අන්තර් සමාජ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය නොවැම්බර් 25 දා සිට

451
SLC Premier League Tournament to begin on November 25th

ශ්‍රී ලංකා ක්‍රිකට් කරලිය කාර්ය බහුල ස්ථානයක් බවට පත්කරන අන්තර් සමාජ තරග බිමේ, 2016/17 තරග වාරය ලබන නොවැම්බර් 25 වැනිදා ආරම්භ වීමට නියමිතයි. ඒ ප්‍රිමියර් ලීග් පළමු පෙළ තරගාවලියේ ආරම්භය සමඟයි.

පසුගිය ලිපි: ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නම බේරා ගැනීමට නම්

තුන් දින තරග ලෙස පැවැත්වෙන මෙම තරග වාරයේ ප්‍රිමියර් ලීග් තරග කාල සටහනට කණ්ඩායම් 24ක් අතුලත්ව සිටියි. ඔවුන් ප්‍රධාන කොටස් දෙකක් යටතේ තරග වදින අතර ඒවා A කොටස සහ B කොටස ලෙස වර්ගීකරණය කර තිබේ.

A කොටසේ තරගාවලියට සහභාගී වන කණ්ඩායම් 14 යලිත් වරක් කණ්ඩායම් 7 බැඟින් ඇතුලත් වන කාණ්ඩ දෙකකට බෙදා වෙන් කරන අතර එම කාණ්ඩ දෙකේම මුල් ස්ථාන 4 දිනා ගන්නා කණ්ඩායම් සුපර් 8 වටය සඳහා සුදුසුකම් ලබයි. සුපර් 8 වටය රෝස පැහැති පන්දුව භාවිත කරමින් සිව්දින තරගාවලියක් ලෙස පැවැත්වීමට කටයුතු යොදා තිබේ. පළමු වටය තුලදී කාණ්ඩ දෙකේ අවසන් ස්ථාන දිනා ගන්නා කණ්ඩායම් 6 (එක් කාණ්ඩයකින් කණ්ඩායම් 3 බැඟින්) පළඟ ශූරතා තරගාවලියට සුදුසුකම් ලබන අතර තුන් දින තරගාවලියක් ලෙස පැවැත්වෙන එහි ස්ථානගතවීම අනුව අවසන් ස්ථානයට පත් වන කණ්ඩායමට ලබන තරග වාරයේදී B කොටස දක්වා පහතට යාමට සිදු වනු ඇත.

මේ අතර නැගී එන තරගාවලිය ලෙස ද හැඳින්වෙන B කොටසේ තරගාවලියට කණ්ඩායම් 10ක් සහභාගී වෙයි. තුන් දින තරග ලීග් තරගාවලියක් ලෙස පැවැත්වෙන මෙහි, අවසන් ප්‍රසාද ලකුණු සටහන අනුව ඉහලින් පසුවන කණ්ඩායම මීළඟ තරග වාරයේදී A කොටස දක්වා උසස්වීමක් ලැබීම සඳහා සුදුසුකම් ලබයි.

මෙවර අන්තර් සමාජ පළමු පෙළ එක්දින සහ පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලි සඳහා A සහ B කොටස් යටතේ ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගී වූ කණ්ඩායම් 24ම සහභාගී වන අතර එම තරගාවලිය 2017 වසරේ මුල් භාගය තුල පැවැත්වීමට කටයුතු යොදා ඇත. ප්‍රිමියර් ලීග් තරගාවලියේ සුපරි 8 වටයේ සහ පළඟ ශූරතාවට අදාළ තරග 2017 ජනවාරි 14 වැනිදා ආරම්භ කිරීමට නියමිතව තිබෙන අතර B කොටසේ ලීග් තරගාවලිය අවසන් කිරීම සඳහා දින නියම කර තිබෙන්නේ ජනවාරි 22 වැනිදාටයි.

A කොටසේ කණ්ඩායම් වල දෙවන පෙළ කණ්ඩායම් අතර සංවිධාන කෙරෙන තරගාවලිය (2nd XI tournament) මෙවර නොපැවැත්වෙන අතර A සහ B කොටස් යටතේ තරග වදින කණ්ඩායම් 24 ටම පළමු පෙළ තත්ත්වය පිරිනැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගැනීම මීට හේතුවයි.

ප්‍රිමියර් ලීග් තරගාවලිය – A කොටස

කණ්ඩායම්

A කාණ්ඩය B කාණ්ඩය
ටැමිල් යුනියන් ක්‍රීඩා සමාජය මුවර්ස් ක්‍රීඩා සමාජය
ගාලු ක්‍රිකට් සමාජය රාගම ක්‍රිකට් සමාජය
සිංහල ක්‍රීඩා සමාජය (SSC) කෝල්ට්ස් ක්‍රිකට් සමාජය
නොන්ඩෙස්ක්‍රිප්ට්ස් ක්‍රිකට් සමාජය (NCC) කොළඹ ක්‍රිකට් සමාජය (CCC)
බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය සැරසන්ස් ක්‍රීඩා සමාජය
හලාවත මේරියන්ස් ක්‍රීඩා සමාජය යුධ හමුදා ක්‍රීඩා සමාජය
බදුරලිය ක්‍රිකට් සමාජය බර්ගර් ක්‍රීඩා සමාජය (BRC)

පසුගිය වසරේ අන්තර් සමාජ ප්‍රිමියර් ලීග්  තරගාවලියේ ශූරතාව දිනාගත් ටැමිල් යුනියන් ක්‍රීඩා සමාජය, එවර තරගාවලියේ 4 වන සහ 5 වන ස්ථාන දිනා ගත් ගාලු ක්‍රිකට් සංගම් සහ SSC කණ්ඩායම් සමඟ එකම කාණ්ඩයට ඇතුලත් කර ඇති අතර සුපරි 8 වටයේ අවසන් ස්ථානය දිනාගත් කණ්ඩායම මෙන්ම 2015/16 තරග වාරයේ සීමිත පන්දුවාර ශූරයන් වන NCC කණ්ඩායම ඇතුලත් වන්නේද එම කාණ්ඩයටයි. ඊට අමතරව පසුගිය වසරේ පළඟ ශූරතාව දිනාගත් බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායම මෙන්ම හලාවත මේරියන්ස් සහ බදුරලිය කණ්ඩායම් A කාණ්ඩයේ ඉතිරි කණ්ඩායම් ලෙස නම් කර තිබේ.

B කාණ්ඩයට ඇතුලත් පසුගිය වසරේ අනුශූරයන් වූ මුවර්ස් ක්‍රීඩා සමාජයට මෙවර පළමු වටයේදී දැඩි අභියෝගයක් එල්ල වන්නේ, එවර 3 වන ස්ථානය දිනාගත් රාගම ක්‍රිකට් සමාජය මෙන්ම 6 වන සහ 7 වන ස්ථාන දිනාගත් කෝල්ට්ස් සහ CCC කණ්ඩායම්ද එම කාණ්ඩයටම ඇතුලත් වීම හේතුවෙනුයි. පසුගිය තරග වාරයේ පන්දුවාර 20 ශූරයන් වූ යුධ හමුදා ක්‍රීඩා සමාජය ද මෙම කාණ්ඩයෙන් තරග වදින අතර සැරසන්ස් ක්‍රීඩා සමාජය මෙන්ම මෙවර තරගාවලිය සඳහා A කොටසට උසස්වීමක් ලැබූ BRC කණ්ඩායමද ඉහල පෙලේ දේශීය ක්‍රීඩකයන්ගෙන් සමන්විත වීම මෙම කාණ්ඩයේ තරගකාරීත්වය තවත් වැඩි කරනු ඇත.

ප්‍රිමියර් ලීග් තරගාවලිය  2016/17 – B කොටස

කණ්ඩායම්

  • ශ්‍රී ලංකා වරාය අධිකාරී ක්‍රීඩා සමාජය
  • නාවික හමුදා ක්‍රීඩා සමාජය
  • ගුවන් හමුදා ක්‍රීඩා සමාජය
  • කුරුණෑගල තරුණ ක්‍රීඩා සමාජය
  • ලංකන් ක්‍රිකට් සමාජය
  • කළුතර නාගරික ක්‍රීඩා සමාජය
  • පොලිස් ක්‍රීඩා සමාජය
  • කළුතර ක්‍රිකට් සමාජය
  • පානදුර ක්‍රීඩා සමාජය
  • මීගමුව ක්‍රිකට් සමාජය

2014/15 තරග වාරයේ ප්‍රිමියර් ලීග් ශූරයන් ලෙසද අභිෂේක ලැබූ ශ්‍රී ලංකා වරාය අධිකාරී කණ්ඩායම, පසුගිය වසරේ පළඟ ශූරතා තරගාවලියේද අවසන් ස්ථානයට පත්වීම හේතුවෙන් ඔවුන්ට මෙවර B කොටස දක්වා පහතට වැටීමට සිදුව තිබේ. මීගමුව ක්‍රිකට් සමාජය B කොටසට උසස්වීමක් ලබා තිබෙන්නේ අවසන් වරට පැවති පී. සරා කුසලාන තරගාවලියේ ශූරතාව දිනා ගැනීම හේතුවෙනුයි. පානදුර, ලංකන් සහ නාවික හමුදා කණ්ඩායම් ද මෙවර B කොටසේ ශූරතාව සඳහා වැඩි බලාපොරොත්තු තබා ගත හැකි කණ්ඩායම් ලෙස හැඳින්විය හැක.

අන්තර් සමාජ තරගාවලි පවත්වා අවසන් වීමෙන් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් අන්තර් පළාත් තරගාවලියද පැවැත්වීමට නියමිත අතර එහිදී කණ්ඩායම් 4ක් ලීග් ක්‍රමයට පැවැත්වෙන සිව්දින ක්‍රිකට් තරගාවලියකට සහ එක්දින මෙන්ම පන්දුවාර 20 තරගාවලියකට ද සහභාගී වනු ඇත.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට