ලෝක කුසලානයට ගිය පාපන්දු ගෝල රකින්නා

ලෝක කුසලානයේ නෑසූ කතා (19)

987

1983 පෘඩෙන්ෂල් ලෝක කුසලානයේ එංගලන්ත කණ්ඩායමේ කඩුලු රකින්නා ලෙස කටයුතු කළේ අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ විනිසිරුවෙකු ලෙස කටයුතු කරන ඉයන් ගුල්ඩ්ය. ඉයන් ගුල්ඩ් යනු තරමක් විනෝදකාමී එහෙත් අතරින් පතර යම් මතභේදාත්මක සිද්ධීන්වලට මැදි වූ විනිසුරුවරයෙකි.

2019 ලෝක කුසලානයේදීත් ඉයන් ගුල්ඩ් විනිසුරුවරයෙකු ලෙස කටයුතු කරයි. ඉයන් ගුල්ඩ් ක්‍රීඩා ලෝකයේ ප්‍රචලිත වන්නේ ක්‍රිකට් ක්‍රීඩකයෙකු කඩුලු රකින්නෙකු ලෙස පමණක් නොවේ. ඔහුගේ පාපන්දු ක්‍රීඩාවටත් තිබෙන ඇල්ම නිසාය. කෙටියෙන්ම පැවසුවොත් ඔහු පාපන්දු ක්‍රීඩාවේ ගෝල රැකීමටත් දක්ෂතාවක් දැක්විය.

සුප්‍රසිද්ධ එංගලන්ත පාපන්දු ක්‍රීඩා සමාජයක් වන ආසනල් ක්‍රීඩා සමාජය සමඟ ඉයන් ගුල්ඩ්ට ඇත්තේ කිට්ටු සම්බන්ධතාවයකි. ගුල්ඩ් 1971 වසරේ සිට වසර තුනක් ආර්සනල් යොවුන් පාපන්දු ක්‍රීඩා සමාජය වෙනුවෙන් ගෝල රැකීමේ යෙදුණේය.

ඉයන් ගුල්ඩ් බොහෝ දෙනෙකු සුරතලයට හඳුන්වන්නේ ගනර් (Gunner) නමිනි. ඒ ඔහුගේ ආර්සනල් පාපන්දු සමාජය සමඟ තිබෙන සබඳතාවය නිසාය. පාපන්දු ලෝකයේ ආසනල් පාපන්දු ක්‍රීඩා සමාජය හැඳින්වෙන්නේ The Gunners නමිනි.

මානසික අවපීඩනයෙන් ලෝක කුසලානයට සමුදුන් ක්‍රීඩකයා

2011 ලෝක කුසලාන තරගාවලියේ අර්ධ අවසන් පූර්ව තරගවලට සුදුසුකම් …..

පාපන්දු ක්‍රීඩාවට ගුල්ඩ්ගේ ඇති දැඩි කැමැත්ත කෙසේ ද කියතහොත් ඔහු 2009 බර්න්හැම් පාපන්දු ක්‍රීඩා සමාජයේ සහාපතිවරයා බවට පත්විය. බර්න්හැම් ක්‍රීඩා සමාජය ඉහළට උසවා තැබීම තම ඒකායන පරමාර්ථය බව ගුල්ඩ් සිය තනතුර බාර ගන්නා අවස්ථාවේ දී පැවසුවේය.

1983 ලෝක කුසලානයට ගුල්ඩ් එංගලන්ත කණ්ඩායම නියෝජනය කරන්නේ විශේෂඥ කඩුලු රකින්නෙකු වශයෙනි. ඔහුගේ පිත්තෙන් දායකත්වයක් එංගලන්ත කණ්ඩායම බලාපොරොත්තු වූයේ නැත. එංගලන්ත කණ්ඩායම ටෙස්ට් තරඟ සඳහා වඩාත් පළපුරුදු කඩුලු රකින්නෙකු වූ බොබ් ටේලර් යොදා ගත්තේ මේ නිසාය.

කඩුල්ල පිටුපස සිට උඩපන්දුව 11ක් සහ ස්ටම්ප් කිරීමක් ලබා ගත්ත ද පිත්තෙන් සිය කණ්ඩායමට දායකත්වයක් දැක්වීමට ගුල්ඩ් අපොහොසත් විය. ඉන්දියාව සමඟ මැන්චෙස්ටර්’හි පැවති අවසාන පූර්ව තරගයේ දී ලත් පරාජයෙන් අනතුරුව ගුල්ඩ් නැවත එංගලන්ත කණ්ඩායමට ක්‍රීඩා කළේ නැත. ගුල්ඩ් එක්දින තරග 18ක දී එංගලන්ත කණ්ඩායම නියෝජනය කළේය.

2006 ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත සංචාරයේ පැවැත්වුණ එකම විස්සයි විස්ස තරගයෙන් ගුල්ඩ් ක්‍රිකට් විනිසුරු ජීවිතයට අත්පොත් තැබුවේය. මෙම තරගය ශ්‍රී ලංකා කණ්ඩායම විස්සයි විස්ස ජාත්‍යන්තර තරගයකට ක්‍රීඩා කළ පළමු අවස්ථාව විය.

2019 අප්‍රේල් මාසයේ දී ගුල්ඩ් පැවසුවේ 2019 ලෝක කුසලානය තමන් විනිශ්චය කරනු ලබන අවසාන තරගාවලිය විය හැකි බවයි. ලෝක කුසලාන තරගාවලියෙන් පසු තමන් විනිසුරු දිවියෙන් සමුගැනීමට අදහස් කරගෙන සිටින බව ඔහු වැඩිදුරටත් පැවසීය.

2015 ලෝක කුසලානයේ ඉන්දියාව සහ බංග්ලාදේශය අතර පැවති අර්ධ අවසාන පූර්ව තරඟයේ සිදු වූ සිදුවීමක් ගුල්ඩ්ගේ විනිසුරු දිවියේ එක්තරා කළු පැල්ලමක් ලෙස තවමත් ඉතිරිව පවතී.

මෙල්බර්න් නුවර පැවති ඉන්දියාව සහ බංග්ලාදේශය අතර අර්ධ අවසන් පූර්ව තරගයේ මුලින්ම පන්දුවට පහර දුන්නේ ඉන්දියාවයි. ඉන්දියානු ඉනිමේ රුබෙල් හුසේන් හතලිස්වැනි පන්දුවාරයේ පන්දුවකට ඉන්දීය ආරම්භක පිතිකරු රෝහිත් ෂර්මා එල්ල කළ ප්‍රහාරයක් ඩීප් ස්ක්වෙයාර් ලෙග් ස්ථානයේ සිට උඩපන්දුවක් ලෙසින් රැක ගැනීමට බංග්ලාදේශ පන්දු රකින්නෙකු සමත් විය. එය තරමක ඉහළින් ඇදී ආ ෆුල්ටොස් පන්දුවකි.

බංග්ලාදේශ ක්‍රීඩකයින් මහත් ඉහළින් දවා ගත් කඩුල්ල සමරන්නට විය. නමුත් පන්දු යවන්නාගේ අන්තයේ සිටි ඉයන් ගුල්ඩ් එය නිපන්දුවක් වශයෙන් සලකුණු කළේය. නමුත් රූපවාහිනී ප්‍රතිරූපනවලින් පෙන්නුම් කළේ එය නීත්‍යානුකූල පන්දුවක් බවත් ඉයන් ගුල්ඩ් ලබා දුන්නේ වැරදි තීරණයක් බවත්ය.

ඒ වන විට ලකුණු 90ක් ලබා ගෙන ක්‍රීඩා කරමින් සිටි තමන් ලද වාසනාවෙන් පන්දු 126ක් තුළ ලකුණු 137ක් දක්වා තම පෞද්ගලික ලකුණු සංඛ්‍යාව ඉහළ දමාගත්තේය. එමෙන්ම හතලිස්වැනි පන්දුවාරයේ මෙම සිද්ධිය සිදු වන විට කඩුලු තුනකට ලකුණු 196ක් ලබා සිටි ඉන්දියානු කණ්ඩායම තමන්ට නියමිත පන්දුවාර පනහ අවසානයේ ලකුණු 302ක් දක්වා තම ලකුණු සංඛ්‍යාව ඉහළ දමාගත්තේය.

මෙම තරගයෙන් ලකුණු 109ක පරාජයක් බංග්ලාදේශයට අත්වූ අතර බොහෝ මධ්‍යස්ථ විචාරකයින් ගුල්ඩ්ගේ තීරණය ගැන තම අප්‍රසාදය පළ කළහ. විශේෂයෙන්ම තාක්ෂණය ඉහළින් ඇති යුගයක මීට වඩා වගකීමකින් යුක්තව ක්‍රියා කරන්නට තිබූ බව ඔවුන් ප්‍රකාශ කළේය.

බංගලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති මුස්තාෆා කමාල් විනිසුරුවන්ගේ පක්ෂපාතිත්වය සහ අවංකභාවය පිළිබඳ දැඩි ලෙස ප්‍රශ්න කළ අතර තමන් ඉල්ලා අස්වීමට සූදානම් බව ද ප්‍රකාශ කළේය. එමෙන්ම බංග්ලාදේශයේ එවකට අගමැතිනිය වූ ෂෙයික් හසීනා මහත්මිය ඉන්දියාව ජයග්‍රහණය කළේ විනිසුරුවන්ගේ උදව්වෙන් බව පැහැදිලිවම ප්‍රකාශ කළාය.

මේ සිදුවීමේ දී ඉයන් ගුල්ඩ් ඇතුළු විනිසුරුවන්ගේ සහායට පැමිණි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධාන විධායක නිලධාරි ඩේව් රිචර්ඩ්සන් බංග්ලාදේශය කරන චෝදනා පදනම් විරහිත බවත්, විනිසුරුන් කිසිම විටෙක පක්ෂග්‍රාහීව ක්‍රියා නොකරන බවත්, අදාළ තීරණය දෙපැත්තටම දිය හැකි තීන්දුවක් බවත්, අවසන් තීරණය සෑම විටම පිටියේ විනිසුරුවරයා සතු බවත් ප්‍රකාශ කළේය.

ඉයන් ගුල්ඩ් විනිසුරුවරයෙකු ලෙස කටයුතු කරන අවස්ථාවන්වල බහරේන් ඩිනාර් හයක් ඔහුගේ අතේ තබාගෙන සිටි බව ඔහුගේ මිත්‍රයින් පවසති. ඒ පන්දුවාරයක ඇති පන්දු ගණන නිසි ලෙස ගණනය කිරීමට බව කියවේ.

2019 ලෝක කුසලානයෙන් ක්‍රිකට් පිටියට සමුදීමට යන ඉයන් ගුල්ඩ් මේ වන විට හැට එක්වියේ පසුවෙයි. සමුගැනීමෙන් අනතුරුවත් දිගින් දිගටම ගුල්ඩ් ක්‍රීඩාව සමඟ රැඳී සිටිනු ඇතැයි ඔහුගේ සමීපතමයෝ පවසති.

“ඉයන් ක්‍රීඩාව වෙනුවෙන් ඉහළ දායකත්වයක් දුන් අයෙක්. විශේෂයෙන්ම පහුගිය අවුරුදු දහය ඇතුළත ජාත්‍යන්තර ක්‍රිකට් විනිසුරුවරයෙකු ලෙස ඔහු ලෝකය පුරා සිටින ක්‍රීඩකයින්ගේ ගෞරවය දිනාගෙන තිබෙනවා. ඒ ඔහු අනෙක් සෑම දෙයකටම වඩා ක්‍රීඩාවට මුල්තැන දුන් නිසායි. ඔහු පිටියේ නැති අඩුව අපිට තදින් දැනේවි. ජීවිතය පුරාවටම ඔහු අත් නොහල ක්‍රීඩාව වෙනුවෙන් දිගින් දිගටම දායකත්වයක් දේවි කියල අපි විස්වාස කරනවා.” ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නිලධාරියෙකු ප්‍රකාශ කළා.

තවත් නෑසූ කතාවක් සමඟ හමුවෙමු!

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<