නිල්, අළු, රතු, කොළ එකිනෙකා ගැටෙන SLC ආරාධිත T20 ලීගය

SLC ආරාධිත විස්සයි විස්ස ලීගය 2022

1794

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන 2022 SLC ආරාධිත විස්සයි විස්ස තරගාවලිය අද (8) සිට එළඹෙන 15 වැනිදා දක්වා කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

තරගාවලිය සඳහා කණ්ඩායම් 4ක් නියෝජනය කරමින් ක්‍රීඩකයින් 60 දෙනෙකු තරග බිමට පිවිසීමට නියමිතයි.

මේ මස 27 වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී ආරම්භ වීමට නියමිත ආසියානු කුසලානය සහ 2022 විස්සයි විස්ස ලෝක කුසලානය ඉලක්ක කර ගනිමින් මේ තරගාවලිය පැවැත්වෙනවා.

තරගාවලියේ ප්‍රබලතම කණ්ඩායම ලෙස කුසල් මෙන්ඩිස් නායකත්වය දරන SLC Reds කණ්ඩායම හැඳින්විය හැකි අතර එම කණ්ඩායම සඳහා භානුක රාජපක්ෂ, වනිඳු හසරංග, දුෂ්මන්ත චමීර, මහීෂ් තීක්ෂණ, දුනිත් වෙල්ලාලගේ, කමිඳු මෙන්ඩිස් වැනි ප්‍රබල ක්‍රීඩකයින් රැසක් ඇතුළත්.

ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමේ නායක දසුන් ශානක SLC Greens කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන අතර එම කණ්ඩායම සඳහා පැතුම් නිස්සංක, නිරෝෂන් දික්වැල්ල, දිනේෂ් චන්දිමාල්, රමේෂ් මෙන්ඩිස්, බිනුර ප්‍රනාන්දු, ජෙෆ්රි වැන්ඩර්සේ සහ නුවන් තුෂාර වැනි මෑතක දී ජාතික කණ්ඩායම නියෝජනය කරන්නට වරම් ලද ක්‍රීඩකයින් ඇතුළත්.

චරිත් අසලංක නායකත්වය දරන SLC Blues කණ්ඩායමට ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක, ධනංජය ද සිල්වා, චාමික කරුණාරත්න, ලහිරු කුමාර, ප්‍රවීන් ජයවික්‍රම සහ කසුන් රාජිත ඇතුළත්.

තරගාවලියේ අනෙක් කණ්ඩායම වන SLC Greys කණ්ඩායමේ නායකත්වය අශාන් ප්‍රියන්ජන් හට හිමිව ඇති අතර වර්තමානයේ දේශීය පිටියේ දක්ෂ ක්‍රීඩකයින්ගෙන් සැදුම්ලත් එම කණ්ඩායමට අකිල ධනංජය, අශාන් රන්දික, දුවිඳු තිලකරත්න, මිනෝද් භානුක වැනි ක්‍රීඩකයින් ඇතුළත් වෙනවා.

තරග වදිනු ලබන කණ්ඩායම්,

අවිශ්ක ගුණවර්ධන, තිළිණ කණ්ඩම්බි, මනෝජ් අබේවික්‍රම සහ දර්ශන ගමගේ යන පුහුණුකරුවන් පිළිවෙළින් Team Greys, Team Greens, Team Blues සහ Team Reds හි ප්‍රධාන පුහුණුකරුවන් ලෙස කටයුතු කිරීමට නියමිතයි.

උපුල් චන්දන (Team Reds), මලින්ද වර්ණපුර (Team Blues), රුවින් පීරිස් (Team Greens) සහ සජීව වීරකෝන් (Team Greys) සහය පුහුණුකරුවන් ලෙස කටයුතු කිරීමට නියමිතයි.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මේ සමස්ත තරගාවලියේ මූලික වටයට තරග 6ක් ඇතුළත්. මූලික වටය අවසානයේ පෙරමුණේ පසු වන කණ්ඩායම් ද්විත්වය අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගන්නා අතර අවසන් මහා තරගය අගෝස්තු 15 වැනිදා පැවැත්වීමට නියමිතයි.

තරග නැරඹීම සඳහා ප්‍රේක්ෂකයින්ගෙන් කිසිදු ගාස්තුවක් අය නොකරන අතර දහවල් 2:00 සිට ක්‍රීඩාංගණයේ දොරටු විවර කර තැබෙනවා.

තරගාවලියේ තරග කාලසටහන,

තරගාවලියේ සියලු පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<