මලිඳුගේ ශතකය මහානාමය තියුණු තැනකට ගෙනයයි

246
U19 Schools Cricket

වයස අවුරුදු 19න් පහළ සිංගර් කුසලාන ක්‍රිකට් තරගාවලියේ තවත් තරඟ දෙකක්, අද (25) කොළඹ රාජකීය විද්‍යාලය හා කොළඹ මහානාම විද්‍යාලය අතරද, වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය හා මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය අතරද පැවැත්විය. මෙහිදී මහානාම විද්‍යාලය වෙනුවෙන් මලිඳු මදුරංග ශතකයක් වාර්තා කිරීමට සමත් විය.

පසුගිය ලිපි: සහිරා විද්‍යාලයට පළමු ඉණිමක ජයක්

කොළඹ රාජකීය විද්‍යාලය හා කොළඹ මහානාම විද්‍යාලය අතර තරඟය

B කාණ්ඩයේ තරඟයක් ලෙස රාජකීය විද්‍යාලීය ක්‍රීඩා පිටියේදී අද (25) ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කල මහානාම විද්‍යාලය, පළමුව පිතිකරණය සඳහා අවස්ථාව ලබා ගන්නා ලදි.

පළමු දිනය තුල විශිෂ්ට පළමු ඉණිමක් දියත් කිරීමට මහානාම විද්‍යාල ක්‍රීඩකයින් සමත් වූ අතර පළමු දිනය අවසන් වන විට ප්‍රබල රාජකීය පන්දු යවන්නන් හමුවේ කඩුලු 8ක් පමණක් දැවී ලකුණු 361ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කරන්නට මලිඳු මදුරංග ඇතුළු මහානාම පිතිකරුවෝ සමත් වූහ. මලිඳු මදුරංග රාජකීය පිටිය සිසාර පහර එල්ල කරමින් අගනා ලකුණු 115ක් තම නාමය ඉදිරියෙන් සටහන් කරගැනීමට සමත්විය.

එශාන් හෙට්ටිආරච්චි, මලිඳු සමඟින් මහානාම විද්‍යාලයට අගනා සබඳතාවයක් ගොඩනැංවීමට සහයෝගය ලබා දුන් අතර ඔහු දිනය අවසන් වන විට නොදැවී ලකුණු 75*ක් ලබා සිටියි.

රාජකීය විද්‍යාලය වෙනුවෙන් ගනිත් සංදීප ලකුණු 51ක් තුල කඩුලු 3ක් දවාලමින් දස්කම් දක්වන  ලදි.

මහානාම විද්‍යාලය පළමු ඉණිම (පළමු දිනය අවසන් වනවිට) – 361/08 (84): මලිඳු මදුරංග 115, එශාන් හෙට්ටිආරච්චි 75*, කවිදු මුණසිංහ 53, ගනිත් සංදීප 3/51


වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය හා මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය අතර තරඟය

A කාණ්ඩයේ තරඟයක් ලෙස අද (25) වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලීය ක්‍රීඩා පිටියේදී ආරම්භ වූ තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කල සාන්ත සෙබස්තියන් විද්‍යාලය, පළමුව පන්දුවට පහරදීමට තීරණය කරන ලදි.

කාසියේ වාසිය ද ඇතිව පළමුව පිටියට පිවිසි සාන්ත සෙබස්තියන් විද්‍යාලයේ පළමු ඉණිම වෙනුවෙන් ලකුණු 49ක් ලබා ගනිමින් අවාසනාවන්ත ලෙස දැවී යාමට තශික පෙරේරාට සිදුවිය. දුලාජ් සිල්වා, තශික සමඟින් එක්ව සෙබස්තියන් පළමු ඉණිම ලකුණු 195ක් දක්වා ලකුණු මට්ටමකට ඔසවා තබන ලදි. කවිශ දුලංජන සාන්ත අන්තෝනි විද්‍යාලය වෙනුවෙන් ලකුණු 54ක් තුල කඩුලු 4ක් දවාලීමට සමත් විය.

සාන්ත සෙබස්තියන් විද්‍යාලය පළමු ඉණිම – 195/10 (56): තශික පෙරේරා 49, දුලාජ් සිල්වා 44, තරුශ ප්‍රනාන්දු 37, කවීෂ දුලංජන 4/54, කවිදු හෙට්ටිආරච්චි 4/64

අනතුරුව තම පළමු ඉණිම දියත් කිරීමට පිටියට පැමිණි සාන්ත අන්තෝනි ක්‍රීඩකයින් අතරින් පළමු දිනය තුල වැඩි දස්කම් දැක්වීමට එරංග මදුෂාන් සමත් වූ අතර ඔහු නොදැවී ලකුණු 31*ක් ලබා ගන්නා ලදි.

සාන්ත අන්තෝනි විද්‍යාලය පළමු ඉණිම (පළමු දිනය අවසානයේ දී) – 72/04 (29): එරංග මදුෂාන් 31*, තරුශ පෙරේරා 1/03

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට