ඉංසක සිරිවර්ධනගෙන් අගනා පන්දු යැවීමක්

SLC Major Clubs T20 Tournament 2022

380
SLC Major Clubs T20 Tournament 2022

පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පැවැත්වීමට නොහැකි වූ, නැවත වතාවක් පැවැත්වීමට තීරණය කෙරුනු ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ තරග දෙකක් අද (05) කොළඹ NCC ක්‍රීඩාංගණයේ දී පැවැත්වුනා.

එහි දී Kalutara Town Club කණ්ඩායම නියෝජනය කරන 22 හැවිරිදි වමතින් දඟපන්දු යවන ඉංසක සිරිවර්ධන පන්දුවාර දෙකක දී ලකුණු 05කට කඩුලු 5ක් දවා ගනිමින් දවසේ කැපී පෙනෙන ක්‍රීඩකයා බවට පත්වුනා. එය ඔහුගේ විස්සයි විස්ස තරග පිටියේ හොඳම පන්දු යැවීමයි.

Galle CC සමඟ පැවති මෙම තරගය අයහපත් කාලගුණ තත්ත්වය සහ ක්‍රීඩාංගණයේ පැවති අයහපත් තත්ත්වය හේතුවෙන් ආරම්භ කෙරුනේ පන්දුවාර 6ක තරගයක් ලෙසින්. ඒ අනුව උරගා බැලුන කාසියේ වාසිය දිනාගත් Galle CC නායකයා පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.

එහි විපාක විඳි ඔවුන්ගේ ලකුණු පුවරුව කඩුලු 9ක් දැවී ලකුණු 30ක් ලෙසින් දැක්වුනා. එම ඉනිම වෙනුවෙන් ආරම්භක පිතිකරු කෞසිත කොඩිතුවක්කු පන්දු 10කට මුහුණ දෙමින් හයේ පහරක් සමඟින් ලකුණු 12ක් රැස් කරගත් අතර අනෙකුත් කිසිඳු ක්‍රීඩකයෙකුට ඉලක්කම් දෙකේ සීමාව පසු කිරීමට ඉඩ ලැබුනේ නැහැ.

Galle CC ඉනිම පාලනය කිරීමේ දී ඉංසක සිරිවර්ධන කඩුලු 5ක් දවා ගත් අතර තරිඳු සිරිවර්ධන කඩුලු 2ක් සහ ජනිඳු ඉනුවර එක් කඩුල්ලක් දවා ගත්තා.

පිළිතුරු ඉනිමේ දී Kalutara Town Club කණ්ඩායමේ කිසිඳු ක්‍රීඩකයෙකුට ඉලක්කම් දෙකේ සීමාව පසු කිරීමට Galle CC පන්දු යවන්නෝ ඉඩ ලබා දුන්නේ නැහැ. ඒ අනුව ඔවුන්ගේ ඉනිම ද කඩුලු 9ක් දැවී ලකුණු 30ක් බවට පත්වුනා.

එහි දී හරීන් බුද්ධිල ලකුණු 7කට කඩුලු 3ක් සහ සඳුන් මධුශංක ලකුණු 10කට කඩුලු 2ක් දවා ගත්තා.

මේ අතර අද පස්වරුවේ එම ක්‍රීඩාංගණයේ දීම පැවති Baduraliya SC සහ Lankan CC අතර තරගය නියමිත පන්දුවාර ප්‍රමාණයෙන් යුත් තරගයක් සේ ක්‍රියාත්මක වූ අතර එහි ජයග්‍රහණය Baduraliya SC කණ්ඩායමට හිමි වුනා.

Galle CC සහ Kalutara Town Club අතර තරගය – NCC ක්‍රීඩා පිටියේ දී

Galle CC – කඩුලු 9ක් දැවී 30 (6): කෞසිත කොඩිතුවක්කු 12, ඉංසක සිරිවර්ධන 5/05, තරිඳු සිරිවර්ධන 2/12.

Kalutara Town Club – කඩුලු 9ක් දැවී 30 (6): අභිෂේක් ආනන්දකුමාර් 07, සඳුන් මධුශංක 2/10, හරීන් බුද්ධිල 3/07.

තරගය ලකුණු සම වීමෙන් අවසන් වූවා.

Baduraliya SC සහ Lankan CC අතර තරගය – NCC ක්‍රීඩා පිටියේ දී

Baduraliya SC – කඩුලු 7ක් දැවී 118 (20): මලිඳු මදුරංග 23, මිතිර තෙනුර 22, අනුක් ප්‍රනාන්දු 22, ලසිඳු අරෝෂ නොදැවී 21, මිරංග වික්‍රමගේ 3/18, රජීව වීරසිංහ 2/14.

Lankan CC – කඩුලු 7ක් දැවී 97 (20): ෂෙහාන් ප්‍රනාන්දු 19, අනුක් ප්‍රනාන්දු 3/19, ලක්මාල් ද සිල්වා 2/15.

Baduraliya SC කණ්ඩායමට ලකුණු 21ක ජයග්‍රහණයක්.

නැවත වතාවක් උණුසුම් මුහුණුවරක් ගන්නා මෙම තරගාවලියේ තවත් තරග 6ක් හෙට (06) ක්‍රීඩාංගණ තුනක දී පැවැත්වීමට නියමිත අතර එහි උණුසුම විඳ ගැනීමට රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<