකත්වය තමන්ට ලබා දීමට කටයුතු කළහොත් එය පැවැත්වීමට සූදානම් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කර තිබෙනවා.

මෙම තරගාවලිය පිළිබඳ අවසන් තීරණයක් තවමත් ගෙන නොමැති නමුත් ඉදිරි දින කිහිපය තුළ අවසන් තීරණය ප්‍රකාශ කරන බව ආසියානු ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා.

“කෙටි දැනුම් දීමකින් පසු ආසියානු කුසලානය පවත්වන්න ශ්‍රී ලංකාව සූදානමින් පසු වෙනවා. දැන් ඒකේ තීරණය ආසියානු ක්‍රිකට් කවුන්සිලය මතයි තියෙන්නේ,” යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරියෙකු ප්‍රකාශ කර තිබුණා.

මතභේදයකට තුඩු දුන් තරගාවලිය දෙමුහුන් ආකාරයට පැවැත්වීමේ යෝජනාව ඉවත් කර තරගාවලිය එක් ස්ථානයක පමණක් පැවැත්වීමට තීරණය කර තිබෙන බව වාර්තා වෙනවා.

මීට පෙර ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් පාකිස්තානය ඉදිරිපත් කළ තරගාවලිය පාකිස්තානයේ සහ ඉන්දියාවේ පැවැත්වීමට සිදු කළ යෝජනාවට දිගින් දිගටම සිය විරෝධය දැක්වූවා.

තරගාවලිය එලෙස පැවැත්වීමේ දී සිදු වන ප්‍රවාහන සහ ගමනාගමන ගැටලු පිළිබඳ සඳහන් කරමින් ඉන්දීය ක්‍රිකට් බලධාරියෙකු ප්‍රකාශ කළේ, කොළඹ හෝ කිසිම ස්ථානයක් නොමැති බවයි.

එමෙන්ම තමන් ඉන්දීය ක්‍රිකට් ආයතනය සමඟ එකඟ වන බව ද ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරියා ප්‍රකාශ කර තිබෙන අතර ආසියානු ක්‍රිකට් කවුන්සිලය මෙම පිළිබඳ තීරණයක් ගැනීමට රැස්වීමට ඉදිරි දින කිහිපය තුළ පවත්වනවා.

ඒ අනුව පාකිස්තාන ක්‍රිකට් ආයතනය තරගාවලියේ සත්කාරකයා වූවත් ඔවුන්ගේ යෝජනාව අනෙක් කිසිදු ක්‍රිකට් ආයතනයක් භාර නොගන්නා බව තහවුරු වෙනවා.

ශ්‍රී ලංකා, බංග්ලාදේශ සහ ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් බලධාරීන් ඉන්දීය ක්‍රිකට් ආයතනය සමඟ සිටින අතර ඔවුන් ඊයේ (29) අවසන් වූ ඉන්දීය ප්‍රිමියර් ලීග් අවසන් තරගයට ද සහභාගීව තිබුණා.

මෙම ක්‍රිකට් ආයතනවලට අමතරව නේපාල සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ක්‍රිකට් බලධාරීන් ද ඉන්දියාවේ පැවති සාකච්ඡා සඳහා එක්ව තිබුණා.

මෙම තීරණය පිළිබඳ පාකිස්තානයේ ස්ථාවරය තවමත් සඳහන් කර නොමැති නමුත් ඔවුන් මීට පෙර ප්‍රකාශ කර තිබුණේ තරගාවලියේ තරග කිහිපයක් හෝ සිය රටේ පවත්වන්නේ නැති නම් තරගාවලියට සහභාගී නොවන බවයි.

මීට අමතරව ලෝක කුසලානයේ තරග පවත්වන ස්ථානය සහ පාකිස්තානයේ සහභාගීත්වය ගැන තහවුරු කර ගැනීම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධාන නිලධාරීන් වන Greg Barclay සහ Geoff Allardice පාකිස්තානයේ සංචාරයකට එක්ව තිබෙනවා.

එක්දින ලෝක කුසලානයේ දී පාකිස්තාන කණ්ඩායම තරග වදින ක්‍රීඩාංගණ පිළිබඳ එහි දී දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා.

ඉන්දියාව සමඟ තරගය අහ්මදාබාද් හී පැවැත්වීම පිළිබඳ පාකිස්තාන බලධාරීන් සිය විරෝධය එක් කර තිබුනත්, තරගය වෙනත් ක්‍රීඩාංගණයකට ගෙන යාමට ඉන්දීය බලධාරීන් කිසිදු කැමැත්තක් පෙන්වා නැහැ.

දිනෙන් දින උණුසුම් වන ක්‍රිකට් පිටියේ උණුසුම් පුවත් සඳහා ඔබත් රැඳී සිටින්න ThePapare.com සමග.

Cricbuzz ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<