පන්දු 79කින් අවසන් වූ Major League පිටිය

SLC Major League Cricket Tournament 2022

104

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major League තුන් දින ක්‍රිකට් තරගාවලියේ 10 වැනි සතියේ පළමු දිනය අද (21) ආරම්භ වුව ද පැවති වර්ෂාව හේතුවෙන් ක්‍රියාත්මක වූයේ තරග 2ක පන්දු 79ක් පමණයි.

පැවැත්වීමට නියමිතව තිබූ අනෙක් තරග 5, දිනයේ එකඳු පන්දුවක් හෝ නොයවා පළමු දිනයට අතහැර දැමීමට ප්‍රධාන විනිසුරුවන් තීරණය කළා.

දිවයින පුරා පවතින වැසි සහිත තත්ත්වය සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන ඉදිරි පැය 36ක් සඳහා වන සාමාන්‍ය කාලගුණ අනාවැකියේ දැක්වෙන්නේ තරග පැවැත්වෙන බස්නාහිර, වයඹ පළාත්වලට සහ ගාල්ල දිස්ත්‍රික්කයේ ද විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙන බවයි. ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75කට වැඩි වැසි ඇති විය හැකි බව ද එහි දැක්වෙනවා.

පෙර සතියේ පැවති තරගවලට ද අයහපත් කාලගුණ තත්ත්වය දැඩිව බලපෑම් කළා. ඒ හේතුවෙන් එම සතියේ පැවති තරගවල පළමු දින 2ම වර්ෂාවට අතහැර දැමුන අතර තෙවැනි දිනයේ දී ආරම්භ වූයේ තරග 10ක් පමණයි. එහෙත් එම තරග ද විසඳුමකින් තොරව අවසන් වුනා.

එම සතියේ Group A කාණ්ඩයෙන් ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතව තිබූ ගාල්ල සහ මුවර්ස් අතර තරගයත්, මග්ගොන Surrey ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතව තිබූ කලුතර සහ රාගම අතර තරගයත් එකඳු පන්දුවක් හෝ නොයවා අතහැර දැමුනා.

මේ අතර වර්ෂාව හේතුවෙන් අද ආරම්භ වීමට නියමිතව තිබූ තවත් තරග 5ක් හෙට (22) ආරම්භ කිරීමට ද සැලසුම් කර තිබෙනවා. එම තරග වන්නේ, Group A කාණ්ඩයෙන් මුවර්ස් සහ රාගම අතර තරගය මුවර්ස් ක්‍රීඩා පිටියේ දී, ලංකන් සහ කලුතර අතර තරගය බ්ලූම්ෆීල්ඩ් පිටියේ දී සහ Group B කාණ්ඩයෙන් Ace කැපිටල් සහ ශ්‍රී ලංකා නාවික හමුදාව කටුනායක දී, බදුරලිය සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව අතර තරගය මග්ගොන Surrey ක්‍රීඩා පිටියේ දී, පානදුර සහ NCC අතර තරගය පානදුර දී.

Group B

හලාවත මේරියන්ස් සහ මීගමුව අතර තරගය ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී

  • මීගමුව – පළමු ඉනිම කිසිවෙක් නොදැවී 7 (4.1): ඩිල්ශාන් මුණවීර නොදැවී 5, අශේන් සිල්වා නොදැවී 2.

නුගේගොඩ සහ බ්ලූම්ෆීල්ඩ් අතර තරගය මොරටුව ද සොයිසා ක්‍රීඩා පිටියේ දී

  • නුගේගොඩ – පළමු ඉනිම කඩුල්ලක් දැවී 11 (9): අභිශේක් ලියනාරච්චි නොදැවී 4, Murtaza Trunkwala නොදැවී 1, මධුක ලියනපතිරණගේ 1/5.

අද පැවැත්වීමට නියමිතව තිබූ තරග අතරින් පන්දුවක් හෝ නොයවා පළමු දිනයට අවසන් කළ තරග

Group A

  • BRC සහ කෝල්ට්ස් අතර තරගය BRC පිටියේ දී
  • ගාල්ල සහ CCC අතර තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී
  • කැන්ඩි කස්ටම්ස් සහ සෙබස්තියනයිට්ස් අතර තරගය තර්ස්ටන් පිටියේ දී
  • කුරුණෑගල යූත් සහ පොලිසිය අතර තරගය කුරුණෑගල වෙළගෙදර ක්‍රීඩාංගණයේ දී

Group B

  • ශ්‍රී ලංකා යුද හමුදාව සහ සැරසන්ස් අතර තරගය දොඹගොඩ යුද හමුදා ක්‍රීඩා පිටියේ දී

මෙම තරග හෙට (22) දෙවැනි දිනයට ආරම්භ වීමට නියමිතයි.

දවසින් දවස උණුසුම් වන තරගාවලියේ නවතම තොරතුරු දැනගැනීමට රැඳී සිටින්න, ThePapare.com අප සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<