ජාත්‍යන්තර විනිසුරුවරියන් සිව්දෙනෙක්ට SLC වෙතින් උපහාර

101

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නිල තරග විනිසුරු මණ්ඩලයට උසස් වීම් ලද ශ්‍රී ලාංකික විනිසුරුවරියන් සිව්දෙනෙකු සඳහා උපහාර දැක්වීමේ උළෙලක් ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ඊයේ (07) සංවිධානය කර තිබුණා.

වැනේසා ද සිල්වා, මිචෙල් පෙරේරා, දේදුනු ද සිල්වා සහ නිමාලි පෙරේරා යන විනිසුරුවරියන්ට උපහාර දක්වමින් පැවති මෙම උත්සවය පැවැත්වුණේ ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන මූලස්ථානයේ දීයි.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි ඈශ්ලි ද සිල්වා, ශ්‍රී ලංකා විනිසුරු සංගමයේ ප්‍රධානී බන්දුල දිසානායක ඇතුළු පිරිසක් සහභාගී ව සිටියා.

වැනේසා ද සිල්වා මහත්මිය සහ  මිචෙල් පෙරේරා මහත්මිය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ තරග තීරකයින් ලෙස කටයුතු කළ අතර දේදුනු ද සිල්වා මහත්මිය සහ නිමාලි පෙරේරා මහත්මිය තරග විනිසුරුවරියන් ලෙස කටයුතු කරනවා.

“අපි ඇත්තටම ගොඩක් සතුටු වෙනවා ඔවුන් ලබා ගත්ත දේ ගැන. එය ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් වලට විශාල ශක්තියක් එක් කරනවා වගේම ක්‍රිකට් තුළින් ඔවුන්ට යන්න පුළුවන් පාර ගැන ඔවුන් මඟ පෙන්වීමක් කරනවා,” යැයි බන්දුල දිසානායක මහතා ප්‍රකාශ කළා.

විනිසුරුවරියන් ලෙස කටයුතු කිරීමට පෙර වැනේසා, මිචෙල් සහ දේදුනු ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ අතර නිමාලි ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් “A” කණ්ඩායම නියෝජනය කළා.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ තරග තීරකවරුන්ගේ මණ්ඩලයේ සාමාජිකාවක් වන වැනේසා ද සිල්වා නිමා වූ අවුරුදු 19න් පහළ බාලිකා විස්සයි විස්ස ලෝක කුසලානයේ අවසන් මහා තරගයේ තරග තීරකවරිය ලෙස ද කටයුතු කළා.

අත්දැකීම් බහුල තරග තීරකවරියක් වන මිචෙල් පෙරේරා ද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ වැඩසටහනට අයත් අතර ඇය දකුණු අප්‍රිකාවේ පැවති කාන්තා ලෝක කුසලානයේ තරග තීරකවරියක් ලෙස කටයුතු කිරීමට ද විශේෂත්වයක්.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ විනිසුරු සංවර්ධන වැඩ සටහනට අයත් විනිසුරුවරියක් වන දේදුනු ද සිල්වා මහත්මිය අවුරුදු 19න් පහළ බාලිකා විස්සයි විස්ස ලෝක කුසලානයේ අවසන් පූර්ව තරගයේ සහ අවසන් මහා තරගයේ සිව්වැනි විනිසුරුවරිය ලෙස කටයුතු කළා.

නිමාලි පෙරේරා කාන්තා විස්සයි විස්ස ලෝක කුසලානයේ ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර තරගයේ පිටියේ විනිසුරු ලෙස සහ අවසන් මහා තරගයේ සිව්වැනි විනිසුරු ලෙස කටයුතු කළා.

ඔවුන් සියලු දෙනාට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් විශේෂ සමරු ඵලකයක් තිළිණ කරමින් සිය ගෞරවය පුද කළා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<