ජාතික දැල්පන්දු ක්‍රීඩාවට Dialog සවිය තවදුරටත්

158
Dialog Axiata PLC සමාගමේ අලෙවි ප්‍රධානී අශානි සේනාරත්න මහත්මිය විසින් ශ‍්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ සභාපති ලක්ෂ්මී වික්ටෝරියා මහත්මියට අනුග්‍රාහකත්ව චෙක්පත නිල වශයෙන් පිරිනැමූ අවස්ථාව.

ශ‍්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන Dialog Axiata PLC, මෙරට ජාතික ක්‍රීඩා වෙනුවෙන් සිය ආයතනික කැපවීම තවදුරටත් තහවුරු කරමින්, ජාතික දැල්පන්දු සම්මේලනය වෙත ලබා දෙන සිය අනුග්‍රාහකත්වය 2024 දක්වා දීර්ඝ කිරීමට කටයුතු කරන ලදි.

දැල්පන්දු යනු මෙරට වඩාත් ප්‍රචලිත ක්‍රීඩාවක් වන අතර එහි දී පාසල් මට්ටමෙන්, ක්‍රීඩා සමාජ මට්ටමෙන් සහ ජාතික මට්ටමෙන් ක්‍රීඩිකාවන් රැසක් සක්‍රියව ක්‍රීඩා කරති.

ජාතික දැල්පන්දු කණ්ඩායම ආසියානු ශූරතාවලියේ දී අඛණ්ඩව කැපී පෙනෙන දස්කම් දක්වා තිබෙන අතර වත්මන් ආසියානු ශූරයන් වන්නේ ද ශ‍්‍රී ලංකාවයි.

2018 දී පළමු වරට ජාතික දැල්පන්දු සම්මේලනයට සිය සහයෝගය ලබා දුන් Dialog, එතැන් පටන් ඉකුත් වසර ගණනාව පුරා සිය දායකත්වය පෙරට රැගෙන යමින් දැල්පන්දු ක්‍රීඩාව නැංවීමට සහ හෙට දිනයේ ශූරියන් බිහිකිරීම වෙනුවෙන් ජාතික කනිෂ්ඨ සහ ජ්‍යේෂ්ඨ ශූරතාවන්ට ද අනුග්‍රහය දක්වන ලදි.

”පසුගිය වසර කිහිපයේ දී කොවිඩ්-19 හේතුවෙන් මුහුණ දීමට සිදු වූ අභියෝග මධ්‍යයේ වුවද, අප අපගේ ජාතික ජ්‍යේෂ්ඨ ශූරතාව අඛණ්ඩව පැවැත්වීමට සමත් වුනා. අප අනුග්‍රාහක Dialog Axiata නොවන්නට එවැන්නක් කිරීමේ හැකියාව අපට හිමිවන්නේ නෑ.

ශ‍්‍රී ලංකාවේ දැල්පන්දු ක්‍රීඩාවට තවදුරටත් සිය සහය දැක්වීමට ඉදිරිපත් වීම සම්බන්ධයෙන් Dialog Axiata සමාගමට මගේ ස්තුතිය පිරිනැමෙනවා,” යැයි ශ‍්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ සභාපති ලක්ෂ්මී වික්ටෝරියා මහත්මිය පැවසුවා.

”ශ‍්‍රී ලංකාවේ ක්‍රීඩාව පොහොසත් කිරීමට සහ හෙට දවසේ ශූරයන් බිහි කිරීමට සහයෝගය දක්වමින්, ජාතික දැල්පන්දු සම්මේලනය සමඟ අපගේ හවුල්කාරීත්වය පෙරට රැගෙන යෑමට හැකි වීම ගැන අපි සතුටට පත්වෙනවා.

ජාතික දැල්පන්දු කණ්ඩායම මේ තාක් ආසියානු කලාපයේ අඛණ්ඩ දස්කම් දැක්වීමට සමත්ව සිටිනවා. එසේම මෙම ජයග්‍රාහී රිද්මය ඔවුන් සෙසු ජාත්‍යන්තර තරගාවලිවල දී ද පවත්වා ගනු ඇති බව මට විශ්වාසයි,” යනුවෙන් Dialog Axiata PLC සමාගමේ අලෙවි ප්‍රධානි අශානි සේනාරත්න මහත්මිය පැවසුවා.

Dialog Axiata ජාතික ක්‍රිකට්, වොලිබෝල් සහ Esports කණ්ඩායම් හි නිල අනුග‍්‍රාහකයා ලෙස කටයුතු කරයි. ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලිය බලගැන්වීමට අමතරව පාසල් රග්බි, පාපන්දු තරගාවලි සහ යුද හමුදා පැරා ක්‍රීඩා තරගාවලිය, ජාතික පැරා ක්‍රීඩා තරගාවලිය මෙන්ම ලෝක පැරාලිම්පික් තරගාවලියට සහභාගි වන ශ‍්‍රී ලංකා කණ්ඩායම බලගැන්වීමට කටයුතු කර ඇත.

ඡායාරූපයේ වමේ සිට දකුණට: ශ‍්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ ලේකම් වින්දනා දයාරත්න මහත්මිය සහ ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ භාණ්ඩාගාරික පද්මිණී හොරණගේ මහත්මිය.

මාධ්‍ය නිවේදනයකි.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<