Major League පිටියට අදත් මහ වැසි

SLC Major League Cricket Tournament 2022

172

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major League තුන් දින ක්‍රිකට් තරගාවලියේ 10 වැනි සතියේ දෙවැනි දිනය වූ අද (21) දවස ද වර්ෂාවට ඉඩ දී බලා සිටීමට ක්‍රීඩකයන්ට සහ විනිසුරුවන්ට සිදුවුනා.

පෙර දිනයේ තරග 2ක යැවූ පන්දු 79ට අමතරව අද දවසේ දී එම තරග දෙකේ එකඳු හෝ පන්දුවක්වත් යැවීමට ඉඩ ලැබුණේ නැහැ.

මේ අතර අද දෙවැනි දිනයට ආරම්භ වීමට නියමිතව තිබූ අනෙකුත් තරග සියල්ලම ද පන්දුවක්වත් නොයවා අතහැර දැමුනා. එසේ අතහැර දැමුනේ Group A කාණ්ඩයෙන් BRC පිටියේ දී පැවැත්වීමට නියමිතව තිබූ BRC සහ කෝල්ට්ස් අතර තරගය, ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතව තිබූ ගාල්ල සහ CCC අතර තරගය, තර්ස්ටන් පිටියේ දී පැවැත්වීමට නියමිතව තිබූ කැන්ඩි කස්ටම්ස් සහ සෙබස්තියනයිට්ස් අතර තරගය, කුරුණෑගල වෙළගෙදර ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතව තිබූ කුරුණෑගල යූත් සහ පොලිසිය අතර තරගය සහ Group B කාණ්ඩයෙන් දොඹගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා යුද හමුදාව සහ සැරසන්ස් අතර තරගයයි.

එසේ වූවත් අද පළමු දිනයට කටුනායක FTZ ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූ Ace කැපිටල් සහ ශ්‍රී ලංකා නාවික හමුදාව අතර තරගයේ දී පන්දුවාර 18.3ක් පමණක් ක්‍රියාත්මක කිරීමට අවස්ථාව සැලසුනා.

දිනය පුරා ඇද වැටුන අධික වැසි හමුවේ අද පළමු දිනයට ආරම්භ කිරීමට නියමිතව තිබූ අනෙකුත් තරග සියල්ලම ද එකඳු හෝ පන්දුවක් නොයවා අතහැර දැමුනා. එසේ අතහැර දැමුනේ Group A කාණ්ඩයෙන් මුවර්ස් ක්‍රීඩා පිටියේ දී ආරම්භ වීමට නියමිතව තිබූ මුවර්ස් සහ රාගම අතර තරගයත්, බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා පිටියේ දී පැවැත්වීමට නියමිතව තිබූ ලංකන් සහ කලුතර අතර තරගයත්, Group B කාණ්ඩයෙන් මග්ගොන Surry ක්‍රීඩා පිටියේ දී පැවැත්වීමට නියමිතව තිබූ බදුරලිය සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව අතර තරගයත්, පානදුර ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතව තිබූ පානදුර සහ NCC අතර තරගයි.

මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද සවස 4.00ට නිකුත් කරනු ලැබූ ඉදිරි පැය 36 සඳහා වන සාමාන්‍ය කාලගුණ අනාවැකියේ දැක්වෙන්නේ තරග පැවැත්වෙන බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.

දැනට ක්‍රියාත්මක තරගවල කෙටි ලකුණු පුවරු

Group B

  • හලාවත මේරියන්ස් සහ මීගමුව අතර තරගය ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී

මීගමුව – පළමු ඉනිම කිසිවෙක් නොදැවී 7 (4.1): ඩිල්ශාන් මුණවීර නොදැවී 5, අශේන් සිල්වා නොදැවී 2.

  • නුගේගොඩ සහ බ්ලූම්ෆීල්ඩ් අතර තරගය මොරටුව ද සොයිසා ක්‍රීඩා පිටියේ දී

නුගේගොඩ – පළමු ඉනිම කඩුල්ලක් දැවී 11 (9): අභිශේක් ලියනාරච්චි නොදැවී 4, Murtaza Trunkwala නොදැවී 1, මධුක ලියනපතිරණගේ 1/5.

මෙම තරග හෙට (23) තෙවැනි සහ අවසන් දිනයට ක්‍රියාත්මක වීමට නියමිතයි.

  • Ace කැපිටල් සහ ශ්‍රී ලංකා නාවික හමුදාව අතර තරගය කටුනායක FTZ ක්‍රීඩාංගණයේ දී

නාවික හමුදාව – පළමු ඉනිම කඩුලු 2ක් දැවී 56 (18.3): අදීෂ නානායක්කාර නොදැවී 34, සුපුන් ලීලාරත්න 18, Mohammad Irfan 2/18.

මෙම තරගය හෙට (23) දෙවැනි දිනයට ක්‍රියාත්මක වීමට නියමිතයි.

දවසින් දවස උණුසුම් වන තරගාවලියේ නවතම තොරතුරු දැනගැනීමට රැඳී සිටින්න, ThePapare.com අප සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<