දඟපන්දුවේ මහිමයෙන් යාපනය පැරදවූ දඹුල්ල NSL ශූරතාවය දිනා ගනියි

NSL Super League 2023

773
NSL Super League 2023

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලැබූ ජාතික සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට මිනෝද් භානුකගේ නායකත්වයෙන් යුත් දඹුල්ල කණ්ඩායම සමත් වුනා.

කණ්ඩායම් 5ක සහභාගීත්වයෙන් යුතුව පැවැත්වුණු මෙම තරගාවලියේ දී ඉතා විශිෂ්ට දස්කම් දක්වමින් ලකුණු සටහනේ පෙරමුණේ රැඳීමට සමත් වූ දඹුල්ල කණ්ඩායම සමඟ තරගයට අවතීර්ණ වුනේ ජනිත් ලියනගේගේ නායකත්වයෙන් යුතුව තරගාවලි ලකුණු සටහනේ දෙවැනි ස්ථානය දිනා ගැනීමට සමත් වූ යාපනය කණ්ඩායමයි.

ඊයේ (06) කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී දිවා රාත්‍රී තරගයක් ලෙස ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් යාපනය කණ්ඩායමේ නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා.

ඒ අනුව පිටියට පිවිසි යාපනය ආරම්භක පිතිකරුවන් විසින් තරමක හොඳ ආරම්භයක් ඉනිමට ලබා දීමට සමත් වුනත්, යාපනය මුල්පෙළ කිසිඳු පිතිකරුවෙකු දීර්ඝ ඉනිමක් කරා යාමට අපොහොසත් වුනා.

නිශාන් මදුශ්ක, කසුන් අබේරත්න සහ නායක ජනිත් ලියනගේ යන පිතිකරුවන් තිදෙනාම ලකුණු 10 සීමාව ඉක්මවා යෑමෙන් පසුව සිය කඩුල්ල දඹුලු පන්දු යවන්නන් හට පූජා කළා. ඒ අනුව ඉනිමේ සාර්ථක ම පිතිකරුවා වූ නවෝද් පරණවිතාන ලකුණු 51ක් ලබා සිටිය දී ලක්ශාන් සඳකැන්ගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදී දැවී යද්දී යාපනය ලකුණු පුවරුව දිස් වුනේ කඩුලු 7කට ලකුණු 108ක් ලෙසිනුයි.

ඉන් සුළු මොහොතකට පසු තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර, වර්ෂාවෙන් පසුව ගරා වැටුණු යාපනය ඉනිම තරමක් හෝ නගා සිටුවීමට ජෙෆ්රි වැන්ඩර්සේ සහ දිලුම් සුදීර විසින් සමත් වුනේ ඉනිමේ 8 වැනි කඩුල්ලට ලකුණු 35ක සබඳතාවක් පිහිටුවමිනුයි.

මෙහි දී ඉනිමේ දෙවැනියට ඉහළම ලකුණු ලාභියා බවට පත් වෙමින් වැන්ඩර්සේ විසින් නොදැවී ලකුණු 26ක් ලබා ගැනීමට සමත් වුනා.

ඒ අනුව පන්දුවාර 47 පන්දු 3කින් යාපනය ඉනිමේ සියලුම කඩුලු දවා ගැනීමට දඹුලු පන්දු යවන්නන් සමත් වූ අතර ඒ වන විට යාපනය ලකුණු පුවරුවට එකතු වී තිබුණේ ලකුණු 160ක් පමණයි.

මෙහි දී යාපනය ඉනිමේ දැවී ගිය කඩුලු 10න් 9කම වගකීම සොනාල් දිනූෂ, ලක්ශාන් සඳකැන් සහ දුශාන් හේමන්ත යන දඟපන්දු යවන්නන් අතරේ බෙදී ගියා.

පසුව තරගාවලියේ සාර්ථක ම තරග වාර්තාව ද සහිතව මෙවර ශූරතාවය ද තමන් සතු කර ගැනීමේ අදිටනින් යුතුව දඹුල්ල කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් පිටියට පිවිසුණු නමුත්, ඔවුන්ගේ ආරම්භය නම් බලාපොරොත්තු වූ තරම් සුබදායී එකක් වුනේ නැහැ.

ඉනිමේ පළමු කඩුලු දෙකම ලකුණු 6ක් තුල බිඳ වැටුණු දඹුල්ල ඉනිමේ තෙවැනි කඩුල්ල වෙනුවෙන් පවන් රත්නායක සහ අශාන් ප්‍රියන්ජන් විසින් ලකුණු 73ක සබඳතාවක් පිහිටවූ අතර ප්‍රියන්ජන් ලකුණු 33ක් ලබා සිටිය දී දැවී යාම නිසා එම සබඳතාව බිඳ වැටුණා.

පසුව ඉනිමේ ලකුණු 119 ක් සටහන් වන විට තරගාවලිය පුරාවටම පිත්තෙන් සාර්ථක වූ පවන් රත්නායක තවත් අර්ධ ශතකයක් සිය ලකුණු ගොන්න අතරට එක් කර ගනිමින් ලකුණු 62ක් ලබා සිටිය දී දැවී ගියා.

නමුත් ඔහුගේ දැවී යාමෙන් පසුව හෝ නැවතත් තරගයට අවතීර්ණ වීමට යාපනය කණ්ඩායමට කිසිදු ඉඩහසරක් විවර වීමට දඹුල්ල ක්‍රීඩකයින් ඉඩ ලබා දුන්නේ නැහැ. මෙහි දී විශේෂයෙන්ම තරගාවලිය පුරා ලකුණු අතර රැඳී සිටි මෙන්ම, අද දිනයේ පන්දු යැවීමෙන් ද සාර්ථක වූ සොනාල් දිනූෂ විසින් නොදැවී ලකුණු 45ක් ලබා ගැනීමට සමත් වෙමින් තරගය අවසන් වන තෙක් පිටියේ රැඳී සිටියා.

මෙහි දී පන්දුවාර 39ක් තුල කඩුලු 5ක් පමණක් දැවී අදාළ ඉලක්කය හඹා යාමට දඹුල්ල කණ්ඩායම සමත් වූ අතර, යාපනය වෙනුවෙන් පන්දු යැවීමෙන් බිනුර ප්‍රනාන්දු සහ වැන්ඩර්සේ කඩුලු 2 බැගින් බිඳ හෙළීමට සමත් වුනා.

ජයග්‍රාහී දඹුල්ල කණ්ඩායම නියෝජනය කරමින් තුන් ඉරියව්වෙන්ම දස්කම් දැක්වූ සොනාල් දිනූශ අවසන් මහා තරගයේ වීරයා ලෙස සම්මාන දිනා ගැනීමට සමත් වුනා.

යාපනය 160/10 (47.3) නවෝද් පරණවිතාන 51, ජෙෆ්රි වැන්ඩර්සේ 26, සොනාල් දිනූෂ 3/33, ලක්ශාන් සඳකැන් 3/22, දුශාන් හේමන්ත 3/22

දඹුල්ල 163/5 (39) පවන් රත්නායක 62, සොනාල් දිනූශ 45, බිනුර ප්‍රනාන්දු 2/17

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් සංවිධානය කරනු ලැබූ ජාතික සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ ජයග්‍රහණය දඹුල්ල කණ්ඩායම විසින් හිමි කර ගනිමින් තරගාවලිය නිමාවට පත් වුනා.

  • තරගාවලියේ හොඳම පිතිකරු – පසිඳු සූරියබණ්ඩාර
  • තරගාවලියේ හොඳම පන්දු යවන්නා – ලහිරු සමරකෝන්
  • තරගාවලියේ වීරයා – අශේන් බණ්ඩාර

දේශීය ක්‍රිකට් පිටියේ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<