Razaගේ අනපේක්ෂිත ශතකය වාර්තා පොත් අලුත් කරයි!

World Cup Qualifiers 2023

5645

ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ දී සිම්බාබ්වේ සහ නෙදර්ලන්තය අතර පැවැත්වුණු තරගයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් හිමි කර ගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම ඊයේ (20) සමත් වූ අතර එහි දී සිම්බාබ්වේ වෙනුවෙන් වාර්තාගත ශතකයක් ලබා ගැනීමට කිරීමට Sikandar Raza සමත් වුනා.

ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ 5 වැනි තරගය ලෙස තරගාවලියේ A කාණ්ඩය නියෝජනය කරමින් පැවැත්වුණු මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් නෙදර්ලන්ත කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 315ක් වාර්තා කිරීමට සමත් වූ අතර, එහි දී සිම්බාබ්වේ වෙනුවෙන් පන්දු යැවීමෙන් සාර්ථක වූ Sikandar Raza ලකුණු විසින් 55කට කඩුලු 4ක් බිඳ හෙළීමට සමත් වුනා.

එමෙන්ම සිම්බාබ්වේ කණ්ඩායම විසින් ලකුණු 316ක ඉලක්කය හඹා යමින් සිටිය දී වරෙක කඩුලු 3ක් දැවී ලකුණු 162ක් ලබා සිටි අතර, ඒ මොහොතේ Raza පිටියට පිවිසෙමින් පෙර තරගයේ වාර්තාගත ශතකයක් රැස් කළ Sean Williams සමඟ වේගවත් සබඳතාවක් පැවැත්වීමට ද සමත් වුනා.

මෙහි දී Williamsගේ ඉනිම ලකුණු 91ක දී නිමා වූ නමුත් නොදැවී කඩුල්ලේ රැඳී සිටිමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට Sikandar Raza විසින් සමත් වුනා.

“මම ඇතුළතින් සිනහ වෙමින් සිටියත්, තවමත් කාර්යය අවසන් වෙලා නැහැ. අපි කොදෙව්වන් ගැන සිතනවා. ඒ වගේ ම අනෙක් සෑම තරගයක් ගැනත් හිතනවා.

අපට පිත්තෙන් සහ පන්දුවෙන් විනෝදාත්මක ලෙස ක්‍රිකට් ක්‍රීඩා කිරීමට අවශ්‍යයි. එවිට දේවල් ඉබේ ම සිදු වේවි.”

තරගය ජයග්‍රහණය කිරීමෙන් පසු තරගයේ වීරයා සම්මානය හිමි කර ගැනීමට සමත් වූ Raza විසින් මෙසේ ප්‍රකාශ කළා.

මෙහි දී Raza විසින් පන්දුවෙන් දවා ගත් කඩුලු හතරට අමතරව පිත්තෙන් වේගවත් ශතකයක් ද (102) වාර්තා කිරීමට ද සමත් වූ අතර එම ශතකය වාර්තා කිරීම සඳහා ඔහුට වැය වී තිබුණේ පන්දු 54ක් පමණයි.

ඒ අනුව මීට පෙර මෙම තරගාවලියේ නේපාලය සහ සිම්බාබ්වේ කණ්ඩායම් අතර පැවැත්වුණු තරගයේ දී පන්දු 70කින් ශතකයක් වාර්තා කරමින් සිම්බාබ්වේ වෙනුවෙන් එක්දින ක්‍රිකට් තරගයක ක්‍රීඩකයෙකු විසින් වාර්තා කළ වේගවත් ම ශතකයේ අයිතිය තමන්ගේ නමට ලියා ගත් Sean Williamsහට එම වාර්තාව අහිමි වුනා.

එමෙන්ම ඊයේ තරගයේ සිම්බාබ්වේ ඉනිමේ 36 වැනි පන්දුවාරය නිමා වන විට තරගය ජයග්‍රහණය කිරීම සඳහා සිම්බාබ්වේ කණ්ඩායම තවත් ලකුණු 60ක් ලබා ගත යුතු ව තිබුණා. නමුත් ඒ වන විට නොදැවී කඩුල්ලේ රැඳී සිටි Raza විසින් පන්දු 35ක් තුල ලබා තිබුණේ ලකුණු 47ක් පමණයි.

කෙසේ වෙතත් එතැන් පටන් සිය පිත්තට පණ දුන් Raza තවත් පන්දු 19ක් තුළ ලකුණු 55ක් ලබා ගැනීමට සමත් වූ අතර තරගය ජයග්‍රහණය කිරීමට ලකුණු 3ක් අවශ්‍ය ව තිබූ මොහොතේ දැවැන්ත හයේ පහරක් එල්ල කරමින් සිය ශතකය වාර්තා කිරීමට ද ඔහු සමත් වුනා.

නමුත් මෙම ජයග්‍රහණයේ වගකීම තනි ව භාර ගැනීමට Raza සූදානම් වුනේ නැහැ.

“මම පිටියට යන විට අවශ්‍ය වේදිකාව හදලයි තිබුණේ. වාර්තා ගැන මගේ හිතේ තිබුණේ නැහැ. අපි බලන්නේ ජයග්‍රහණ ගැන. මගේ කණ්ඩායම ජයග්‍රහණය කරන තාක් අපි ඉන්දියාවට (ලෝක කුසලානය වෙනුවෙන්) යන්නේ කොහොමද කියන එක ගැන මට ගැට‍ළුවක් නැහැ. අපි එකිනෙකා ගැන සතුටු වෙනවා. මම අනෙක් අය ගැන සතුටු වුනා වගේ ම ඔවුන් මම ගැනත් සතුටු වෙනවා. මෙය අපේ සාර්ථකත්වයට එක හේතුවක්.”

ඒ අනුව මෙවර ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ A කාණ්ඩයෙන් පෙරමුණ ලබා ගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත් වී ඇත්තේ මෙතෙක් ක්‍රීඩා කළ තරග ද්විත්වයම ජයග්‍රහණය කරමිනුයි. එමෙන්ම ඔවුන් මෙම තරගාවලියේ මුහුණ දීමට නියමිත තීරණාත්මක ම තරගය ලබන සෙනසුරාදා  (24) බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිතයි.

මෙවර ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

ICC නිල වෙබ් පිටුව ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<