ආරාධිත අවසන් වීරයා – කනික

371

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන ලද ආරාධිත ක්‍රීඩා සමාජ වයස අවුරුදු 23න් පහළ ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ වීරයා ලෙසින් අභිෂේක ලැබුවේ කළුතර PCC කණ්ඩායමේ කනික දයාරත්න.

මෙය කනික සහභාගී වූ පළමු ක්‍රීඩා සමාජ තරගාවලිය වූ අතර කණ්ඩායමේ නායකත්වයේ වගකීම ද පැවරුණේ ඔහුට.

“ඒක මට ලොකු අත්දැකීමක්. පළමු වරට නායකයෙක් ලෙසින් කණ්ඩායම මෙහෙයවන්නට ලැබීමත්, එම තරගාවලිය ජයග්‍රහණය කරා ගෙන යන්නට ලැබීමත් සහ අවසන් මහා තරගයේ වීරයා වීමට ලැබීමත් ගැන ගොඩක් සතුටුයි. මේ වෙනුවෙන් දායකත්වය දැක්වූ කණ්ඩායමේ සියලුම දෙනාට සහ මාව නායකත්වයට පත් කරන්නට තරම් මා කෙරෙහි විශ්වාසය තැබූ කණ්ඩායමේ කළමනාකාරිත්වයටත් ස්තුතියි,” කනික ThePapare.com සමඟ කතාබහට එක් වෙමින් පැවසුවා.

කනික මෙම තරගාවලියේ තරග 7 ඉනිම් 7ක දී ලකුණු 218ක් ලබා ගන්නවා. එහෙත් එම ඉනිම් ආරම්භ වෙන්නේ කිසිදු ලකුණක් ලබා නොගත් ඉනිමකින්.

“ඒක හරි අවාසනාවන්ත ආරම්භයක්. මට පැවරිලා තිබුණේ මැදිපෙළින් පිටියට පිවිසෙමින් කණ්ඩායම ඉදිරියට ගෙනි යන්න. නමුත් මගෙන් ඒක ඉටු වුනේ නැහැ. ඒක මගේ මුල් ම ක්‍රීඩා සමාජ තරගය. ඒ නිසා ඒක හිතට ලොකු වදයක් වුනා. මේ නිසා හැම දෙයක් ම අවසානයි කියලත් හිතුණා.”

නමුත් ඊට පසුව පැවති තරගවල දී ඔහු මැදිපෙළ ශක්තිමත් කරන කදිම ආරක්ෂකයෙක් වුනා.

ඔහුගේ ඉනිම් අතර අම්බලන්ගොඩ සිංහ ක්‍රීඩා සමාජයට එරෙහිව පන්දු 63කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 50ක් ලබා ගැනීම සේ ම අවසන් මහා තරගයේ දී මහනුවර ක්‍රිකට් සමාජයට එරෙහිව පන්දු 98කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින්  ලබා ගත් ලකුණු 74ක් ද ඊට අයත් වෙනවා.

කනික දයාරත්නගේ නායකත්වයේ ගමන් මඟ
ක්‍රීඩා සමාජය ප්‍රතිඵලය
1 රියෝ ක්‍රීඩා සමාජය කළුතර PCC කණ්ඩායමට කඩුලු 4ක ජයක්.
2 ගෙස්ටො ක්‍රිකට් සමාජය කළුතර PCC කණ්ඩායමට කඩුලු 7ක ජයක්.
3 සිංහ ක්‍රීඩා සමාජය කළුතර PCC කණ්ඩායමට ලකුණු 73ක ජයක්.
4 කළුතර TC කළුතර PCC කණ්ඩායමට ලකුණු 88ක ජයක්.
5 අන්තෝනියන්ස් ක්‍රීඩා සමාජය අන්තෝනියන්ස් ක්‍රීඩා සමාජයට කඩුලු 6ක ජයක්.
6 මොරටුව ක්‍රීඩා සමාජය කළුතර PCC කණ්ඩායමට කඩුලු 6ක ජයක්.
අවසන් මහා තරගය
7 මහනුවර ක්‍රිකට් සමාජය කළුතර PCC කණ්ඩායමට කඩුලු 2ක ජයක්.

කනිකගේ ක්‍රිකට් ජීවිතය ආරම්භ වෙන්නේ තම පියාගේ උනන්දුව සහ උවමනාව මත. යම්තම් ක්‍රිකට් පිත්තක් ඔසවන්නට හැකි වයසේ දී ම කනික, ක්‍රිකට් ඇකඩමි කිහිපයක් කරා ම ගෙන යෑමට පියා කටයුතු කරනවා.

“මටත් වඩා මාව ක්‍රිකට් ක්‍රීඩකයෙක් කරන්න උවමනාව සහ උනන්දුව තිබුණේ තාත්තට. පුංචි ම දවස්වල එක එක ක්‍රිකට් ඇකඩමිවල පුහුණුවීම්වලට එක්ක ගියා මතකයි. තාත්තත් අම්මත් ඒ හැමතැනක ම හිටියා. ඒත් මටත් දැනෙන ක්‍රිකට් පුහුණුවීමක් සඳහා ගියේ රාජකීය විද්‍යාලයේ ක්‍රිකට් ඇකඩමියට.”

ජයග්‍රාහී PCC කණ්ඩායම

ඒ වෙද්දී කනිකට වයස අවුරුදු 9ක් විතර ඇති. අවුරුදු 2ක් ම රාජකීය විද්‍යාලයීය ක්‍රිකට් ඇකඩමියේ පුහුණුව ලැබූ කනික පළමු වරට පාසල් ක්‍රිකට් තරගාවලියකට මුහුණ දෙන්නේ විද්‍යාලයීය වයස අවුරුදු 13න් පහළ C කාණ්ඩයේ තරගාවලියෙන්.

දකුණතින් පා දඟපන්දු යවන්නෙක් ලෙසින් කණ්ඩායමට එක් වූ කනික, තමන් සහභාගී වූ පළමු තරගාවලියේ දී ම තරග 12ක දී කඩුලු 48ක් ලබා ගනිමින් දක්ෂතා දක්වනවා.

එම දක්ෂතා හේතුවෙන් කනික, ඊට පසු වසරේ දී රාජකීය විද්‍යාලයීය වයස අවුරුදු 13න් පහළ A කණ්ඩායමේ ස්ථානයක් තහවුරු කර ගැනීමට සමත් වෙනවා. ඒ අනුව පළමු වරට ප්‍රමුඛ පෙළ තරගාවලිය නියෝජනය කරන කනික, එම වසරේ දී තරග 5ක දී කඩුලු 12ක් දවා ගැනීමට සමත් වෙනවා.

“ඒක හරි අමාරු තරගාවලියක්. කණ්ඩායමේ තවත් ජ්‍යෙෂ්ඨ පන්දු යවන්නෝ සිටියා. ඒ නිසා එතැන දී මාව උපයෝගී කර ගත්තේ අවශේෂ පන්දු යවන්නෙක් ලෙසින්. නමුත් මම, මට ලැබුණ තරගවල දී උපරිමයෙන් කළා.”

එළඹුණ ඊළඟ වසරේ දී කනික වයස අවුරුදු 13න් පහළ අවසන් වසරට ක්‍රීඩා කරනවා. ඒ වසරේ දී ඔහු කඩුලු 42ක් දවා ගන්නා ලද අතර රාජකීය විද්‍යාලය අවසන් පූර්ව වටය දක්වා රැගෙන යෑමට ද ඒ දක්ෂතා ඉවහල් කර ගන්නවා.

අනතුරුව 2017 වසරේ දී කනික රාජකීය විද්‍යාලයීය වයස අවුරුදු 15න් පහළ ප්‍රමුඛ පෙළ කණ්ඩායම පළමු වරට නියෝජනය කරන අතර ඒ පළමු වසරේ දී ම කඩුලු 43ක් ලබා ගනිමින් කාගේත් අවධානයට ලක් වෙනවා. එම වසරේ දී ඔහුගේ දක්ෂතා ද ඉවහල් කර ගනිමින් ඔවුන් පාසල් ක්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් 8 අතරට පිවිසීමට සුදුසුකම් ලබා ගන්නවා.

“පාසල් ක්‍රිකට් ජීවිතයේ මම බොහොම ගෞරවයෙන් යුතුව සිහිපත් කරන්නේ වයස අවුරුදු 15න් පහළ ක්‍රීඩා කළ අවධිය. එම තරගවල දී පෑ දක්ෂතා හේතුවෙන් මට විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ කණ්ඩායම නියෝජනය කිරීමට ද අවස්ථාව උදා වෙනවා.”

ලැබුණු එම එක ම තරගයේ දී එතරම් ම දක්ෂතා දැක්වීමට ඔහුට හැකි වෙන්නේ නැහැ. නමුත් දෙවැනි පෙළ කණ්ඩායම නියෝජනය කරන ඔහු එම තරගවලට තම  දක්ෂතා මුහුකිරීමට සමත් වෙනවා.

“මේ දක්ෂතාත් සමඟින් මම 2018 වසරේ දී ශ්‍රී ලංකා වයස අවුරුදු 15න් පහළ කණ්ඩායම නියෝජනය කරමින් මැලේසියා සංචාරයට එක් වීමට සුදුසුකම් ලබා ගන්නවා. දුනිත් වෙල්ලාලගේගේ නායකත්වයෙන් යුත් අපේ කණ්ඩායම එම තරගාවලියේ ශූරයන් බවට පත් වෙනවා. ඒක මට ලොකු අත්දැකීමක් වුනා.”

එම පළපුරුද්දත් සමඟින් 2019 වසරේ දී රාජකීය විද්‍යාලයීය වයස අවුරුදු 15න් පහළ කණ්ඩායමේ උප නායකත්වයට පත් වීමට ද කනික සමත් වෙනවා. ඒ වෙද්දී පා දඟපන්දු යවන්නෙක්ට අමතර ව පිතිකරුවෙක් ලෙසින් ද කනික දක්ෂතා දක්වනවා. එම වසරේ දී කඩුලු 54ක් ලබා ගන්නා ඔහු, වයස අවුරුදු 15න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා බවට ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය මගින් නම් කෙරෙනවා.

“ඒක මගේ ක්‍රිකට් ජීවිතයේ ප්‍රථම සම්මානය. එම සම්මානය තාමත් මගේ ජීවිතයේ සුවිශේෂී මතකයක් බවට පත් වී තිබෙනවා.”

කනික මැලේසියා සංචාරයේ දී

එම අවුරුද්දේ ම වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ රාජකීය විද්‍යාලයීය දෙවැනි පෙළ කණ්ඩායමේ ප්‍රමුඛ සාමාජිකයෙක් වන කනික තම දක්ෂතා ඊට මුදා හරිනවා. ඒ අතර පළමු පෙළ කණ්ඩායම නියෝජනය කිරීමට ද වරම් ලබා ගන්නා ඔහු පන්දු යවන්නෙක්ට වඩා පිතිකරුවෙක් ලෙසින් දක්ෂතා දැක්වීමට එම තරගාවලියේ දී සමත් වෙනවා.

“වයස අවුරුදු 15න් පහළ දක්ෂතම පන්දු යවන්නා වූවත්, මට ඊට පසුව දිගින් දිගට ම පන්දු යැවීමේ අවස්ථා ලැබුණේ නැහැ. මම මැලේසියා යන ශ්‍රී ලංකා කණ්ඩායමට එක් වූවේ ද පන්දු යවන්නෙක් ලෙසින්. නමුත් ඒ වෙනුවෙන් මට අවස්ථාවක් නොලැබෙද්දී මම පිතිකරුවෙක් ලෙසින් දක්ෂතා දැක්වීමට වැඩි වෙහෙසක් දැරුවා.”

එම කැපවීමත් සමඟින් ඔහු එම වසරේ දී පළමු පෙළ තරග ඉනිම් 7ක දී ලකුණු 159ක් ලබා ගන්නා ලද අතර, එහි ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 39.00ක් ලෙසින් රඳවා ගැනීමටත් සමත් වෙනවා.

එම වසරේ දී ම රාජකීය – සාන්ත තෝමස් නිල් මහා සටනට සමගාමීව පැවති දෙවැනි පෙළ වාර්ෂික මහා ක්‍රිකට් තරගයේ දී අර්ධ ශතකයක් වාර්තා කිරීමට ද ඔහුට අවස්ථාව ලැබෙනවා.

අනතුරුව වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම නියෝජනය කරන කනික, ඊට පසු වසරේ දී රාජකීය විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ දෙවැනි පෙළ කණ්ඩායම නියෝජනය කරමින් ලකුණු 450කට ඉහළ ලකුණු සංඛ්‍යාවක් ලබා ගනිමින් කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වෙනවා.

“ඒක මම, රාජකීය විද්‍යාලය සමඟ එක් වූ අවසන් තරගාවලිය. මම උසස් පෙළ වෙනුවෙන් තෝරා ගත්තේ ලන්ඩන් විෂයන්. නමුත් එම විෂයන් රාජකීය විද්‍යාලයේ තිබුණේ නැහැ. මේ නිසා මම උසස් පෙළ සඳහා ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය තෝරා ගත්තා.”

ඒ වෙද්දී ඉගෙනීමත් සමඟින්  වැඩි වශයෙන් බැඳී සිටි කනික වෙතින් ක්‍රිකට් ක්‍රීඩාව මදක් දුරස් වෙනවා. නමුත් ඔහු ලැබෙන අවස්ථාවන්වල දී ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වීමට ද අමතක කරන්නේ නැහැ. ඒ අනුව 2021 වසරේ දී පළමු වරට සාන්ත තෝමස් විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම නියෝජනය කරමින් තරග පිටියට පිවිසීමට ඔහු සමත් වෙනවා.

“ඒ අවුරුද්දේ තරග 6කට පමණයි මට සෙල්ලම් කරන්න ලැබුණේ. පිතිකරුවෙක් ලෙසින් ලකුණු 150කට ආසන්න සංඛ්‍යාවක් ලබා ගත්තත් පන්දු යවන්නෙක් ලෙසින් කටයුතු කරන්න ලැබුණේ නැහැ. වාර්ෂික මහා ක්‍රිකට් තරගයට සතියකට විතර කලින් කොරෝනා වෛරස් එක වැළඳුණා. ඒ නිසා එම තරගයත් අහිමි වුනා. ඊට පස්සේ 2022 අවුරුද්දේ උසස් පෙළ විභාගය පැවති නිසා ක්‍රිකට් ක්‍රීඩාවට පිවිසියේ නැහැ. එතැනින් මගේ පාසල් ක්‍රිකට් ජීවිතය නිමා වෙනවා.”

ඉන් අනතුරුවයි ඔහු ක්‍රීඩා සමාජ තරගාවලිය වෙනුවෙන් කළුතර PCC කණ්ඩායම සමඟින්  එකතු වෙන්නේ.

“තවමත් මම කැමති පන්දු යවන්නෙක් ලෙසින් කටයුතු කරන්න. නමුත් පාසල් කාලෙ අවසන් අවුරුදුවල පන්දු යවන්නෙක් ලෙසින් මට කිසිදු අවස්ථාවක් ලැබුණේ නැහැ. මේ නිසා ම ඒ රිද්මය මඟ හැරිලා. නමුත් පිතිකරුවෙක් ලෙසින් දක්ෂතා දැක්වීමට ලැබීම ගැන සතුටු වෙනවා. ඒත් ඉදිරියේ දී පන්දු යවන්නෙක් ලෙස ද කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා.”

කනික තම ආදරණීයයන් සමඟ.

කනිකගේ පියා, දයාරත්න සමරසිංහ. ඩී. එන්. ඇසෝසියේට් සමාගමේ හිමිකරු ලෙසින් කාර්ය බහුල ජීවිතයක් ගත කරන්නෙක්. මව මානෙල් වැලිවිටිගොඩ. මහරගම බුවනෙකබා විද්‍යාලයේ ගුරුවරියක් ලෙසින් සේවය කරනවා. ඇය පාසල් කාලයේ බැඩ්මින්ටන් ක්‍රීඩාවේ ජාතික මට්ටම දක්වා පැමිණි ක්‍රීඩිකාවක්.

“අම්මත් තාත්තත් මට වඩා මගේ ක්‍රීඩා ජීවිතය වෙනුවෙන් විශාල ලෙස මහන්සි වුනා. තාත්තා කොච්චර වැඩ කටයුතු තිබුනත් මම පිටුපස්සෙ ම හිටියා. අම්මා අධ්‍යාපනය කටයුතු වගේ ම ක්‍රීඩා කටයුතුත් සමබරව කරගෙන යන්න විශාල සහයෝගයක් දැක්වූවා. අදටත් අම්මත් තාත්තත් කොච්චර වැඩ රාජකාරි තිබුනත් මගේ තරගයක් තියෙනවා නම් බලන්න එන එක අමතක කරන්නේ නැහැ.”

කනික සහෝදරියකගේ සහ සහෝදරයෙක්ගේ ආදරය ලබන පවුලේ බාලයා. පවුලේ වැඩිමලා අක්කා යශ්මික දයාරත්න. ඇය ද අම්මා මෙන් ම බැඩ්මින්ටන් ක්‍රීඩාවෙන් ජාතික මට්ටම දක්වා පැමිණි ක්‍රීඩිකාවක්. මේ වෙද්දී ක්‍රීඩාවෙන් තරමක් ඈත් වී පෞද්ගලික ආයතනයක රැකියාවක නිරත වෙනවා.

අයියා චලිත දයාරත්න. කොළඹ මහ රෝහලේ වෛද්‍යවරයෙක් ලෙසින් සේවය කරනවා.

“ක්‍රිකට් තමයි ජීවිතය. ඉගෙන ගන්න ගමන් ක්‍රිකට් ක්‍රීඩාවත් සම සමව කරගෙන යන්න උත්සාහ කරනවා. ඒ වගේ ම පළමු පෙළ තරගවලට ක්‍රීඩා කරමින් ක්‍රම ක්‍රමයෙන් ඉදිරියට පැමිණීමට බලාපොරොත්තු වෙනවා. මෙතෙක් ආ ගමනේ දී ඒ වෙනුවෙන් සහයෝගය දැක්වූ සෑම කෙනෙක්ට ම ස්තුතිවන්ත වෙනවා. ඔවුන්ට ගෞරව කරනවා,” කනික දයාරත්න පැවසුවා.

ක්‍රිකට් පිටියේ දිගු ගමනක් යෑමට බලාපොරොත්තු වන කනික දයාරත්නට ThePapare.com හී සුබ පැතුම්!

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<