ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ඉදිරි වසර තුන කාර්යබහුල වෙයි

923

ICC කාන්තා ශූරතාවයේ මීළඟ අදියර ගැන මාධ්‍ය නිවේදනයක් පසුගිය දා ICCය විසින් නිකුත් කර තිබුණා. ඒ අනුව ICC කාන්තා ශූරතාවලියට මෙවර තවත් කණ්ඩායම් දෙකක් එක් වීමට නියමිතයි.

2014-16 හා 2017-20 ලෙස ICC කාන්තා ශූරතාවලි දෙකක් පැවැත්වුණු අතර 2022-25 ලෙස පැවැත්වෙන්නේ එහි තෙවැනි අදියරයි. මීට පෙර කණ්ඩායම් අටකින් සමන්විත වූ තරගාවලියට මෙවර බංග්ලාදේශය හා අයර්ලන්තයත් එක් කර තිබීම විශේෂත්වයක්. බංග්ලාදේශය හා අයර්ලන්තය ICC කාන්තා එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල පිළිවෙළින් 9 හා 10 වැනි ස්ථානවල රැඳී සිටිනවා.

2025 ICC කාන්තා ක්‍රිකට් ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීම සඳහා ඔවුන් ඕස්ට්‍රේලියාව, එංගලන්තය, ඉන්දියාව, නවසීලන්තය, පාකිස්තානය, දකුණු අප්‍රිකාව, ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් සමඟින් තරග වැදීමට නියමිතයි.

තරගාවලියේ පැවැත්වෙන ආකෘතිය

සෑම කණ්ඩායමක්ම තරග තුනකින් සමන්විත තරගාවලි 8ක් බැගින් ක්‍රීඩා කිරීමට නියමිතයි. තරගාවලි හතරක් සත්කාරක කණ්ඩායම් ලෙසත් තරගාවලි හතරක් සංචාරක කණ්ඩායම් ලෙසත් ඔවුන්ට ක්‍රීඩා කිරීමට සිදු වෙනවා.

මෙම ශූරතා චක්‍රය වසර 3කින් නිමා වන අතර ඒ වන විට ප්‍රසාද ලකුණු සටහනේ ඉහළම සිටින කණ්ඩායම් 5 හා සත්කාරක කණ්ඩායම 2025 කාන්තා ක්‍රිකට් ලෝක කුසලානයට සුදුසුකම් ලබනවා. අනෙක් කණ්ඩායම් වලට ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ තරගාවලියක් ක්‍රීඩා කරන්නට සිදු වෙනවා.

ඕස්ට්‍රේලියා කණ්ඩායම මිට පෙර පැවති ICC කාන්තා ක්‍රිකට් ශූරතාවයේ චක්‍ර දෙකම ජය ගත්තා. 2022-25 චක්‍රය ජුනි 1 වැනිදා ආරම්භ වන ශ්‍රී ලංකා, පාකිස්තාන එක්දින තරගාවලියෙන් ආරම්භ වීමට නියමිතයි.

රටවල් කිහිපයකට ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් වරම්

ICC ක්‍රිකට් ලෝක කුසලාන සැලැස්ම යටතේ නෙදර්ලන්තය, පැපුවා නිව්ගිනියා, ස්කොට්ලන්තය, තායිලන්තය හා ඇමරිකා එක්සත් ජනපදයට ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තත්වය ලබා දී තිබෙනවා. ඔවුන් එක්දින ක්‍රිකට් තරගවල දී දක්වන දක්ෂතා මත 2025 ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීම තීරණය වෙනවා.

“ICC කාන්තා ක්‍රිකට් ශූරතාවයේ කණ්ඩායම් ගණන වැඩි කිරීම මෙන්ම තවත් කණ්ඩායම් පහකට එක්දින තත්වය ලබා මඟින් කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව තවත් දියුණු කිරීම අපේ අරමුණයි”, ICC ප්‍රධාන විධායක නිලධාරි Geoff Allardice පවසා සිටියා. “ගොඩක් කණ්ඩායම් එක දිගටම ක්‍රීඩා කරනවා කියන්නේ තරගකාරී වාතාවරණයක් නිර්මාණය වෙනවා.”

“කාන්තා ක්‍රිකට් ශූරතාවය මඟින් ලොව වටා ක්‍රිකට් රසිකයින් ක්‍රීඩාවට ඇද ගන්න එකයි අපේ අරමුණ. මම සුභ පතනවා ICC කාන්තා ශූරතාවයේ කණ්ඩායමේ සියල්ලටම තරගාවලිය හොඳින් කරන්න කියලා සහ නෙදර්ලන්තය, පැපුවා නිව් ගිනියා, ස්කොට්ලන්තය, තායිලන්තය හා එක්සත් ජනපදය ට මම සුබ පතනවා මේක පන්දුවාර 50ගේ ක්‍රිකට් ඔවුන්ගේ රටවල දියුණු කරන්න හොඳ අවස්ථාවක් වෙයි කියලා.”

නව කණ්ඩායම් හඳුන්වා දීමෙන් ක්‍රීඩාවට වන වාසිය ගැන අදහස් දක්වමින් ඕස්ට්‍රේලියානු නායක Meg Lanning මෙසේ පවසා සිටියා. “ශූරතාවලියේ තෙවන අදියර ඉතා උද්වේගකර වෙයි.”

“අවසන් එක්දින ක්‍රිකට් ලෝක කුසලානය දෙස බලන කොට අපි දැක්කා නැගී එන කණ්ඩායම් ගොඩක්. ඒ නිසා අපිට හොඳටම ක්‍රීඩා කරන්න වෙනවා. දිනෙන් දින වෙනස් වෙන්න ක්‍රම සොයා ගැනීම ගැන අපි අපේ කණ්ඩායම ගැන ආඩම්බරයි. බංගලාදේශය හා අයර්ලන්තය එනවා කියන්නේ අපිට තව තරග ක්‍රීඩා කරන්න ලැබෙනවා විතරක් නොවේ ඔවුන්ටත් හොඳම කණ්ඩායම් සමඟින් ක්‍රීඩා කරන්න අවස්ථාව හිමි වෙනවා.”

“ICC කාන්තා ක්‍රිකට් ශූරතාවය කාන්තා ක්‍රිකට් වලට ඉතා වැදගත් වගේම කණ්ඩායම් 10ක් දක්වා එය ඉහළ දැමීමට ගත් තීරණය නිවැරදියි”, එංගලන්ත ක්‍රිකට් නායක Heather Knight පවසා තිබුණා.

IWC 2022-25 Match-ups:

2022-25 ICC කාන්තා ශූරතාවයේ තරග සැලැස්ම

ශ්‍රී ලංකාව

  • සත්කාරක – ඉන්දියාව, නවසීලන්තය, බංගලාදේශය, බටහිර ඉන්දීය කොදෙව්
  • සංචාරක – එංගලන්තය, දකුණු අප්‍රිකාව, පාකිස්තානය, අයර්ලන්තය

ඕස්ට්‍රේලියාව

  • සත්කාරක – ඉන්දියාව, දකුණු අප්‍රිකාව, පාකිස්තානය, බටහිර ඉන්දීය කොදෙව්
  • සංචාරක – එංගලන්තය, නවසීලන්තය, බංගලාදේශය, අයර්ලන්තය

බංග්ලාදේශය

  • සත්කාරක – ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, පාකිස්තානය, අයර්ලන්තය
  • සංචාරක – නවසීලන්තය, දකුණු අප්‍රිකාව, ශ්‍රී ලංකාව, බටහිර ඉන්දීය කොදෙව්

එංගලන්තය

  • සත්කාරක – ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, පාකිස්තානය, ශ්‍රී ලංකාව
  • සංචාරක – නවසීලන්තය, දකුණු අප්‍රිකාව, අයර්ලන්තය, බටහිර ඉන්දීය කොදෙව්

ඉන්දියාව

  • සත්කාරක – නවසීලන්තය, දකුණු අප්‍රිකාව, අයර්ලන්තය, බටහිර ඉන්දීය කොදෙව්
  • සංචාරක – එංගලන්තය, ඕස්ට්‍රේලියාව, බංගලාදේශය, ශ්‍රී ලංකාව

අයර්ලන්තය

  • සත්කාරක – එංගලන්තය, ඕස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව, ශ්‍රී ලංකාව
  • සංචාරක – ඉන්දියාව, බංගලාදේශය, පාකිස්තානය, බටහිර ඉන්දීය කොදෙව්

නවසීලන්තය

  • සත්කාරක – එංගලන්තය, ඕස්ට්‍රේලියාව, බංගලාදේශය, පාකිස්තානය
  • සංචාරක – ඉන්දියාව, දකුණු අප්‍රිකාව, ශ්‍රී ලංකාව, බටහිර ඉන්දීය කොදෙව්

පාකිස්තානය

  • සත්කාරක – දකුණු අප්‍රිකාව, අයර්ලන්තය, ශ්‍රී ලංකාව, බටහිර ඉන්දීය කොදෙව්
  • සංචාරක – එංගලන්තය, නවසීලන්තය, ඕස්ට්‍රේලියාව, බංගලාදේශය

දකුණු අප්‍රිකාව

  • සත්කාරක – එංගලන්තය, නවසීලන්තය, බංගලාදේශය, ශ්‍රී ලංකාව
  • සංචාරක – ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, පාකිස්තානය, අයර්ලන්තය

බටහිර ඉන්දීය කොදෙව්

  • සත්කාරක – එංගලන්තය, නවසීලන්තය, බංගලාදේශය, අයර්ලන්තය
  • සංචාරක – ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, පාකිස්තානය, අයර්ලන්තය

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<