අශාන්, නුවනිඳු, රමින්ද සහ අහන් දක්ෂතා දක්වයි

SLC Major League Cricket Tournament 2022

543
SLC Major League Cricket Tournament 2022

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major League ක්‍රිකට් තරගාවලියේ 7 වැනි සතියේ පළමු දිනය වූ අද දවස (30) නිමාවේ දී අශාන් ප්‍රියංජන් තම පළමු පෙළ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර නුවනිඳු ප්‍රනාන්දු, රමින්ද විජේසූරිය සහ අහන් වික්‍රමසිංහ ශතක රැස් කිරීමට සමත් වීම කැපී පෙනුනා.

CCC කණ්ඩායමේ 33 වියැති දකුණතින් පිට දඟපන්දු යවන අශාන් ප්‍රියංජන් BRC කණ්ඩායමට එරෙහිව ලකුණු 51කට කඩුලු 8ක් දවා ගනිමින් තම හොඳම පන්දු යැවීම වාර්තා කළා. ඒ සමඟින් ඔහු පළමු පෙළ කඩුලු 150 සීමාව පසු කිරීමට ද සමත් වූ අතර තම 147 වැනි පළමු පෙළ තරගයට සහභාගී වන අශාන් මේ වන විට පිතිකරුවෙකු ලෙසින් ලකුණු 8000ක් ද වාර්තා කර තිබෙනවා.

SSC කණ්ඩායමේ 22 හැවිරිදි දකුණත් පිතිකරු නුවනිඳු ප්‍රනාන්දු මෙම තරගවාරයේ රැස් කරගන්නා ලද පස්වැනි ශතකය අද වාර්තා කළා. ඒ රාගම කණ්ඩායමට එරෙහිවයි. ඔහු එහි දී පන්දු 251කට මුහුණ දී හතරේ පහර 13ක් සහ හයේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 126ක් වාර්තා කරගත්තා.

පානදුර ක්‍රීඩා සමාජයේ 24 හැවිරිදි වමත් පිතිකරු රමින්ද විජේසූරිය නුගේගොඩ කණ්ඩායමට එරෙහිව පන්දු 136කට මුහුණ දෙමින් හතරේ පහර 15ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 119ක් රැස් කරගත්තා. ඒ සමඟින් ඔහු පළමු පෙළ ලකුණු 1000 කඩඉම පසු කිරීමට ද සමත් වුනා.

NCC කණ්ඩායමේ 21 හැවිරිදි දකුණත් පිතිකරු අහන් වික්‍රමසිංහ සැරසන්ස් කණ්ඩායමට එරෙහිව පන්දු 192කට මුහුණ දී හතරේ පහර 15ක් සහ හයේ පහර 6ක් සමඟින් නොදැවී ලකුණු 157ක් වාර්තා කරගත්තා. එය ඔහුගේ පළමු පෙළ දිවියේ මංගල ශතකයයි.

මේ අතර කුරුණෑගල යූත් ක්‍රීඩා සමාජයේ 25 හැවිරිදි දකුණත් පිතිකරු දමිත පෙරේරා අද තම පළමු පෙළ තරග දිවියේ ලකුණු 2000 කඩඉම පසු කිරීමට සමත් වුනා.

හලාවත මේරියන්ස් කණ්ඩායමේ විශ්ව චතුරංග, ටැමිල් යුනියන් කණ්ඩායමේ කමේෂ් නිර්මාල්, කෝල්ට්ස් කණ්ඩායමේ සංගීත් කුරේ සහ විශාද් රන්දික, කුරුණෑගල යූත් කණ්ඩායමේ දමිත පෙරේරා සහ සමීර සඳමාල්, NCC කණ්ඩායමේ සහන් ආරච්චිගේ සහ අම්ෂි ද සිල්වා,  Ace කැපිටල් කණ්ඩායමේ ලසිත් කෲස්පුල්ලේ සහ යුද හමුදා කණ්ඩායමේ ලක්ෂාන් එදිරිසිංහ අද අර්ධ ශතක ලාභීන්ගේ ලැයිස්තුවට එක් වුනා.

පන්දු යවන්නන් අතරින් ටැමිල් යුනියන් කණ්ඩායමේ 21 හැවිරිදි වමතින් දඟපන්දු යවන දිලුම් සුදීර හලාවත මේරියන්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 71කට කඩුලු 6ක් දවා ගනිමින් දක්ෂතා දැක්වූවා.

ඊට අමතරව හලාවත මේරියන්ස් කණ්ඩායමේ දකුණතින් පිට දඟපන්දු යවන ලසිත් ලක්ෂාන් සහ ගුවන් හමුදා කණ්ඩායමේ වමතින් දඟපන්දු යවන ගයාන් සිරිසෝම කඩුලු 5 බැගින්දවා ගැනීමට සමත් වුනා.

Group A

CCC සහ BRC අතර තරගය CCC ක්‍රීඩා පිටියේ දී

  • BRC – පළමු ඉනිම සියලු දෙනා දැවී 153 (50.2): ලහිරු සමරකෝන් 37, දනාල් හේමානන්ද 25, අශාන් ප්‍රියංජන් 8/51.
  • CCC – පළමු ඉනිම කඩුලු 5ක් දැවී 116 (35): අශාන් ප්‍රියංජන් 34, ලසිත් අබේරත්න නොදැවී 30, කමිඳු මෙන්ඩිස් 27, දුශාන් හේමන්ත 2/39.

කෝල්ට්ස් සහ මුවර්ස් අතර තරගය කෝල්ට්ස් ක්‍රීඩා පිටියේ දී

  • මුවර්ස් – පළමු ඉනිම සියලු දෙනා දැවී 126 (38.5): පසිඳු සූරියබණ්ඩාර 46, අදීශ තිලංචන නොදැවී 19, දුනිත් වෙල්ලාලගේ 4/32, ජෙහාන් ඩැනියෙල් 3/33.
  • කෝල්ට්ස් – පළමු ඉනිම කඩුලු 4ක් දැවී 178 (40): සංගීත් කුරේ නොදැවී 61, විශාද් රන්දික 54, ප්‍රියමාල් පෙරේරා නොදැවී 43, මිලාන් රත්නායක 2/40.

කලුතර සහ පොලිසිය අතර තරගය දොඹගොඩ යුද හමුදා ක්‍රීඩා පිටියේ දී

  • කලුතර – පළමු ඉනිම කඩුලු 3ක් දැවී 97 (34.3): යෙසිත් රූපසිංහ 42, නිපුන ගමගේ 23, නලින් ප්‍රියදර්ශන 2/26

කැන්ඩි කස්ටම්ස් සහ කුරුණෑගල යූත් අතර තරගය NCC පිටියේ දී

  • කුරුණෑගල යූත් – පළමු ඉනිම කඩුලු 3ක් දැවී 271 (82): දමිත් පෙරේරා 92, සමීර සඳමාල් නොදැවී 87, ගයාන් මනීෂාන් 48, සම්පත් පෙරේරා 2/44.

රාගම සහ SSC අතර තරගය තර්ස්ටන් ක්‍රීඩා පිටියේ දී

  • SSC – පළමු ඉනිම කඩුලු 5ක් දැවී 220 (70): නුවනිඳු ප්‍රනාන්දු නොදැවී 126, සම්මු අශාන් 38, රොෂේන් සිල්වා 34, නිපුන් මාලිංග 3/34, ශෂික දුල්ශාන් 2/81.

සෙබස්තියනයිට්ස් සහ ගාල්ල අතර තරගය පී. සරා Oval ක්‍රිකට් පිටියේ දී

  • සෙබස්තියනයිට්ස් – පළමු ඉනිම කඩුලු 6ක් දැවී 227 (70.1): සචිත ජයතිලක නොදැවී 45, ලොහාන් ද සොයිසා 44, Saurabh Dubey 38, ඉෂාන් රංගන 32, රයන් ප්‍රනාන්දු 24, Raghu Sharma 4/60, සඳුන් මධුශංක 2/50.

Group B

හලාවත මේරියන්ස් සහ ටැමිල් යුනියන් අතර තරගය ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී

  • හලාවත මේරියන්ස් – පළමු ඉනිම සියලු දෙනා දැවී 191 (58.1): විශ්ව චතුරංග 58, ලසිත් ලක්ෂාන් 20, කසුන් විදුර 24, දසුන් සෙනෙවිරත්න 28, දිලුම් සුදීර 6/71, රවිඳු ප්‍රනාන්දු 3/76.
  • ටැමිල් යුනියන් – පළමු ඉනිම කඩුලු 9ක් දැවී 155 (34.2): කමේෂ් නිර්මාල් නොදැවී 61, නවෝද් පරණවිතාන 24, රවිඳු ප්‍රනාන්දු 20, ලසිත් ලක්ෂාන් 5/57, Swapnil Gugale 3/55.

පානදුර සහ නුගේගොඩ අතර තරගය පානදුර ක්‍රීඩා පිටියේ දී

  • පානදුර – පළමු ඉනිම කඩුලු 6ක් දැවී 259 (64): රමින්ද විජේසූරිය නොදැවී 119, තරිඳු කෞෂාල් 31, රොෂාන් විජේනායක 26, නිමේෂ් විමුක්ති නොදැවී 30, Qaiser Ashraf 3/98, සහන් නානායක්කාර 2/50.

සැරසන්ස් සහ NCC අතර තරගය මූවර්ස් ක්‍රීඩා පිටියේ දී

  • NCC – පළමු ඉනිම කඩුලු 7ක් දැවී 337 (91): අහන් වික්‍රමසිංහ නොදැවී 157, සහන් ආරච්චිගේ 61, අම්ෂි ද සිල්වා නොදැවී 54, ලහිරු උදාර 28, දුශාන් විමුක්ති 4/128, මොහොමඩ් ඩිල්ශාඩ් 2/61.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ Ace කැපිටල් අතර තරගය කටුනායක ගුවන් හමුදා පිටියේ දී

  • Ace කැපිටල් – පළමු ඉනිම සියලු දෙනා දැවී 312 (69.2): ලසිත් කෲස්පුල්ලේ 62, Ninad Kadam 56, ප්‍රමුද් හෙට්ටිවත්ත 49, ඕෂඳ ප්‍රනාන්දු 48, තනුක දාබරේ 27, හර්ෂ කුරේ 37, ගයාන් සිරිසෝම 5/116, ලසඳ රුක්මල් 2/61, මොවින් සුබසිංහ 2/56.
  • ගුවන් හමුදාව – පළමු ඉනිම කඩුලු 4ක් දැවී 20 (16.3): Mohammed Irfan 4/10.

ශ්‍රී ලංකා යුද හමුදාව සහ මීගමුව අතර තරගය පනාගොඩ යුද හමුදා ක්‍රීඩා පිටියේ දී

  • යුද හමුදාව – පළමු ඉනිම කඩුලු 6ක් දැවී 129 (39.2): ලක්ෂාන් එදිරිසිංහ 51, ෂෙහාන් ප්‍රනාන්දු 24, අශාන් රන්දික 23, චනුර ප්‍රනාන්දු 3/48.

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ බ්ලූම්ෆීල්ඩ් අතර තරගය වැලිසර නාවික හමුදා ක්‍රීඩා පිටියේ දී

  • බ්ලූම්ෆීල්ඩ් – කඩුල්ලක් දැවී 149 (39): යොහාන් ද සිල්වා නොදැවී 61, Hasnain Bokhari නොදැවී 86.

මේ සියලු තරග හෙට (ඔක්තෝබර් 01 වැනිදා) දෙවැනි දිනයට ක්‍රියාත්මක වීමට නියමිතයි. තරගාවලියේ නවතම තොරතුරු දැනගැනීමට රැඳී සිටින්න, ThePapare.com අප සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<