එංගලන්ත කාන්තා පිළට තෙවැනි එක්දින තරගයෙනුත් විශිෂ්ට ජයක්

302
SLvENG 3rd ODI

ප්‍රබල එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම හමුවේ තුන්වැනි එක්දින තරගයේදී ද පරාජයේ අමිහිරි වේදනාව විඳ දරා ගන්නට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට සිදුවිය. අද (15) ආර්. ප්‍රේමදාස පිටියේදී පැවති තරගයෙන් ඔවුන්ට උරුම වූයේ කඩුලු 5ක පරාජයක්.

පසුගිය ලිපි: එංගලන්තය හමුවේ ශ්‍රී ලංකා කාන්තාවෝ අදත් අසරණ වෙයි

අද උදෑසන කාසියේ වාසිය පරාජයට පත්ව ප්‍රථමයෙන් පිටියේ පන්දු රැකීමට සිදු වුවත් එයද තම වාසියට පෙරලාගත් එංගලන්ත පන්දු යවන්නියන් ශ්‍රී ලංකා ඉනිම ලකුණු 161කට සීමා කිරීමට සමත් විය. මනා සංයමයකින් යුතු පන්දු යැවීම නිසා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට පවත්වා ගත හැකි වූයේ කලින් තරග වලදී මෙන්ම එක්දින තරග සඳහා උචිත නොවන තරමේ අඩු ලකුණු වේගයකි.

ආරම්භක පිතිකාරිනී නිපුනි හංසිකා ශ්‍රී ලංකා පිළ වෙනුවෙන් වැඩිම ලකුණු ලාභිනිය ලෙස පන්දු 66ක් වැය කරමින් ලකුණු 29ක් රැස්කල අතර ඇයගේ ඉනිම හතරේ පහර 4කින් යුක්ත විය. චමරි අතපත්තු හතරේ පහර 2ක් සමඟින් ලකුණු 27යි. ශ්‍රී ලංකා ඉනිමේ අවසන් කඩුලු 8 ලකුණු 82ක් තුලදී බිඳ වැටුනේ ශ්‍රී ලංකා පිළේ ජයග්‍රහණ බලාපොරොත්තු සියල්ල සුන් කරමිනි. එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් ලෝරා මාශ්, ඩැනියෙල් හැසල් සහ ඇලෙක්සැන්ඩ්‍රා හාට්ලි කඩුලු 2 බැඟින් බිඳ හෙලූහ.

ලකුණු 162ක පහසු ඉලක්කය යතාර්ථයක් බවට පත්කර ගැනීම සඳහා පිටියට පිවිසි එංගලන්ත පිතිකාරිනියන් එම ඉලක්කයක් පන්දුවාර 29යි පන්දු 3ක් තුලදී සපුරා ගැනීමට සමත් විය. ඒ වෙනුවෙන් ඔවුන් වැය කලේ කඩුලු 5ක් පමණි. තරගයේ වැඩිම ලකුණු ලාභිනිය වූ ටම්සින් බියුමොන්ට් පන්දු 79ක් තුලදී ලකුණු 78ක් රැස් කිරීමට සමත් විය. ඇයගේ ඉනිම හතරේ පහර 7කින් සහ හයේ පහර තුනකින් වර්ණවත් විය. දකුණත් පිතිකාරිනි ක්ලෙයාර් විල්සන් ලකුණු 30යි. ශ්‍රී ලංකාව වෙනුවෙන් උදේශිකා රණසිංහ කඩුලු 2ක් බිඳ දමන ලදී.

එංගලන්ත කාන්තා කණ්ඩායම අද දින ලැබූ මෙම ජයග්‍රහණයත් සමඟින් ශ්‍රී ලංකා කාන්තා ක්‍රීඩිකාවන් සමඟ පැවැත්වෙන එක්දින තරගාවලිය තරග 3-0ක් ලෙස පෙරමුණ ගන්නට එංගලන්ත කණ්ඩායම සමත් විය. ඒ අනුව තරගාවලි ජයග්‍රහණයද මේ වන විට ඔවුන්ගේ නමින් ලියැවී හමාරය. කෙසේවෙතත් තරගාවලියේ සිව්වන සහ අවසන් එක්දින තරගය ලබන බ්‍රහස්පතින්දා (17) ප්‍රේමදාස පිටියේදීම පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකාව – සියල්ලන්ම දැවී ලකුණු 161 (පන්දුවාර 49.4): නිපුනි හංසිකා 29, චමරි අතපත්තු 27, ඩිලානි මනෝදරා 22, ලෝරා මාශ් 2/25, ඩැනියෙල් හැසල් 2/24, ඇලෙක්සැන්ඩ්‍රා හාර්ට්ලි 2/23.

එංගලන්තය – කඩුලු 5ක් දැවී ලකුණු 162 (පන්දුවාර 29.3): ටම්සින් බියුමොන්ට් 78, ක්ලෙයාර් විල්සන් 30, ලොරේන් වින්ෆීල්ඩ් 21,උදේශිකා රණසිංහ 2/26.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට

Highlights - 3rd ODI between Sri Lanka women vs England women