ඉන්දියාව ඇඟිල්ලෙන් නැටවූ අජන්ත මෙන්ඩිස්ගේ අභිෂේක රැය

106
Ajantha Mendis's Asia cup Final
@hindustantimes.com / imdb.com

මාධ්‍ය සාකච්ඡාවල දී සාමාන්‍යයෙන් නිතරම සිනහවෙන් මුව සරසාගෙන සිටින මහේන්ද්‍ර සිං දෝනිගේ මුහුණේ එදින සිනහවක් තිබුණේ නැත. 

“අපි ඔහුගේ වීඩියෝ නරඹා තිබුනත් පිටිය තුළ දී ක්‍රීඩා කර තිබුණේ නැහැ. ඔහුගේ පන්දුවලට අපිට දෙන්නට පිළිතුරක් තිබුණේ නැහැ”

2008 වසරේ ආසියානු කුසලාන අවසන් මහා තරගය අවසානයේ සිදු වූයේ කුමක් දැයි මාධ්‍යවේදීන් විමසූ විට දෝනිට කියාගත හැකි වූයේ එපමණකි.

ශ්‍රී ලාංකිකයින්, මාර්ටින් ක්‍රෝ එවරස්ට් මුදුනින් බිම හෙළයි

“එය එවරස්ට් කන්ද මුදුනටම නැග අවසන් අඩි කිහිපයේ දී මස්පිඩු පෙරළීමකට…

එදින රාත්‍රියේ අජන්ත මෙන්ඩිස්ගේ පන්දු හමුවේ දී දෝනිට පමණක් නොව සමස්ත ඉන්දීය පිතිකරු ලැයිස්තුවටත්, ඉන් නොනැවතී සමස්ත ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ටත් එම රාත්‍රියේ දී සිදු වූයේ කුමක් දැයි වටහා ගැනීමට හෝ අවස්ථාවක් ලැබුණේ නැත. සිදු වූයේ කුමක් දැයි වටහා ගන්නා විට ශ්‍රී ලංකා කණ්ඩායම 2008 ආසියානු කුසලානය ජයග්‍රහණය කර හමාරය.

අජන්ත මෙන්ඩිස් නම් තරුව ක්‍රිකට් ලෝකයට පෑයූ ඒ රාත්‍රිය ගැන යළිත් ආවර්ජනය කිරීම සුවහසක් ප්‍රේක්ෂකයන්ගේත්, පාඨකයන්ගේත් සිත් තුටින් පුරවන කාරණයක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. සනත් ජයසූරියගේ කස පහරවල් වැනි පිති ප්‍රහාරයන් හමුවේ ආර්. පී. සිං වැනි පන්දු යවන්නන් කිසිවක් කර කියාගත නොහැකිව බලා සිටි අයුරු, මෙන්ඩිස් ඉන්ද්‍රජාලික පන්දු හමුවේ ඉන්දීය පිතිකරණ ලැයිස්තුව එකා පිට එකා ක්‍රීඩාගාරයට ඇදී ගිය අයුරු කෙලෙස නම් අමතක කරන්න ද?

මේ මෙන්ඩිස් අභිෂේකය ලද ඒ සුන්දර රාත්‍රිය ගැන ආපසු හැරී බැලීමකි..

Ajantha Mendis
Image courtesy: wisden.com

2008 ආසියානු කුසලානයේ අවසන් මහා තරගයට පෙර තවත් තරග දෙකක් ඉතිරි වී තිබිය දී ශ්‍රී ලංකා කණ්ඩායමත්, ඉන්දීය කණ්ඩායමත් අවසන් මහා තරගයට සුදුසුකම් ලබන්නට සමත් විය. එහි දී එක් තරගයක් ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතරත්, අනෙක් තරගය පාකිස්තානය හා බංගලාදේශය අතරත් පැවැත්වීමට නියමිතව තිබුණි. 

අවසන් මහා තරගයේ දී ද ඉන්දියාවට මුහුණ දීමට සූදානම් වෙමින් සිටි ශ්‍රී ලංකාව පළමු වටයේ ඉන්දියාව සමඟ තරගයට අජන්ත මෙන්ඩිස්ව ක්‍රීඩා නොකිරීමට තීරණය කළේ ඒ වන විටත් තම කැරම් පන්දුවලින් ප්‍රතිවාදී පිතිකරුවන් අන්දමන්ද කරමින් සිටි මෙන්ඩිස්ගේ පන්දුවලට ඉන්දියානු පිතිකරුවන් හුරුවීම වැළැක්වීමටයි.

එම තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුලු 6ක පරාජයක් අත්වූ අතර එම ජයත් සමඟින් තරගාවලිය ජය ගැනීමේ වැඩි වාසි ඇත්තේ ඉන්දීය කණ්ඩායමට බව බොහෝ විචාරකයන්ගේ මතය විය. 

2008 වසරේ ජූලි මස 6 වැනිදා පාකිස්තානයේ කරච්චි නුවර පැවති අවසන් මහා තරගයේ කාසියේ වාසිය දිනා ගත්තේ ඉන්දීය කණ්ඩායමයි. ඔවුන් මුලින්ම පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළ අතර ශ්‍රී ලංකා ඉනිමේ 12 වැනි පන්දු වාරය අවසන් වන විට ලකුණු 66කට කඩුලු 4ක් දවා ගන්නට ඉන්දීය පන්දු යවන්නන් සමත් වූහ.

තත්ත්වය එසේ වුවත් ඉන්දියානු ක්‍රීඩකයන්ගේ මුහුණුවල එතරම් උද්‍යෝගයක් දක්නට නොලැබුණේ ආරම්භක පිතිකරු සනත් ජයසූරිය පිටියේ නොදැවී ක්‍රීඩා කරමින් සිටි නිසාය. ජයසූරියට කළ හැකි දේ පිළිබඳව කාටත් වඩා හොඳින් දන්නේ ඉන්දියානුවන් ය.

Ajantha Mendis
Image courtesy: telegraph.co.uk

ඒ අයුරින්ම තම කීර්තිනාමය බිඳක් හෝ පළුදු නොකර ගත් ජයසූරිය පස්වැනි කඩුල්ල වෙනුවෙන් තිලකරත්න ඩිල්ශාන් සමඟින් එක්ව ලකුණු 131ක අගනා සම්බන්ධතාවයක් පිහිටුවීමට සමත් වූයේ තම පුද්ගලික ලකුණු සංඛ්‍යාව 125ක් බවට පත් කරගනිමිනි. ඒ සඳහා ඔහු වැය කළේ පන්දු 114 ක් පමණි. 

හයේ පහර 5කින් හා හතරේ පහර 9කින් වර්ණවත් වූ එම ඉනිමේ ආනුභාවයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ මුළු ලකුණු සංඛ්‍යාව 273ක් බවට පත් වුවද විරේන්ද්‍ර ශෙවාග්, ගෞතම් ගාම්භීර්, යුවරාජ් සිං, රෝහිත් ශර්මා, සුරේශ් රයිනා, මහේන්ද්‍ර සිං දෝනි වැනි පරිණත හා ප්‍රබල ක්‍රීඩකයන්ගෙන් සමන්විත ඉන්දීය පිතිකරණ ලැයිස්තුවට එය එතරම් අභියෝගයක් වෙතැයි බොහෝ දෙනා සිතුවේ නැත.

ප්‍රබලයින් සිටියත් ක්‍රීඩාවේ උද්යෝගය පවත්වා ගන්නා සිංහ දස්කම්

2019 ලෝක කුසලාන ශූරයන් වූයේ එංගලන්තයයි. වර්තමාන ක්‍රිකට් ක්‍රීඩාවේ.

ඉතා වේගවත් ආරම්භයක් ලබා ගත් ඉන්දීය පිතිකරුවන් පළමු පන්දුවාර 9 අවසන් වන විට එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 76 ක් ලබා ගන්නට සමත් වී සිටියහ. නොදැවී කඩුල්ලේ රැඳී සිටි විරේන්ද්‍ර ශෙවාග් පන්දු 36 ක් තුළ දී වේගවත් ලකුණු 60ක් ලබාගෙන විශිෂ්ට ලෙස ක්‍රීඩා කරමින් සිටියේය.

ඒ වන විට තරගය පැවතුණේ තීරණාත්මක අවස්ථාවකය. තවත් පන්දුවාර පහක් හයක් ශෙවාග් පිටියේ රැඳී සිටියහොත් ඉන්දීය කණ්ඩායම වෙතින් ජයග්‍රහණය උදුරා ගැනීම අපහසු කාරණයක් බව ශ්‍රී ලංකා නායක මහේල ජයවර්ධන ඒ වන විට වටහාගෙන සිටියේ ය. මහේලට තීරණයක් ගත යුතුව තිබුණි. එම අවස්ථාව මහේල තම වචනයෙන්ම පවසන්නේ මෙසේය..

“මට ඒ වන විට වෙනත් විකල්පයක් තිබුණේ නැහැ. විරේන්ද්‍ර ඉතා හොඳින් පන්දුවට පහර දෙමින් සිටියා. ඒ මොහොතේ අපට කඩුල්ලක් ලබා ගැනීමට අවශ්‍යම වුනා. එ්ත් ඒ වෙනකොට මුරලිට පන්දු යවන්න පන්දුව අලුත් වැඩියි. ඒ නිසා මට අවදානමක් අරගෙන මෙන්ඩිස්ව යොදවන්න වුනා”

මෙන්ඩිස් යොමු කළ පළමු පන්දුවටම ඉදිරියට පැමිණ පහරක් එල්ල කිරීමට ශෙවාග් උත්සාහ කළත් පන්දුව පතිත වීමෙන් පසුව ඉවතට කැපී ගිය නිසා ශෙවාග්ගේ ඒ උත්සාහය අසාර්ථක වී ගියේය. ඒ නිසා පහරක් එල්ල කිරීම වෙනුවට ආරක්ෂාකාරීව පන්දුව පිළිගැනීමට ශෙවාග්ට සිදු විය. කෙසේ නමුත් මෙන්ඩිස්ගේ පන්දු වලට ගරුත්වයක් දැක්වීමේ අදහසක් තමා තුළ නොමැති බව එහි දී ශෙවාග් විසින් පෙන්වීය.

Image courtesy: gettyimages.com

මෙන්ඩිස්ගේ දෙවන පන්දුවට ද විශාල පහරක් එල්ල කිරීමේ අරමුණෙන් ශෙවාග් සීමා ඉරෙන් ඉදිරියට පැමිණි අතර මෙන්ඩිස්ගේ දෑඟිලි අතරින් රිංගා ගිය කැරම් පන්දුව පිටියේ පතිත වී ශෙවාග්ගේ පිත්තට ඔච්චම් කරමින් පිත්ත පරාජය කර කඩුලු රකින සංගක්කාරගේ අත් ආවරණ තුළට ඇදී ගියේ ශෙවාග්ට සිදු වූ දෙය සිතා ගැනීමට හෝ කාලයක් ඉතිරි නොකරමිනි. පිටිය මැද දී එල්ල කළ පහර වෙනස් කිරීමට ශෙවාග් උත්සාහ කළ නමුත් මෙන්ඩිස්ගේ කැරම් පන්දුව ඒ සඳහා කිසිදු ඉඩක් ලබා දුන්නේ නැත.

තම අත් ආවරණ තුළට පන්දුව සුරැකිව ග්‍රහණය කර ගත් සංගක්කාර විදුලි වේගයෙන් කඩුල්ල බිඳ දැම්මේ ඉන්දීය පිතිකරණ ලැයිස්තුවේ දැවැන්තයා ආපසු ක්‍රීඩාගාරය වෙත හරවා යවමිනි. ශෙවාග් තමාට සිදු වූ දේ කුමක් දැයි සිතමින් සෙමෙන් ආපසු ක්‍රීඩාගාරය වෙත පිය මනින අතරේ මෙන්ඩිස් ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම සතුට සැමරීම සඳහා එක්වී තිබුණි. මෙන්ඩිස්ගේ අභිශේක රාත්‍රිය ආරම්භ වුනා පමණක් යැයි කිසිවෙකුත් ඒ වන විට දැන සිටියේ නැත.

මීළඟට පිටියට පිවිසියේ සුපිරි ඉන්දීය ක්‍රීඩක යුවරාක් සිං ය. මෙන්ඩිස් යුවරාජ්ට යැවූ පළමු පන්දුව ඔහු නිවැරදිව කියෙව්වේ නැත. පන්දුව තණතීරුවේ පතිත වී පිත්ත අසලට පැමිණෙන තෙක්ම එම පන්දුව පිළිබඳව කිසිදු අදහසක් යුවරාජ්ට තිබුණේ නැත. සුවිශේෂී යමක් සිදුවන්නට යන බවට පෙරනිමිති එකින් එක පහළ වෙමින් තිබුණි.

කුප්‍රකට ලෙදර් ජැකට්ටුවේ ටෙස්ට් තරගය

90 දශකයේ බොහෝ ජාත්‍යන්තර ක්‍රිකට් කණ්ඩායම්වලට තිබූ ප්‍රබලතම..

මෙන්ඩිස්ගේ මහපට ඇඟිල්ලත්, දබර ඇඟිල්ලත්, මැද ඇඟිල්ලත් අතරින් නික්මුණ ඊළඟ පන්දුව තණතීරුවේ පතිත වී තණතීරුව මතින් ලිස්සා ගොස් කඩුල්ලේ දැවටුණේ යුවරාජ්ට ඉහළට එසවූ පිත්ත පහළට දමා ගැනීමට හෝ කාලයක් ඉතිරි නොකරමිනි. 

යුවරාජ් දෑස් විශාල කරමින් අදහාගත නොහැකිව තණතීරුව දෙස බලා සිටින අතරේ මෙන්ඩිස් සිනහ මුසු මුහුණෙන් තම සගයන් හා එක්ව තම දෙවැනි කඩුල්ල සැමරීමේ යෙදී සිටියේය.  එක් කඩුල්ලක් දැවී ලකුණු 76ක් ලෙස පැවති ලකුණු පුවරුව එකවරම කඩුලු 3ක් දැවී ලකුණු 76ක් බවට පරිවර්තනය වන්නට ගතවූයේ පන්දු හතරක් පමණි..

Image courtesy: p.imgc.com

මෙන්ඩිස්ගේ රාත්‍රිය එසේ උදා වී තිබිණි..

දහතුන්වැනි පන්දුවාරයේ තුන්වැනි පන්දුව යැවීමට මෙන්ඩිස් තම සීමා ඉර අසල රැඳී සිටියේ ය. පළමු පන්දු දෙකටම සුරේශ් රයිනා විසින් ආරක්ෂාකාරී පහරවල් දෙකක් එල්ල කළ නිසා තුන්වැනි පන්දුවට විශාල පහරක් එල්ල කරතැයි ඇතැම් විට මෙන්ඩිස් උපකල්පනය කරන්නට ඇත.

මෙන්ඩිස් යොමු කළ තුන්වැනි පන්දුව තරමක් කෙටි පන්දුවකි. කෙටි පන්දුවක් යොමු වන බව දුටු රයිනා පසුපස පාදයේ රැඳී සිටිමින් මිඩ් විකට් කලාපය ඔස්සේ විශාල පුල් පහරක් එල්ල කිරීමට උත්සාහ කළේය. 

මහපට ඇඟිල්ලත්, දබර ඇඟිල්ලත්, මැද ඇඟිල්ලත් අතරින් නික්මෙන තවත් එක් කැරම් පන්දුවක් වූ එය මැද ඉන්නේ පතිත වී තණතීරුව මතින් ලිස්සා ගොස් රයිනාගේ පිත්තට යටින් කඩුල්ලේ දැවටුණේ කඩුලු රකින සංගක්කාරගේ හා ස්ලිප් හි පන්දු රකිමින් සිටි නායක මහේලගේ ඔල්වරසන් හඬ පිටිය පුරා රැව්දෙන අතරවාරයේ දී ය. ඒ අයුරින් මෙන්ඩිස් තරගය තුළ තම තුන්වැනි කඩුල්ල සටහන් කරගත්තේය.

පහළොස්වැනි පන්දුවාරයේ දෙවැනි පන්දුවට යොවුන් පිතිකරු රෝහිත් ශර්මා ගොදුරු වූයේ ඉන්ද්‍රජාලික මෙන්ඩිස්ගේ සිව්වැනි ගොදුර බවට පත් වෙමිනි. මෙන්ඩිස්ගේ අතැඟිලි අතරින් මිදුණු පන්දුව තණතීරුවේ මැද ඉන්න මත පතිත වීමෙන් පසුව ඉවතට දඟ කැවී ගිය අතර එහි දී රෝහිත් විසින් පන්දුව පා ඉන්න දෙසට තල්ලු කර හැරීමට උත්සාහ කළේ කෙටි ලකුණක් ලබා ගැනීමට ය.

නමුත් ඔහුගේ පිත්ත පරාජය කරමින් ඇදී ආ පන්දුව මැද ඉන්නත්, පිට ඉන්නත් අතර දී පා ආවරණයේ දැවටුණේ විනිසුරුකරු වෙත ඉතා පහසු තීරණයක් ඉතිරි කර තබමිණි. විනිසුරුවා විසින් රෝහිත් කඩුල්ල මුවා කිරීමේ වරදට දැවී ගිය ක්‍රීඩකයෙකු ලෙස සන් කරන ලද්දේ මෙන්ඩිස් ඉදිරියේ සිව්වැනි කඩුල්ල සටහන් කර තබමින් ය.

Ajantha Mendis
Image courtesy: cricketaustralia.com

අනතුරුව තරගයේ 32 වැනි පන්දුවාරය තුළ දී තුන් වැනි හා හතරවැනි පන්දුවලට පිළිවෙළින් ඉර්ෆාන් පතාන් හා ආර්. පී. සිං දවා ගැනීමට මෙන්ඩිස් සමත් වුනේ ආසියානු කුසලානය දිනා ගැනීමේ සටනේ ඒ වන විටත් අසරණ අඩියකට වැටී උන් ඉන්දීය ඉනිම අවසන් කිරීමේ අවසන් වෙඩි මුරය ක්‍රියාත්මක කරවමිනි. 

තුන්වැනි පන්දුවේ දී පතාන් මෙන්ඩිස්ගේ ගුග්ලි පන්දුවකට ස්ලිප් ක්‍රීඩකයා අතට උඩ පන්දුවක් ලබා දුන් අතර හතරවැනි පන්දුවේ දී ආර්. පී. සිං මෙන්ඩිස් යැවූ කැරම් පන්දුව ඉදිරියේ පරාජය වූයේ පිළිවෙළින් මෙන්ඩිස් අභිශේකයේ පස්වැනි හා හයවැනි ගොදුරු බවට පත් වෙමිනි.

නම් දරා සිටි දැවැන්ත ඉන්දීය පිතිකරුවන් තම මහපට ඇඟිල්ලත්, දබර ඇඟිල්ලත්, මැද ඇඟිල්ලත් අතර නැටවූ අජන්ත මෙන්ඩිස් නම් ඒ යොවුන් ක්‍රීඩකයා අවසන් මහා තරගයේ වීරයා සම්මානයෙන් මෙන්ම තරගාවලියේ වීරයා සම්මානයෙන් ද පිදුම් ලැබූවේ 2008 ආසියානු කුසලානය ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිකර දීමේ නියමුවා බවට පත් වෙමිනි..

ක්‍රිකට් තරු පිරිවරා ගත් ඇසළ මහේ එක් සැණකෙළි රාත්‍රියක අජන්ත මෙන්ඩිස් අභිශේක ලැබුවේ එලෙසින් ය…

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<