කාණ්ඩ 3ක ශූරතාවය සාන්ත පීතර ක්‍රීඩකයින්ට

316

තෙවැනි වරටත් මහනුවර ත්‍රිත්ව විද්‍යාලය, බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය හා ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය සංවිධානය කරන “TPT සත් සාමාජික හොකී සැණකෙළිය”, මහනුවර අස්ගිරිය ක්‍රීඩාංගණයේ දී අද (16) සාර්ථකව පැවැත්විය.

පළමු වරට මහනුවර දී පැවැත්වුණු මෙම තරගාවලිය, ත්‍රිත්ව විද්‍යාලයීය හොකී පදනම ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් පැවැත්විය. කාණ්ඩ පහක් ඔස්සේ පැවැත්වුණු මෙම සැණකෙළිය ආරම්භයේ සිටම ඉතා උණුසුම් ස්වභාවයක් ඉසිලීය.

ආසියානු ගෘහස්ථ හා සටන් කලා තරගාවලියට 21ක්

5 වන වරට පවත්වනු ලබන ආසියානු ගෘහස්ථ හා සටන් කලා තරග මාලාව (AIMAG) මෙම මස 18 වන දා සිට 20 වන දා දක්වා දින 3ක් පුරාවට තුර්කිමේනිස්ථානයේ අෂ්ගබාත් නුවර දී පැවැත්වෙන…

වයස අවුරුදු 15න් පහළ කාණ්ඩය

වයස අවුරුදු 15න් පහළ අවසාන මහා තරගය ත්‍රිත්ව විද්‍යාලය හා සාන්ත තෝමස් විද්‍යාලය අතර පැවැත්වුණු අතර ආරම්භයේ සිටම කරට කර තරග ක්‍රීඩා කළ මෙම තරගය කාගේත් අවධානය යොමුවූවක් විය.

කණ්ඩායම් දෙකටම ලකුණු ලබා ගැනීමට තිබූ අවස්ථා කිහිපයක් පළමු අර්ධයේ දී මඟ හැරී ගිය අතර පළමු අර්ධය දෙපිලටම ගෝල රහිතව අවසන් විය.

දෙවෙනි අර්ධයේ සාන්ත තෝමස් ක්‍රීඩකයින් ප්‍රබලව තරගයට අවතීර්ණ වුවත්, ලද අවස්ථාවකින් උපරිම ප්‍රයෝජන ගත් ත්‍රිත්ව ක්‍රීඩකයෝ ඉතා අලංකාර ගෝලයක් වාර්තා කිරීමට සමත් වූහ.

අනතුරුව සාන්ත තෝමසුවන් තවත් සිය ආක්‍රමණශීලී බව වැඩි කළ ද, තරගයේ ජයග්‍රහණය ත්‍රිත්ව විද්‍යාලයෙන් උදුරා ගැනීමට ඔවුන්  අසමත් විය. ත්‍රිත්ව විද්‍යාලය ගෝල 1-0ක් ලෙස 15න්  පහළ  ශූරතාව දිනා ගැනීමට සමත් විය.

අවසන් ලකුණු තත්වය: ත්‍රිත්ව විදුහල 01 – 00 සාන්ත තෝමස් විදුහල


වයස අවුරුදු 19න් පහළ කාණ්ඩය

මෙම කාණ්ඩයේ කිරුල සඳහා ත්‍රිත්ව විදුහල හා සාන්ත තෝමස් විදුහල තරග වැදුනි.

ඉතා ඉහල ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනූ මෙම තරගය ඉතා තරගකාරී වූ අතර වරින් වර දෙපසටම දෝලනය වූ තරගයක් විය. ඉතා ආසන්න අවස්ථා කිහිපයක් දෙපිලටම අහිමි වූ අතර, පළමු අර්ධය ගෝල රහිතව නිමා විය.

ඉන්පසුව ඇරඹි දෙවෙනි අර්ධය ඉතා උණුසුම් වූ අතර ඉතා ආක්‍රමණශීලී ක්‍රීඩා විලාසයක් අනුගමනය කළ ත්‍රිත්ව කණ්ඩායම තරගයේ සිය පළමු ගෝලය වාර්තා කිරීමට සමත් විය. අනතුරුව තරගය සිය ග්‍රහණයට ගත්‍ ත්‍රිත්ව කණ්ඩායම ගෝල 1-0ක් ලෙස තරගය ජයග්‍රහණය කිරීමට සමත් විය.

අවසන් ලකුණු තත්වය: ත්‍රිත්ව විදුහල 01 – 00 සාන්ත තෝමස් විදුහල


වයස අවුරුදු 20-30 කාණ්ඩය

ඉතා  ආකර්ෂණීය තරගයක් වූ වයස අවුරුදු 20-30 අතර කාණ්ඩයේ අවසන් තරගය සාන්ත පීතර හා ත්‍රිත්ව විදුහල් අතර පැවැත්විය.

මෙහි පළමු අර්ධයේ දඬුවම් පහරක් මගින් ගෝලයක් වාර්තා කිරීමට ත්‍රිත්ව විද්‍යාලයීය කණ්ඩායම සමත් විය. අනතුරුව සාන්ත පීතර විද්‍යාලයට ඉතා ආසන්න අවස්ථා ලැබුනත්   ඒවා සාර්ථක කර ගැනීමට ඔවුන්  අසමත් විය.

තරගයේ දෙවෙනි අර්ධයේ ත්‍රිත්ව විද්‍යාලයට ලැබුණු දඬුවම් පහරක් සිය වාසියට හරවා ගත් සාන්ත පීතර ක්‍රීඩකයින්, විශිෂ්ට ගෝලයක් වාර්තා කරමින් තරගය සම තත්වයට ගෙන ඒමට සමත් විය.

නියමිත කාලය අවසන් වීම නිසා අමතර කාලයේ තරගය ක්‍රීඩා කළ අතර එහි දී කණ්ඩායම් දෙකම සුපිරි ක්‍රීඩා විලාසයක් පෙන්නුම් කළත් ගෝල ලබා ගැනීමට කිසිවකුට නොහැකි විය.

දෙවැනි අර්ධය: සාන්ත පීතර විදුහල 01 – 01 ත්‍රිත්ව විදුහල

දඬුවම් පහර මගින් තරගය තීරණය කළ අතර එහි දී ගෝල 1-0ක් ලෙස සාන්ත පීතර පිල තරගය ජය ගැනීමට සමත් විය.


වයස අවුරුදු 30-40 කාණ්ඩය

ශූරතා අවසන් තරගය සඳහා සාන්ත පීතර විද්‍යාලය හා සාන්ත තෝමස් විද්‍යාලය තරග වැදුනි.

ඉතා තරගකාරී තරගයක් වූ මෙහි පළමු අර්ධයේ ගෝලයක් වාර්තා කරමින් තරගයේ පෙරමුණ ගැනීමට සාන්ත පීතර විද්‍යාලය සමත් විය. කැපී පෙනෙන ක්‍රීඩා විලාසයක් පෙන්නුම් කළ සාන්ත තෝමස් දැල් රකින්නා, සාන්ත පීතර විද්‍යාලයේ ගෝල ලබා ගැනීමේ උත්සාහයන් කිහිපයක්ම නැවැත්වීමට සමත් විය.

දෙවන අර්ධයේ දී තරගය තවත් තියුණු වූ අතර අවදානම් ක්‍රීඩා විලාසය නිසා සාන්ත පීතර ක්‍රීඩකයෙකු ක්‍රීඩාගාරයට යැවීමට විනිසුරු තීරණය කළේය. ඒ වාසියත් සමඟින් සිය ග්‍රහණය වැඩි කළ තෝමසුවන් ඉතා ආක්‍රමණකාරී ලෙස ක්‍රීඩා කළත්, සාන්ත පීතර කණ්ඩායම පසු කිරීමට ඔවුන්ට නොහැකි විය .

සාන්ත පීතර කණ්ඩායම ගෝල 1-0ක් ලෙස තරගය ජයග්‍රහණය කිරීමට සමත් විය.

අවසන් ලකුණු තත්වය: සාන්ත පීතර විදුහල 01 – 00 සාන්ත තෝමස් විදුහල


වයස අවුරුදු 40න් ඉහළ කාණ්ඩය

වයස අවුරුදු 40න් ඉහළ කාණ්ඩයේ අවසන් මහා තරගය සාන්ත තෝමස් විද්‍යාලය හා සාන්ත පීතර විද්‍යාලය අතර පැවැත්විය.

පළමු අර්ධයේ දී කණ්ඩායම් දෙකටම ඉතා තියුණු අවස්ථා හිමිවුවත්, ඒවා සාර්ථක කර ගැනීමට අපොහොසත් වීම නිසා පළමු අර්ධය නිමා වූයේ දෙපිලමටම ගෝල රහිතවය.

දෙවෙනි අර්ධයේ ආරම්භයේ සිටම සාන්ත පීතර කණ්ඩායම ඉතා ප්‍රබල ආක්‍රමණශීලී ක්‍රීඩා විලාසයක් පෙන්නුම් කළ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස තරගයේ පළමු ගෝලය වාර්තා කිරීමට සාන්ත පීතර කණ්ඩායම සමත් විය.

තරගයේ අවසාන මිනිත්තුවේ තෝමසුවන්ට දඬුවම් පහරක් හිමි වූ අතර එය සාර්ථක කර ගැනීමට ඔවුන් අසමත් වීමත් සමඟ තරගයේ ජය ගෝල 1-0ක් ලෙස සාන්ත පීතර විදුහල් කණ්ඩායමට හිමි විය.

අවසන් ලකුණු තත්වය: සාන්ත තෝමස් විදුහල 00 – 01 සාන්ත පීතර විදුහල

 තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට